Breaking News

සිසු ජන ව්‍යාපාරයේ ක්‍රියාකාරිකයන්ගෙන් දේශපාලන පළිගැනීම්

පෙරටුගාමී සමාජවාදී පක්ෂය අද අධිකරණ ඇමතිවරයා වෙත ලිපියක් යොමුකර තිබේ. අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන සිසු-ජන ක‍්‍රියාකාරීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් අධිකරණ අමාත්‍යංශයට අයත් ආයතනද මැදිහත්වී සිදු කෙරෙන දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙනුත් වඩා පුළුල් පැහැදිලි කිරීමක් සහ එයට ඇති විසඳුම් පිලිබඳ සාකච්ඡුාවක් සිදු කිරීමට අවශ්‍ය බවත් ඒ සඳහා අලි සබ්රිගෙන් අවස්ථාවක් ඉල්ලමින් මෙම ලිපිය යොමු කර තිබේ .

පහත පළ වන්නේ අධිකරණ අමාත්‍යවරයා වෙත පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩගේ අත්සනින් යුතුව යොමුකළ ලිපියයි

 

එම්. යූ. එම්. අලි සබ්රි මහතා,
අධිකරණ අමාත්‍ය,
අධිකරණ අමාත්‍යාංශය,
උපරිමාධිකරණ සංකීර්ණය,
කොළඹ 12.

අමාත්‍යතුමනි,
අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙන සිසු-ජන ක‍්‍රියාකාරීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම.
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල පනත් කෙටුම්පතට එරෙහිව අගෝස්තු මස 3 වැනිදා පාර්ලිමේන්තුව ඉදිරිපිට පවත්වන ලද නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයේදී පොදු දේපල වලට අනර්ථයක් කළ බවට චෝදනා කරමින් පස් දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදී. අප පක්ෂයේ පාලක ලේකම් හා කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරික චමීර කොස්වත්ත සහෝදරයා සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ ක‍්‍රියාකාරික කෝෂිලා හංසමාලි සහෝදරිය අගෝස්තු 3 වැනිදා රාත‍්‍රියේ අත්අඩංගුවට ගන්නා ලද අතර ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සභාපති අමිල සංදීප අගෝස්තු 5 වැනිදාත්, අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අගෝස්තු 6 වැනිදාත් අත්අඩංගුවට ගන්නා ලදී. රජරට විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ක‍්‍රියාකාරිකයෙකු වන හේෂාන් හර්ෂණ අගෝස්තු 16වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. ඔවුන් අතරින් චමීර කොස්වත්ත, අමිල සංදීප හා වසන්ත මුදලිගේ බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයටත්, කෝෂිලා හංසමාලි මීගමුව පල්ලම්සේන නිරෝධායන මධ්‍යස්ථානයටත් යොමු කරනු ලැබීය. බන්ධනාගාරයට යවනු ලබන සියලූ දෙනා මුලින් දින 14ක් නිරෝධායන මධ්‍යස්ථානයක රඳවා තබන බවට සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසියක් ඇතත් හේෂාන් හර්ෂණ මුල සිටම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා තබන ලදී.

බදුල්ල තල්දෙන නිරෝධායන මධ්‍යස්ථානයේ රඳවා සිටි තිදෙනාට කොවිඞ් ආසාදනය වී ඇති බව අගෝස්තු මස 27 වැනිදා ආනාවරණය කර ගන්නා ලද අතර ඔවුන් ඒ වනවිටත් සති තුනක පමණ කාලයක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ සිටි බැවින් ඔවුන්ට වෛරසය ආසාදනය වී ඇත්තේ බන්ධනාගාරය තුළදී බව පැහැදිලිය. ඔවුන් වැලිකඩ ගෙනගිය පසු කරන ලද පී. සී. ආර්. පරීක්ෂණ වලදී ඔවුන් නිරෝගී බව තහවුරු වී තිබිණි. මෙහි ප‍්‍රශ්න කිහිපයක් ඇත. එකක් බන්ධනාගාර කොවිඞ් වෛරසය ව්‍යාප්ත කරන මධ්‍යස්ථාන බවට පත්වීම සහ ඒවායේ රැුඳවියන්ට අවම සනීපාරක්ෂක පහසුකම් පවා නොමැති වීමයි. අනෙක එම තිදෙනාට පී. සී. ආර්. පරීක්ෂණ කර ඇත්තේ අගෝස්තු 22 වැනිදා වන අතර දන්නා අන්දමට ඔවුන්ගේ පරීක්ෂණ වාර්තා නිකුත් වී ඇත්තේ අගෝස්තු 24 වැනිදාය. නමුත් වෙනත් ආකාරයකින් වෛද්‍යවරුන් මැදිහත් වන තුරුම ඔවුන් රෝගී බව බන්ධනාගාරය විසින් දැනුම් නොදුන් අතර මෙලෙස තොරතුරු සැඟවීම විසින් ඔවුන් විශාල ජීවිත අවදානමකට ලක්විය. පසුව ඔවුන් කිලිනොච්චියේ අයියකච්චි රෝහලට රැගෙන ගියත්, පරීක්ෂණය සඳහා නියැදිය ලබාගත් දිනයේ සිට දින 10ක් ගතවූ බව පවසමින් ඔවුන් සැප්තැම්බර් 2 වැනිදා නැවත වැලිකඩ බන්ධනාගාරයට ගෙන එන ලදී. ඊට පෙර පී. සී. ආර්. පරීක්ෂණයක් පවා සිදු නොකළ අතර මෙලෙස දින 10න් ඔවුන් බන්ධනාගාරයට එවීම ඔවුන් තිදෙනාගේ ජීවිත මෙන්ම අන් රැුඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාවද අවදානමේ හෙලීමකි. සාමාන්‍යයෙන් රෝහල් වලින් කොවිඞ් රෝගීන් දින 10කට පසු නිවෙස් වලට පිටත් කරන නමුදු එය කරන්නේ තවත් සතියක් ඔවුන් නිවසේ නිරෝධායනය වීමේ කොන්දේසිය යටතේය. මේ අනුව තවමත් නීතිය ඉදිරියේ වැරදිකරුවන් වී නැති, චෝදනාවට පමණක් ලක්වී ඇති රක්ෂිත බන්ධනාගාර රැඳවියන් හට අදාලව රටේ පොදු සෞඛ්‍ය ආරක්ෂණ රෙගුලාසි ක‍්‍රියාවේ නොයෙදවෙන අතර ඔවුන් ජීවිත අවදානමකට ගොදුරු කර තිබේ.

මේ වනවිට අදාල නිදහස් අධ්‍යාපනය උදෙසා සිසු-ජන ව්‍යාපාරයේ ක‍්‍රියාකාරීන් පස්දෙනාම වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටින අතර ඔවුන්ගේ තත්වය අතිශය අවදානම්සහගතය. මේ වනවිට ලංකාව පුරා වේගයෙන් කොවිඞ් ව්‍යාප්ත වෙමින් යන අතර බන්ධනාගාර තුළ තත්වය අතිශය අවදානම්සහගත වේ. වාර්තා වන ආකාරයට දිවයින පුරා බන්ධනාගාර තුළ 20,000කට අධික රැඳවියන් සිටී. ඔවුන්ගේ සනීපාරක්ෂක පහසුකම් අතිශය දුර්වල මට්ටමක පවතින අතර රැුඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් යොදා ඇති ප‍්‍රතිපාදන කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. බන්ධනාගාර තුළ පවතින අධික තදබදය විසින් රෝග ව්‍යාප්තිය සඳහා සරු පසක් සකසා තිබෙන බව අවිවාදිතය. එහි කිසිසේත්ම සමාජ දුරස්ථභාවය ආරක්ෂා කරගත නොහැකි බව ඔබතුමාට විශේෂයෙන් පැහැදිලි කළ යුතු නැතැයි සිතමු. නිදසුනක් ලෙස තල්දෙන මධ්‍යස්ථානයේ පහසුකම් ප‍්‍රමාණවත් වන්නේ 80කට පමණ වුවත් මේ වන විට එමෙන් දෙගුණයක පමණ සංඛ්‍යාවක් එහි රඳවා ඇත. වැලිකඩ රක්ෂිත බන්ධනාගාරය තුළ තත්වය මීටත් වඩා අනතුරුදායකය. එහි දස දෙනෙකුට පවා ප‍්‍රමාණවත් නැති කාමර තුළ 40ක් පමණ රඳවා තිබෙන බව වාර්තා වේ. මීට පෙර පසුගිය වසරේ නොවැම්බර් මාසයේ මහර බන්ධනාගාරයේ ඇතිවූ නොසන්සුන්තාවය සඳහා පාදක වුයේද කොවිඞ් ආරක්ෂණ ක‍්‍රමවේද නොමැති වීමේ ගැටලූවයි. එහිදී රැඳවියන් 11 දෙනෙකු පමණ ඝාතනය වී ඒ සම්බන්ධ විශාල සමාජ අවධානයක් නිර්මාණය වූ පසුවවත් රැඳවියන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් දියත් වී නැති බව ඔබතුමාද පිලිගන්නවා ඇතැයි සිතමු.

කොවිඞ් පාලනය සඳහා යැයි කියමින් දැනට ගෙන තිබෙන ක‍්‍රියාමාර්ග වලින් කොවිඞ් වසංගතය පාලනයට ප‍්‍රමාණවත් කර්තව්‍යයක් ඉටු නොවනමුත් එයින් රැඳවියන්ගේ, විශේෂයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිටින රැඳවියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වේ. නිදසුනක් ලෙස රක්ෂිත බන්ධනාගාර වල රැඳවියන් සම්බන්ධ කර ගැනීමට හා ඔවුන් සමග අඛණ්ඩව සන්නිවේදනය සිදු කිරීමට ඥාතීන්ට ඇති අයිතිය උල්ලංඝනය වී ඇත. මේ සඳහා අවම වශයෙන් අන්තර්ජාලය සම්බන්ධ කරගත් පහසුකමක් හෝ ඇතිකළ යුතුව තිබේ. වඩාත් බරපතල වන්නේ රැඳවියෙකු හමු වීමට හා අවශ්‍ය නීතිමය කටයුතු කිරීමට නීතීඥයන්ට හෝ අවස්තාව අහිමි කර තිබීමයි. නිශ්චිත සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමවේද සහිතව, එනම් මුඛ ආවරණ, සමාජ දුරස්ථභාවය, පුද්ගලයන් දෙදෙනා වෙන් කෙරෙන වීදුරු හෝ පොලිතීන් ආවරණ, විෂබීජ නාශක භාවිතය ආදිය සහිතව නීතීඥයන්ට සිය සේවා දායකයන් හමු වීමට අවස්ථාව ලබා නොදෙන්නේ මන්ද යන ප‍්‍රශ්නය පවතී. මෙලෙස සිය නීතීඥයා හමුවීම වැනි මූලික අයිතීන් පවා රක්ෂිත බන්ධනාගාර වල සිටින රැඳවියන්ට අහිමි වෙද්දී ඔවුන් සෑම අතින්ම වෛරසයට නිරාවරණය වන පරිසරයක් බන්ධනාගාර තුළ පවතී. අගෝස්තු මස මුල් සතියේදී නීතිපති දෙපාර්තමේන්තුව විසින් බන්ධනාගාර වල තදබදය අඩු කිරීම සඳහා ඇප ලබාදිය හැකි සියළු දෙනාට ඇප ලබා දෙන ලෙස නිර්දේශයක් ප‍්‍රකාශයට පත් කළේය. නමුත් නීතිපති දෙපාර්තමේන්තුව පවා එම නිර්දේශය ප‍්‍රායෝගිකව යතාර්ථයක් කිරීමට මැදිහත් වන්නේද යන සැකය මතුවේ.

නිදසුනක් ලෙස උක්ත සිදුවීම ගතහොත් එහි පොදු දේපල වල වටිනාකම ලෙස කිසිසේත්ම පිළිගත නොහැකි මුදලක් තක්සේරු කර ඇප ලබාදීම චේතාන්විතව අවහිර කර තිබේ. කාඞ්බෝඞ් සහ රිජිෆෝම් වලින් තැනු මිනී පෙට්ටියක සංකේතික ආකෘතියක් ගිනි තැබීම නිසා මහා මාර්ගයට රුපියල් 1,79,000ක අලාභයක් වූ බව පොලීසිය අධිකරණයට වාර්තා කර ඇත. එම තක්සේරුව ඉදිරිපත් කර ඇත්තේ කිසිදු සාධාරණ තක්සේරුවකින් තොරව, දේශපාලන පලිගැනීමක් ලෙස, ඇප ලබාදීම වැළක්වීමේ චේතනාවෙන් බව පැහැදිලිය. මෙලෙස දිගින් දිගටම ඇප ලබා නොදී රඳවාගෙන සිටීමට මෙකී රාජ්‍ය ආයතන පෙළඹී සිටින්නේ දේශපාලන පලිගැනීමක් ලෙස බව අපි තරයේ විශ්වාස කරන අතර මේ සම්බන්ධයෙන් ඔබතුමාගේ අදහස දැන ගනු කැමැත්තෙමු. එමෙන්ම ගෝලීය වසංගත තත්වයක් තිබියදී මෙලෙස ඇප ලබා නොදී අතිශය අවදානම් කොන්දේසි යටතේ මේ ශිෂ්‍ය හා කම්කරු නායක නායිකාවන් රඳවාගෙන සිටීම ඔවුන් චේතාන්විතවම ජීවිත අවදානමකට ඇද දැමීමකි. උක්ත සිදුවීමට අදාළ පස් දෙනාට පමණක් නොව අනෙකුත් බොහෝ දෙනාට අදාලව නීතිය අසමාන ලෙස ක‍්‍රියාවේ යෙදවීම සම්බන්ධයෙනුත්, අධිකරණ අමාත්‍යංශයට අයත් ආයතනද මැදිහත්වී සිදු කෙරෙන දේශපාලන පලිගැනීම් සම්බන්ධයෙනුත් වඩා පුළුල් පැහැදිලි කිරීමක් සහ එයට ඇති විසඳුම් පිලිබඳ සාකච්ඡුාවක් සිදු කිරීමට අවශ්‍ය අතර එම සාකච්ඡුාව සඳහා ඔබතුමා අවස්ථාවක් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරමු. පවතින තත්වයේ සංකීර්ණත්වය මත මෙම සාකච්ඡුාව කඩිනමින් ලබා ගැනීමට බලාපොරොත්තු වෙමු.
ස්තුතියි.
මෙයට,

පුබුදු ජයගොඩ
පෙරටුගාමී සමාජවාදී පක්ෂය
2021 සැප්තැම්බර් 05

leave a reply