Breaking News

ආර්ථිකය පවත්වා ගැනීම වෙනුවෙන් වැඩ කරන ජනතාව වසංගතයට බිලි දෙනවා – දුමින්ද නාගමුව

සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබියදී ආණ්ඩුව ආර්ථිකය පවත්වාගෙන යාම කෙරෙහි පමණක් අවධානය යොමුකළ බවත් ඒ හේතුව නිසා එහි වන්දිය ගෙවීමට සිදුව ඇත්තේ වැඩකරන ජනතාවට බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව පවසයි. ඔහු මේ බව පැවසුවේ 2021 ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂය විසින් සංවිධානය කළ කම්කරු දින සැමරුම සඳහා එක්වෙමිනි.

දුමින්ද නාගමුව පැවසුවේ යුද අපරාධ සහ වෙනත් අපරාධ මෙන් මේ වසංගතය මේ වනවිට ලෝකයේ පාලක පන්තිය විසින් මිනිස් සමාජය මත මුදා හරින අපරාධයක් ලෙස හඳුනාගත හැකිව තිබෙන බවයි.

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ කම්කරු දින තේමාව වූවේ “අධිරාජ්‍යවාදී උගුලෙන්, නව ලිබරල් කොල්ලයෙන් ජනතාව ගලවන වැඩකරන ජනතා බලයක්” යන්නයි.කම්කරු දින සුපුරුදු ලෙස වැඩ කරන ජනයාගේ ශක්තිය හා සාමුහිකත්වය නිරූපනය කරන පෙළපාළියක් අවසානයේ කම්කරු දින රැලියක් වෙනුවට පෙ.ස.ප. විසින් රටපුරා සහ ලෝකය පුරා කම්කරුවන්, ගොවීන් ඇතුළු වැඩකරන ජනයා වෙනුවෙන් අන්තර්ජාලය ඔස්සේ කම්කරු දින සැමරුමක් පවත්වන ලදී. මෙම කම්කරු දින සැමරුමේදී පෙ.ස.ප. ප්‍රචාරක ලේකම් සහ කම්කරු අරගල මධ්‍යස්ථානයේ සංවිධායක ලේකම් දුමින්ද නාගමුව පැවැත්වූ කතාවේ සංක්ෂිප්තයක් පහත දැක්වේ.

“අධිරාජ්‍යවාදී උගුලෙන්, නව ලිබරල් කොල්ලයෙන් ජනතාව ගලවන වැඩකරන ජනතා බලයක්” යන තේමාවෙන් අපි අද මේ කම්කරු දිනය සමරන අවස්ථාව ඉතිහාසයේ සුවිශේෂී කඩඉමක්. සාමාන්‍ය ආකාරයට කම්කරු දින පෙළපාලි සහ රැලි පවත්වන්න නොහැකි තත්වයක එවැනි ‌‌ෙඒතිහාසික වැදගත්කමක් දරන්නෙ කොහොමද කියලා කෙනෙකුට හිතෙන්න පුලුවන්. යම් සිදුවීම් වල වැදගත්කමත් සිදුවීම් හා සම්බන්ධව ගොඩනැගෙන සිදුවීම්වල වැදත්කමත් හඳුනාගැනීමෙන් තමයි ඒ සිදුවීම්වල ‌ෙඒතිහාසිකත්වය වටහා ගන්න හැකි වෙන්නෙ.

මීට අවුරුද්දකට කලින් මේ වගේම තවත් ආකාරයක කම්කරු දිනයක් අපට සමරන්න සිදුව තිබුණා. ඒ වසංගතය පැමිණි අවස්ථාවෙ රටම වසංගතයෙන් ඇලලුණු අවස්ථාවක. ඊටත් පෙර අවුරුද්දෙ විශේෂයෙන් පාස්කු ප්‍රහාරය නිසා සමාජයම යම් භීතියකට ඇද දමා තිබියදී කම්කරු දිනය සමරන්නට සිදුව තිබුණා.
මේ වනවිට 2021දිත් භීතියෙන් කම්කරු දිනය පසුකරන්නට අපට සිදුව තිබෙනවා.
2020 වසංගයට බිය වුණේ කොතරම්ද ඊටත් වඩා මේ කම්කරු දිනය වනවිට ජනතාව බියට පත් වෙලා. එවැනි වටපිටාවක අපට මේ වසංගතයට වෙනත් ඇඟවුමක් නාමකරණයක් දෙන්න සිදුව තිබෙනවා. මේක හුදු වසංගතයක්ද කියන ප්‍රශ්නය අපි අහනවා.
අප ඉදිරිපිට සිදුවෙමින් තිබෙන දේ සලකා බලන විට මේක වසංගතයක් නෙවෙයි මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව කියන්න රුනු තිබෙනවා. අපි යුද අපරාධ ගැන අපි අහලා තියෙනවා, වෙනත් අපරාධ ගැන අහනවා. මේ වසංගතය මේ වනවිට ලෝකයේ පාලක පන්තිය විසින් මිනිස් සමාජය මත මුදා හරින අපරාධයක් ලෙස හඳුනාගත හැකිව තිබෙනවා. ලෝකයේ විවිධ රටවල වසංගතය නිසා ජනතාව මුහුණ නෙ පීඪාව පෙන්වනු ලබනවා. රූපවාහිනි නාළිකාවල වසංගතය නිසා මියයන ජනයා, මළමිනි ගොඩ ගසා පුලුස්සන දර්ශන, ඉන්දියාවෙ දර්ශන පෙනෙනවා. මින් පෙර අපට දක්නට නොලැබුණු ඔක්සිජන් සිලින්ඩර නැතිව මිය යන ඉන්දියාව පෙන්වනවා. නමුත් තවත් ඉන්දියාවක් ගැන අපට කියන්න කරුණු තියෙනවා. ඒ ඉන්දියාව මොන වගේද?

ලෝකයේ මෑත කාලයේ ධනවත් වූ පිරිස අතර හතරවැනියට වැඩියෙන් බිලියනපති ධනකුවේරයන් ජීවත්වන රාජ්‍යයක් ලෙස ඉන්දියාවක් තියෙනවා. මෑතක වර්ධනය වූ ධනයකට හිමිකම් කියන 102ක් බිලියනපතියන් ඉන්දියාවෙ ඉන්නවා.
ලෝකයේ සක්‍රිය විශාලතම හමුදාව පවතින්නෙ ඒ ඉන්දියාවෙ. ලෝකයේ විශාලතම නාවික හමුදාවක් තියෙන, ලෝකයේ තුන්වන යුද වියදම සිදුකරන ඉන්දියාවක් තියෙනවා. පහුගිය අවුරුදු 10 ඇතුළත යුද වියදම දෙගුණ කිරීමක් ඉන්දියාව විසින් සිදුකර තිබෙනවා. නමුත් මේ වසංගතය තුළ රෝගීන්ට ලබා දෙන්න තරම් රෝහල් ඇඳන් නැති රටක තමයි ඒ් වගේ දැවැන්ත වියදමක් සිදු කරන්නෙ.
තමන්ගෙ රටේ උරුමය, ජීවනාලිය වන ජනතාව රකින්නට නොහැකි තත්වයක් තියෙන ඒ ඉන්දියාව අප දන්න ඉන්දියාව ලෙස හඳුනාගන්න වෙනවා. අප ඒදිනෙදා දන්න ඉන්දියාව තුළ වෙනත් ආකාරයක ඉන්දියාවක් දැන් අප හඳුනාගත යුතු වෙනවා.

ධනවාදය කියන එක පැහැදිලි කරද්දි දේශපාලන විග්‍රහවලින් තේරුම් ගන්න අමාරුවක් සමහරුන්ට තියෙනවා. නමුත් ධනවාදය තේරුම් ගන්න බැරි නම් අපි ජීවත්වන‌ ලෝකයේ ප්‍රශ්නවලට උත්තර හොයන්න බෑ. ඒ විතරක් නෙවෙයි මේ ආකාරයට ලෝකය ඇත්තටම වටහාගන්නත් ධනවාදය කියන තත්වය හඳුනාගත යුතුව තිබෙනවා. යුද වියදම දෙගුණයක් කරගත්ත ඉන්දියාවට තමන්ගේ රටේ රෝහල්වල ඇඳන් සංඛ්‍යාව ප්‍රමාණවත් තත්වයට පවත්වාගෙන යන්න හැකි වුණාද
එහෙම ඉන්දියාවක් ගැන හඳුනාගත්තට පස්සෙ ලංකාවේ තත්වය මොකක්ද
සෞඛ්‍ය වියදම රුලියල් බිලියන 220ක් හ

ඊට වඩා හරියටම දෙගුණයක්
මහපාරවල් හදන්න බිලියන 330ක් වෙන්කරා. අමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප් කිව්වා වගේ වසංගතය නිසා රට වහන්නෙ නෑ. මේ තත්වය තුළ වැඩකරපල්ලා කියලා.
අපේ රටෙත් සිදුවෙමින් තියෙන්නෙ ඊට වෙනස් දෙයක්ද? මොන හේතුවකටවත් රට වහන්නෙ නෑ කියලා අපේ රටේ ජනාධිපති ප්‍රකාශ කළා. සෞඛ්‍ය අංශ මොන තරම් ඉල්ලීම් කළත් අනතුරු ඇඟවීම් කළත් ජනතාව අනතුරේ දමා ආර්ථිකය පවත්වා ගෙන යන්න පාලකයන් කටයුතු කරනවා.

මේක කොවිඩ් වසංගතයක්ද නැත්නම් කෝවිඩ් අපරාධයක්ද කියන කාරණය දැන් අපි ඉදිරි පිට තියෙනවා.

පාස්කු ප්‍රහාරය සම්බන්ධව පහිගිය දවස්වල විවිධ පුවත් පළ වුණා. විනාශය ගැන ලිපි සහ විවිධ ප්‍රමාණයේ ඡායාරූප පළ කළා
පාස්කු ප්‍රහාරය සිදුවුණේ 2019 අප්‍රේල් 21 වැනිදා . නමුත් පාස්කු ප්‍රහාරය ගැන අනතුරු ඇගවීම් කළේ අප්‍රේල් 9 වැනිදා. වසංගත තත්වය සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විශේෂ අනතුරු ඇඟවීම් කළේ පෙබරවාරි මාසයේ. බ්‍රිතාන්‍ය වෛරස් ප්‍රභේදය රටට ඇතුළු වෙලා කියන කාරණය ඔවුන් කරුණු සහිතව ප්‍රකාශ කළා. ඒ වගේම අප්‍රේල් මාසය වනවිට රෝගීන් හමුවීම ගැන වසංගත රෝග අංශය විසින් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ විශේෂඥයන් අනතුරු අැඟවුවා.

අවුරුදු උත්සව හා ජනතාව විශාල වශයෙන් වෙළඳපොළ ගැවසීමෙ තත්වය වළික්වන ලෙස සෞඛ්‍ය අංශ විසින් අනතුරු ඇගවීම් කළා. නමුත් පාලකයන් කිව්වෙ ආර්ථික කටයුතු පවත්වා ගෙන යායුතු නිසා අපි රට වහන්නෙ නෑ කියලා.
දැන් වසංගතය වර්ධනය වෙලා ඉවරයි. රෝගීන් විශාල වශයෙන් හඳුනාගනිමින් තිබෙනවා. ආර්ථිකය පවත්වා ගෙන යාමේ අරමුණ නිසා ජනතාව වින්දිතයන් බවට පත්ව තිබෙනවා. වැඩකරන ජනතාව වන්දි ගෙවමින් ඉන්නවා. කම්හල්වල පාලකයන් මේ වනවිට වසංගතය හමුවේ සේවකයන්ට කියන්නෙ මොකක්ද?
සතියට දවස් දෙකක් වැඩට එන්න කියලා තිබුණා. රාජ්‍ය ආයතනවලත් සේවකයන් අවම කරන්න කියලා සෞඛ්‍ය අංශ කියලා තිබුණත් කිසිම රාජ්‍ය ආයතනයක ඒක ක්‍රියාත්මක වුණේ නෑ. දවස් 2 නෙවෙයි දවස් 5ම වැඩ කරන තත්වයක් තියෙනවා. මේ නිසා වසංගතය තුළ වැඩකරන ජනතාව බිලි දෙමින් තිබෙනවා. පහුගිය කාලයක කුරුණෑගල රෝහල ආශ්‍රිතව විශාල නාටකයක් රඟ දක්වනු ලැබුවා. සිංහල මව්වරු වදභාවයට පත් කරනවා කියලා චෝදනා කළා. දැන් මේ වනවිට වසංගතය තුළ ගර්භනී මව්වරු ආරක්ෂා වෙනවද? වැඩ කිරීම දිගටම කරන්න කියලා ආර්තිකය පවත්වා ගෙන යන්න මේ ගහලා තියෙන චක්‍රලේඛයේ ගර්භනී කාන්තාවන් සම්බන්ධ කිසිදු සඳහනක් නෑ! මේක මගහැරුණේ කොහොමද?

පසුගිය කාලෙ සංවර්ධන නිලධාරි පත්වීම් ලබා දෙනවිට ගර්භනී කාන්තාවන්ගෙ අයිතිවාසිකමක්ව තිබුණු ප්‍රසුති නිවාඩු බාගෙකින් කපලා. මේ වසංගතය ව්‍යාප්ත වෙී යද්දි කම්හල්වල කටයුතු නවත්වලා නෑ. ජනතාව ඛේදවාචකයෙන් පීඩා විඳින තත්වය 2020ටත් වඩා නරක තැනකට ඇවිත්. නමුත් පාලකයන් හොඳ තත්වයක. ඔක්කොම එන්නත ගහගෙන ඉන්නෙ. හැබැයි වඩකරන ජනතාවට කියනවා වැඩට යන්න කියලා. තමන් ආරක්ෂා වෙලා ජනතාව වැඩට යන්න කියන්න කොහොමද සදාචාරයක් ඇති වුණේ. එන්නත විදගන්න හැකියාවක් අවස්ථාවක් නැති පෞද්ගලික අංශයේ සේකයන්ට රැකියාවට එන්න කියලා ඔවුන් වසංගතයේ ගොදුරු බවට පත් කරනවා.

මේ වනවිට පාලකයන්ගෙ පැත්තෙන්, ආණ්ඩුවෙන් කියන්නෙ මේක සිංහල අවුරුදු කෝවිඩ් පොකුර කියලා. ජනතාව තමයි දැන් මේ වසංගත ව්‍යාප්තියට වගකිවයුත්තන් ලෙස ආණ්ඩුව නම් කරන්නෙ. වසංගතය ව්‍යාප්ත වීමේ වගකීම ජනතාව මත පටවලා අල පිහදා ගන්න ආණ්ඩුව සූදානම්. අප්‍රේල් මාසෙ මුලදිම අනතුරු අඟවලා තියෙද්දි, ආණ්ඩුව දන්නෙ නැද්ද වසංගතය ව්‍යාප්ත වෙන බව. මේ විදියට වැරදියට ජනතාව මත පටවනවට වඩා අපි කියනවා මේක දෙවැනි පාස්කු ප්‍රහාරය, පාස්කු පොකුර කියලා. මේ වසංගතයෙ විනාශකාරී අත්දැකීම පාලකයන් ඊට දක්වපු වගකීම් විරහිත ප්‍රතිචාර විස්තර කරන්න යද්දි අර වෙසක් තොරණවල විදියට රූප රාමු අපට මතක් වෙනවා. මේ තොරණේ පළවෙනි කොටුවෙන් සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි චීන කාන්තාවට හාදුවක් දෙන දර්ශනය බලන්න පුළුවන්. ඊළගට තියෙනවා ඇමතිවරු කලගෙඩි ගංගාවලට දාන කලගෙඩි නැටුම, ඔන්න ඊළගට ධම්මික පැණිය බොන දර්ශනය, ඊළග කොටුවෙන් දකින්න තියෙනවා ‘මම තමයි හොඳට කළේ’ කියන ජනාධිපතිගෙ දර්ශනය.

දැන් මේ වසංගතය ගැන ලෝකයෙම අනතුරු ඇඟවීම් තියෙද්දි එන්නත අපේ රටේ පාලකයන් එන්නත ගෙන්වන්නෙ පෙබරවාරි මාසෙ. ගෙනාව එන්නතට මොකද කළේ. දැන් අර අතේ තියෙන ඔක්කොම සල්ලි වියදම් කරලා බූරු ගැහුවා වගේ තියෙන එන්නත ගහගන ගහගෙන ගියා. මාධ්‍ය ප්‍රචාර අරගෙන ගියා. දැන් දෙවැනි මාත්‍රාව ගහන්න එන්නත් නෑ.ලෝකයේ එන්නත් වර්ග ගණනාවක් තියෙනවා. වසංගතයෙන් ආරක්ෂා වෙන්න සම්පූර්ණ පලයක් තියෙනවද කියලා තවමත් කියන්න බෑ. නමුත් ආරක්ෂා වීමේ ක්‍රමයක් ලෙස දැන් ලෝකයම ඒ එන්නත්වල පිහිට පතනවා. සෞඛ්‍ය සේවය උසස් මට්ටමක පැවති රටක් ලෙස තියෙන අතරම ඒන්නත් කිරීමේ කීර්තියක් මේ රටට තිබුණා. දැන් මේ වනවිට ලංකාවෙ කොරොනා එන්නත ගහගන්න බැරි වුණේ ඇයි? ඉන්දියාව ගෙන්වන සැලැස්මක් තිබුණෙ නෑ. එක එන්නතක් ගහලා දෙවැනි එක වෙන වර්ගයක් ගහන්න පුලුවන්ද කියලා පර්යේෂණ කරනලු. ඔය ගෙන්වනවයි කියන එන්නතක් තවම ඇණවුම් කරගත් නෑ.
දැන් ඉන්දියාවෙන් ඒන්නත් ගෙන්වන්න බැරි වෙනවලු. ඉන්දියාව දිහාට දිව දික්කරගෙන ඉන්න වෙලා තියෙනවා.

දැන් ප්‍රධාන මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදින් කැඳවාගෙන කරන්න යන්නෙ ගොබෙල්ස් න්‍යායෙන් රට පාලනය කරන්න යන්නෙ. ආණ්ඩුවට වැඩ කරලා පෙන්වන්න බැරි නිසා මාධ්‍ය ප්‍රචාර මගින් ගොබෙල්ස් කියපු විදියට බොරු කියලා රට පාලනය කරන්නයි හදන්නෙ. ජනතාවට බයෙන්, ජනතා විරෝධයට බයෙන් මේ පාලකයන් බොරු කියමින් ඉන්නවා. බොරු වැඩියෙන් කියන්න සමහර මාධ්‍යවේදින් සහායට ලබා ගනිමින් ඉන්නවා. මේ පාලනය කොයි තරම් මනෝභ්‍රන්තියක පෙළෙනවාද කියලා කියනවා නම්, හොන් එකක් ගැහුවම අල්ලලා හිරේ දාන පාලනයක් බව අපට පෙනෙනවා. මේ ඔක්කොම අස්සෙ දිය යටින් දැවැන්ත ගින්දරක් යමින් තිබෙනවා. ඒ තමයි ආර්ථික අර්බුදය. මේ ආර්ථික අර්බුදය ගැන සමගි ජනබලවේගයේ මහත්වරු කියනවා මේ පාලනය නිසා ලෝකයේ මෙතෙක් ආව විශාලම මුල්‍ය අර්බුදය 2020 ආරම්භ වෙන බව 2019 ලෝක බැංකුව කිව්වෙ. 2019 ලෝකයේ සමස්ත නිෂ්පාදනය ඩොලර් ට්‍රිලියන 84ක් ඒ කියන්නෙ බිලියන 84000ක්. ලෝකෙ සමස්ත ණය ප්‍රමාණය ඩොලර් ට්‍රිලියන 253ක් හරියටම තුන්ගුණයක්. මේක කරගහන්න වෙන්නෙ එක පැත්තකින් එදිනෙදා ජීවිතයෙ ප්‍රශ්නවලින් බැට කන, මාසෙ පඩියෙන්වත් ජීවත් වෙන්න බැරි, වැඩ කරන ජනතාවට.
ඔබ ගත්ත ණය ගෙවන්නත් වැඩ කරන්න වෙද්දි, රජය ගත්ත ණය ගෙවන්න බදු විදියට ගෙවන්න වැඩකරන ජනතාවට සිදු වෙනවා. ඒ නිසා මේ ණය ප්‍රමාණය සාමාන්‍ය වැඩ කරලා උපයන ප්‍රමානය වගේ තුන්ගුණයක් .

එදා හේමාකට් කම්කරුවන් අරගල කලේ පැය 8ක වැඩ දිනයක් වෙනුවෙන්. දැන් සාමාන්‍ය අදහස තමයි පැය 8ක් වැඩ කාලය ඉල්ලුවේ පැය 8 සමාජ ජීවිතයට වෙන් කරන්න, ඉතිරි පැය 8ක් විවේක ගන්න. දැන් මේ වැඩ කරන ජනතාවට සිදුව ඇත්තේ ණය ගෙවන්න වැඩ කරන්න. ලෝක බැංකුවෙන් රොබට් මැක්නමාරාලා ගෙනාව නවලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ ලතින් අමෙරිකාවෙ ක්‍රියාත්මක කරද්දි විශාල ණය පොම්ප කළා.
1970 වනවිට ඩොලර් බිලියන 29ක් තිබුණු මෙක්සිකෝවෙ ණය 1978 වනවිට 159ක් පස්ගුණයක් වුණා. අවුරුදු 12ක් තුළ ණය ප්‍රමාණය බිලියන 328ක් වුණා.
මේකෙ ප්‍රතිඵලය මෙක්සිකෝව ඇද වැටුණා. ඒ් හා සමාන්තරව ආජන්ටිනාව ණය වුණා. අන්තිමට ආජන්ටිනා මුදල් ඒකකය වටිනාකම 40%කින් පහත වැටුණා.
මෙක්සිකෝ මුදල් ඒකකය 30%කින් පහත වැටුණා. බ්‍රසිලයේ මුදල් ඒකකය 20% කින් අව ප්‍රමාණ කළා. ඉන්පස්සෙ මේ ආර්ථික අර්බුදය අග්නිදිග ආසියාව කරා ආවා. 1998 දෙවැනි මුල්‍ය අර්බුදය ආසියානු ව්‍යාග්‍රයන් ඇද දැමුවා
තුන්වැනි අර්බුදය 2007 ඒක්සත් ජනපදයෙන් ආවා.

මේ වනවිට 2020 සිට හතරවැනි ආර්ථික අර්බුදය වර්ධනය වෙමින් පවතිනවා
මේ ලෝකය මුහුණ දෙන ආර්ථික අර්බුදය තුළ අපි රටක් වශයෙන් ගලි යමින් සිටිනවා. දැන් පාලකයන් මේ අර්බුදය පියමැන යන්න හදන්නෙ සල්ලි අච්චු ගහලා. මේ වනවිට පාලකයන් අච්චු ගහපු මුදල් ප්‍රමානය කොච්චරද කිව්වොත් පසුගිය වසරෙ වැටුප් ගෙවීමේ මුදලින් බාගයක් අච්චු ගහපු සල්ලිවලින්.
මේ ආකාරයට සුඩානයෙ පාලකයන් කළ අච්චු ගැහීම නිසා පාන් ගෙඩියක් ගන්න මිලියන ගණන් මුදල් අරගෙන කඩපොළට යන්න සිදුවුණා. ජනයා අත් කරත්තවල මුදල් ගොඩ ගහගෙන වෙළඳපොළට යන දර්ශන පත්තරවල පළ වුණා.
මේ වනවිට ලංකාවෙ ගෑස් ටැංකියෙ ගෑස් ප්‍රමාණය අඩු කරලා මිල අඩුකරන තත්වයක් තියෙනවා. වංචනික ලෙස මේ විදියට ජනතාව ගසා කන පාලනයක් යටතේ සමාගම් කටයුතු කරනවා. වැඩ කරන ජනතාව සෞඛ්‍ය ආරක්ෂාව නැති තත්වයට පත් වෙලා. ජීව තත්වය පවත්වා ගෙන යන්නත් ආදායමක් නෑ. අපි ඉතා ඉක්මනින්ම මේ රටේ පෞද්ගලික අංශයේ, රාජ්‍ය අංශයේ සේවක වැටුප රුපියල් 15000ක වැටුප් වැඩි වීමක් සඳහා ඉල්ලීමක් ඉදිරිපත් කරමින් මේ සඳහා මේ රටේ වැඩ කරන ජනතාව පෙළ ගස්වනවා. ආණ්ඩුව මේ විදියට සල්ලි අච්චු ගහද්දි, රුපියල අවප්‍රමාණ වෙමින් තියෙන අතර ඒකත් ඇති වෙයාද කියන ප්‍රශ්නය තියෙනවා. නමුත් මේ තියෙන කොන්දේසි ඇතුළේ 15000ක්වත් වැටුප් වැඩිවීමක් අවශ්‍යයි.

දෙවැනි ඉල්ලීම රාජ්‍ය හෝ පෞද්ගලික ‍ අංශයේ සේවකයන් අතර මෑන් පවර්, තානකාලික, කොන්ත්‍රාත්, අභ්‍යාසලාභී වගේ විවිධ ආකාරයෙන් සූරාකෑමට ලක්වන සියලු දෙනාගෙ සේවය ස්ථිර කළ යුතුයි කියන ඉල්ලීඹ අප ඉදිරිපත් කරනවා.
මේ රටේ ගොවි ජනතාව වෙනුවෙන් අපි කරන ඉල්ලීමක් තියෙනවා. දැන් මේ රටේ වැඩකරන ජනතාව අතර ගොවි ජනතාව සමාගම්වලට බිලිදීලා. ඔවුන්ට අවශ්‍ය බීජ, කෘමිනාශක, පලිබෝධනාශක, පොහොර මේ සියල්ල සමාගම් විසින් ලාභය පිණිස අත්පත් කරගෙන තිබෙනවා. දැන් ආණ්ඩුව කරන්නෙ පොහොර, කෘමිනාශක ආනයනය නවත්වලා ඩොලර් වියදම්කරන එක නවතා දමන වැඩක් කොච්චර කාලයක් කරන්න වෙයිද ? කාබනික පොහොර ගොවිතැනට පමණක් අද තියෙන ආහාර නිෂ්පාදන අවශ්‍යතා සපුරන්න හැකියාවක් නෑ. ඒ නිසා ගොවි ජනතාව වෙනුවෙන් බොරු කරන්නෙ නැතිව ඇත්ත ප්‍රශ්නය අපි විවෘතව සාකච්ඡාවට ගන්න ඔ්න . අපි කියනවා සමාගම් පන්නන ගොවිතැන රැකගන්න ගොවි අරගලයකට අපි ගොවි ජනතාව සංවිධානය කළ යුතුයි.

අපේ විසඳුම තියෙන්නෙ සමාජවාදය තුළ. අපේ සමාජය පීඩාවට පත්කරන මේ තියෙන ගැටලු වලට විසඳුම් සොයන මාර්ගය සමාජවාදය, අපට සමාජවාදය වෙනුවෙන් ජනතාව පෙළගස්වන වැඩ පිළිවෙළක් තිබෙනවා. කාලෙන් කාලයට විවිද ව්‍යාජ සුපිරි වීරයෝ පස්සෙ යන ජනතාවට අපි කියනවා වැඩ කරන ජනතාවගේ සංවිධානාත්මක බලයෙන් විතරයි, විතරයි මේ ප්‍රශ්න විඳන්න පුලුවන්
ඩෙංගුවලින් මියයන රෝගීන් ගැන විසඳුම් දෙන්න ධනවාදයට බෑ. වසංගතවලින් මිය යන ජනතාවට පිහිට වෙන්න හැකියාවක් නැති බව අද වනවිට සනාථ වෙලා. ඒ් විතරක්ද? සිය දිවි නසාැනීම්වලින් 31 වැනි තැන ලංකාව. රිය අනතුරුවලින් දිනක 7-8ක් මිය යන කාලයක්. තවදුරත් ලාභය හඹා යන මේ ක්‍රමයද සමාජ යහපත ඉලක්ක කරගත් සමාජවාදයද විසඳුම වෙන්නෙ කියන ප්‍රශ්නය තියෙනවා. ඒ් නිසා අපි මේ කම්කරු දිනය වෙලාවෙ අවධාරනය කරන්නෙ “අධිරාජ්‍යවාදී උගුලෙන්, නව ලිබරල් කොල්ලයෙන් ජනතාව ගලවන වැඩකරන ජනතා බලයක්” ඒ සඳහා මේ රටේ වැඩකරන ජනතාවට, ගොවි කම්කරු ජනතාවට, මේ රටේ තරුණයන්ට, කාන්තාවන්ට, ශිෂ්‍යයන්ට, කලාකරුවන්ට අපි ආරාධනා කරනවා. මේ යල්පැන ගිය සමාජ ආර්ථික ක්‍රමය, මේ සමාජය පෙළන, මිනිස් සංහතිය විනාශය කරා ගෙනයන ක්‍රමයට එරෙහිව සංවිධානය වෙන්න, සමාජවාදය වෙනුවෙන් සටන් වදින්න ශක්තිය ධෛර්ය ලැබේවා.

සමාජවාදයට ජය වේවා!
වැඩකරන ජනතා සමගියට ජය වේවා!
කම්කරු පන්තියට ජය වේවා!

leave a reply