Breaking News

දුන් පොරොන්දු ඉටුකරන්න, සියළු ණය වාරික කපා ගැනීම් නවතන්න

රාජ්‍ය සේවකයන්ගෙන් ණය වාරික අයකර ගැනීම අත්හිටුවන ලෙස ඒකාබද්ධ ගුරුසේවා සංගමය අගමැතිවරයා වෙත ලිපියක් යොමුකරමින් ඉල්ලා ඇත. එම සංගමය පෙන්වා දෙන්නේ ජනතාවගෙන් ඉදිරිපත්වූ විවිධ ඉල්ලීම් නිසා ණය වාරික අයකර නොගන්නා බව රජය පොරොන්දු වුවත් අවසානයේ එය මාධ්‍ය සංදර්ශනයක් පමණක් බව පෙන්වමින් ණය වාරික අයකරගෙන තිබූ බවයි. ණය වාරික අයකර නොගැනීමට නම් ලිපි මගින් ඉල්ලීම් කළ යුතු බව රජය පැවසුවත් ඇඳිරි නීතිය පවතින මේ අවස්ථාවේ එවැනි දෙයක් කිරීමට ඇති අවස්ථාවද ඇහිරී ඇති බව ඒකාබද්ධ ගුරු සේවා සංගමය පෙන්වා දෙයි. එසේම ණය වාරික අත්හිටුවීමට ගෙන ඇති තීරණය සියලුම ණයවලට අදාලව ක්‍රියාත්මක කරන ලෙසත් එම සංගමය ඉල්ලා සිටියි.

ඒකාබද්ධ ගුරුසේවා සංගමය අගමැතිවරයා වෙත යොමුකළ සම්පූර්ණ ලිපිය පහත දැක්වේ

2020/04/08

මහින්ද රාජපක්ෂ,
අගමැති තුමා,
අරලියගහමන්දිරය,
කොළඹ,

අගමැතිතුමනි,
රාජ්‍ය සේවකයින්ගේ ණයවාරික අයකරගැනීම පිළිබඳ ගැටලු

බොහෝ රාජ්‍ය සේවකයින් ගත් විට ලැබෙන වැටුප සිය අවශ්‍යතා ඉටුකරගැනීමටවත් ප්‍රමාණවත් නොවන බවත් ඒ නිසා ඔවුන්ට විවිධ ණය මත යැපීමට සිදුව ඇති බවත් පැහැදිලි කරුණකි. නිවාස ණය, හදිසි අවශ්‍යතා සඳහා ණය, වාහන සඳහා ලීසිං, දරුවන්ගේ වැඩිදුර අධ්‍යාපන කටයුතු සඳහා ණය ආදී වශයෙන් ලබාගැනීමට සිදුව ඇති මෙවැනි ණය සඳහා වාරික අයකරගත් පසු වැටුපෙන් ඉතිරිවන මුදලින් ජීවත්වීම ඉතාමත් අසීරුය.

මෙවැනි තත්ත්වයක් යටතේ රාජ්‍ය සේවකයින්ට ජීවත්වීමට ප්‍රමාණවත් ආදායමක් ලබාගැනීම සඳහා අතිකාල සේවාවල නියලීමට, අමතර රැකියා කිරීමට ආදී දහසක් දේ කිරීමට සිදුව ඇත. විශේෂයෙන් ගුරු – විදුහල්පතිවරු ගත්විට ඔවුන්ට ලැබුණු සොච්චම් වැටුපෙන් ජීවත්වීම කොහොමත් අසීරු තත්ත්වයක පැවති අතර ටියුෂන් ඇතුළු අමතර ආදායම් මත යැපීමට ඔවුන්ට ද සිදුවිය. කොරෝනා වසංගතය හේතුවෙන් උද්ගතවී ඇති තත්ත්වය තුළ මේ සියලු ආදායම් මාර්ග ඇහිරී ඇති තත්ත්වයක් යටතේ වැටුපත් ණය වාරික වශයෙන් අයකරගත හොත් ඇතිවන තත්ත්වය ඉතාමත් භයානකය.

ණය වාරික අයකරගැනීම පවත්නා තත්ත්වය තුළ තාවකාලිකව අත්හිටුවීමට ඉල්ලීම් ඉදිරිපත් වුයේ එවැනි වටපිටාවක් තුළය. ආණ්ඩුව එම ඉල්ලීම්වලට කන්දෙමින් අප්‍රේල් මැයි ණය වාරික අයකර නොගැනීමට තීරණය කිරීම අගය කළ යුතු තත්ත්වයකි. එහෙත් එය හුuදු මාධ්‍ය සංදර්ශනයක් බවට පත් කරමින් අප්‍රේල් මස වැටුපෙන් ද ණය වාරික අයකරගෙන තිබීම ඉතාමත් කණගාටුදායක තත්ත්වයකි. ණය වාරික අයකර නොගැනීමට නම් ලිපි මඟින් ඉල්ලීම් කළ යුතු බවට බැංකු විසින් දැනුම් දී ඇතත් ඇඳිරිනීතිය බල පැවැත්වෙන කාලය තුළ ලිපි ෆැක්ස් කිරීමට පහසුකම් නොමැතිවීමත්, ලිපි ඊමේල් කිරීමට අදාළව ගත්තද data card එකක් වුව මිලදී ගැනීමට නොමැති වටපිටාවක් පැවතීමත් තුළ මෙවැනි අප්‍රායෝගික යෝජනාවල අරමුණ ණය වාරික අයකර නොගැනීම ද නැත්නම් කෙසේ හෝ අයකර ගැනීමද යන ප්‍රශ්නය ඇසීමට සිදුවේ.

එසේම මෙම තීරණය අදාල වන්නේ ලක්ෂ 10 යට වඩා අඩු ණය ලබාගත් අය සඳහා වීමද බරපතල ගැටලුවකි. මන්දයත්
මෙවැනි සහනයක් ලබාදිය යුත්තේ පවත්නා තත්ත්වය යටතේ ණය ගෙවීමේ නොහැකියාව සලකා නම් ලක්ෂ 10ට වඩා වැඩි ණය ගත් අය සඳහාද එම තත්ත්වය පොදුය. ලබාගත් ණය ප්‍රමාණය වැඩිවන විට වාරිකයේ අගයද වැඩිවන අතර වැටුපෙන් ඉතිරිවන ප්‍රමාණය තව තවත් අඩුවීම හේතුවෙන් ඔවුහු පත්වන දැඩි අසීරුතාව තේරුම්ගැනීමට ආණ්ඩුව සමත් විය යුතුය.

එම නිසා මේ සියලු කරුණු සලකා ණය වාරික අත්හිටුවීමට ගෙන ඇති තීරණය සියලුම ණයවලට අදාලව ක්‍රියාත්මක කරන ලෙසත්, ලිපි මඟින් ණය වාරික අයකර නොගැනීමට ඉල්ලීම් කළ යුතුයැයි වැනි කොන්⁣දේසි පැනවීම්වලින් තොරව සියලු දෙනාගේ ණය වාරික අයකරගැනීම වහාම අත්හිටුවීමට කටයුතු කරන ලෙසත්, අයකරගත් වාරික නැවත ලබාදීමට කටයුතු කරන ලෙසත් අපි ඉල්ලා සිටිමු.

ස්තුතියි.
මෙයට,

ලේකම්,
සංජීව බණ්ඩාර
පිටපත්- මාධ්‍ය ආයතන

leave a reply