Breaking News

වැරදිකරුවන් මෙහෙම නිදහස් කරනව නම් මේ රටේ නීතියක් තියෙනවද? – අතුරුදහන්කළවුන්ගේ ඥාතීන්

තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීමේ සිදුවීමට අදාළව හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ගොනු කර තිබූ අධි චෝදනා ඉල්ලා අස් කර ගැනීමට නීතිපතිවරයා ගත් තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා අතුරුදන්වූ එම ළමුන්ගේ දෙමව්පියන් හතර දෙනෙකු ගොනු කළ රිට් පෙත්සම ලබන 29 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (15) නියම කර තිබේ.

එසේම එදිනට වගඋත්තරකාර නීතිපති සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නගොඩට අධිකරණය හමුවේ පෙනී සිටින්නැයි දන්වමින් නොතීසි යැවීමට පියවර ගන්නා ලෙසද අධිකරණය පෙත්සම්කාර පාර්ශවයේ නීතීඥවරුන්ට නියම කර ඇත.

යුද්ධය උත්සන්නව පැවති 2008-2009 වසර වල කොළඹ පදිංචි දරුවන් සහ ස්වාමි පුරුෂයන් ඇතුළු පිරිමින් 11 දෙනෙක් පැහැර ගෙන යාම, කප්පම් ගැනීම සහ අතුරුදන් කිරීම ගැන වසර 13ක විමර්ශනයෙන් අනතුරුව චෝදනා 667 ක් සාක්ෂිකරුවන් 126 ක් සහ නඩු ලේඛන 64 ක් ඇතිව විත්තිකරුවන් 14 දෙනකුට එරෙහිව අධි චෝදනා මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ නීතිපති විසින් ගොනු කරනු ලැබුණි.

විත්තිකාර නාවිකයෝ

හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ 14 වැනි විත්තිකරුවා වන මෙම නඩුවේ නාවික හමුදා බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් හෙට්ටිආරච්චි මුදියන්සේලාගේ චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි, නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශක සහ නාවික මෙහෙයුම් නියෝජ්‍ය අධ්‍යක්‍ෂක කොමදෝරු දසනායක කම්කානම්ලාගේ පියසේන දසනායක, විශේෂ බුද්ධි නිලධාරි ලුතිනන් කමාන්ඩර් රණසිංහ පේඩිගේ සුමිත් රණසිංහ, තිලකරත්න ලක්ෂ්මන් උදය කුමාර, කාරියවසම් හේවගේ නලින් ප්‍රසන්න වික්‍රමසුරිය, තම්මිට ඉහලගෙදර ධර්මදාස, රාජපක්ෂ පතිරණගේ කිත්සිරි, කස්තුරිආරච්චිගේ ගාමිණී, ප්‍රධාන සුළු නිලධාරි මුතුවාහැන්නදිගේ අරුණ තුෂාර මෙන්ඩිස්, හිටපු නාවික හමුදාපති කරන්නාගොඩගේ පුද්ගලික ආරක්‍ෂක ලුතිනන් කමාන්ඩර් මුණසිංහආරච්චිගේ නිලන්ත සම්පත් මුණසිංහ සෙසු විත්තිකරුවෝ වෙති.

කස්තුරි ආරච්චිලාගේ ජෝන් රීට්, ඇන්ටනි කස්තුරි ආරච්චි, රජීව් නාගනාදන්, ප්‍රදීප් විශ්වනාදන්, මොහොමඩ් සාජීත්, තිලකේශ්වරම් රාමලිංගම්, ජමාල්ඩින් ඩිලාන්, අමලන් ලියෝන්, රෝෂාන් ලියෝන්, කනකරාජා ජෙගන් සහ මොහොමඩ් අලි අන්වර් පැහැරගෙන ගොස් අතුරුදහන් කර තිබේ. අදාළ පරීක්ෂණ වලදී හෙළිවුයේ නාවික හමුදා නිලධාරින් විසින් පැහැරගත් තරුණයන් නිදහස් කිරීම සඳහා ඔවුන්ගේ දෙමාපියන්ගෙන් කප්පම් මුදල් ලබා ගෙන ඇති බවය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය පරීක්ෂණ වාර්තා මගින් කියා සිටියේ පැහැරගත් අයගෙන් කිහිපදෙනෙක් කොළඹදීත් තවත් පිරිසක් නාවික හමුදාවට අයත් ත්‍රිකුණාමල ගන් සයිඩ් කඳවුරේදී මරා දමා ඇති බවය.

නීතිපති විසින් 14 වැනි විත්තිකාර හිටපු නාවික හමුදාපතිගේ අධි චෝදනා ඉවත් කර ගැනීමට විරෝධය දක්වමින් 13 වැනිදා දහවල් අතුරුදහන් කළවුන්ගේ ඥාතීන් විසින් කොළඹදී පවත්වන ලද මාධ්‍ය හමුවකදී රජීව් නාගනාදන්ගේ මෑණියන් වන සරෝජා පෙරේරා නාගනාදන් උද්වේගයෙන් යුතුව කියා සිටියේ තම දරුවන්ට සිදුවූ දෙය කුමක්ද කියා හිටපු නාවික හමුදාපතිවරයා දන්නා බවය.

“මේ වගේ වැරදි කරුවන්ව නිදහස් කරන්න එපා. මේ ගොල්ලෝ තමයි අපේ ළමයින්ට මොකද වුනේ කියලා දන්නේ. වැරදිකරුවන් මෙහෙම නිදහස් කරනව නම් මේ රටේ නීතියක් තියෙනවද? කරන්නාගොඩ මුකුත් දන්නේ නැති අහිංසකයෙක් නෙමේ. මොහු තමයි අපේ දරුවන් අල්ලා ගෙන තියා ගත්තේ. අපේ දරුවන් වෙනුවෙන් ජිනීවා නොවේ ඕනෑම තැනකට යන්න අපි ලැහැස්තියි. අපි බය නෑ දිගටම සටන් කරනවා,“ යැයි ඇය ප්‍රකාශ කළාය.

 

leave a reply