Breaking News

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාදීමට ජනතාවගෙන් බලෙන් අත්සන් ලබා ගනියි

ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට තමන් කැමැත්ත පළකරන බවට ජනතාවගෙන් අත්සන් ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක එන්නත්කරණ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති අතර මහනුවර කුණ්ඩසාලේ මහවත්ත බටහිර ප්‍රදේශයේ එන්නත ලබාගැනීමට පැමිණි ජනතාවට සෞඛ්‍ය බලධාරීන් පවසා ඇත්තේ ස්පුට්නික් එක් මාත්‍රාවක් පමණක් ලබාගැනීමට තමන් එකඟ බවට අත්සනක් ලබාදිය යුතු බවයි. එසේම අත්සන් කිරීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයන්ට එන්නත ලබානොදෙන බවද ජනතාව පවසයි.

ස්පුට්නික් එන්නතේ පළවෙනි මාත්‍රාවෙන්ම ඉතාමත්ම ඉහළ ප්‍රතිශක්තිකරණයක් ලැබෙන නිසා එහි දෙවැනි මාත්‍රාව ලබාදීමට අවශ්‍යද නැද්ද යන්න පිළිබඳව සාකච්ඡාවක් පැවැත්වෙමින් ඇති බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඊයේ (30) මහනුවර දිස්ත්‍රික්කයේ කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත්කරණ වැඩසටහන ආරම්භ කිරීමේ අවස්ථාවට එක්වූ පසුව මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් පවසා තිබුණි.

දැනට එක් මාත්‍රාවක් පමණක් ලබාදෙන එන්නත් වර්ග ලෙස තිබෙන්නේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් එන්නත සහ ස්පුට්නික් ලයිට් යන දෙවර්ගයයි. අපේ රටට ගෙන්වා ඇති ස්පුට්නික් වී එන්නත මාත්‍රා දෙකක් ලබාදිය යුතු බව සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශය වී තිබේ.

ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ලක්ෂ 6කට පමණ අහිමිව තිබීම සම්බන්ධයෙන් විරෝධයක් නැගෙමින් තිබෙන මේ මොහොතේ ආණ්ඩුව සූදානම් වන්නේ ස්පුට්නික් එන්නතේද දෙවන මාත්‍රාව ලබා නොදී ජනතාව කැමැත්තෙන් එයට එකඟ වූ බව පෙන්වීමට බව පැහැදිලි වේ.

ආණ්ඩුව විසින් එන්නත්කරණ ක්‍රියාවලිය සඳහා දේශපාලන මැදිහත්වීම් සිදුකරමින් වැරදි තීරණ ගනිමින් ගැටලු ගණනාවක් නිර්මාණය කරමින් සිටියි. නමුත් ඒ හරහා පාලකයන් විසින් අවදානමට හෙළමින් සිටින්නේ මේ රටේ ජනතාවගේ ජීවිතයි.

පහත දක්වෙන්නේ ස්පුට්නික් එන්නතේ පළමු මාත්‍රාව පමණක් ලබාගැනීමට කැමැත්ත පළකරන බවට අත්සන් කරන ලෙස පවසමින් ලබාදී ඇති ලියවිල්ලයි.

leave a reply