Breaking News

හිටපු ජනාධිපති උපදේශකයෙකු වූ ආර්. පාස්කරලිංගම්ගේ නමත් පැන්ඩෝරා පේපර්ස්වල

ජනාධිපතිවරුන් දෙදෙනකුගේ සහ අග්‍රාමාත්‍යවරයකුගේ උපදේශකවරයකු මෙන්ම මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකුද වූ ආර්. පාස්කරලිංගම් සිය වත්කම් රහසිගතව සඟවා ඇති බවට විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සාමූහිකය (JCIJ) විසින් එළිදක්වන ලද “පැන්ඩෝරා පත්‍රිකා” මගින් තොරතුරු අනාවරණය කර ඇත.

අක්වෙරළ සමාගම්වල වත්කම් රහසිගතව සැඟ වූ ලෝක බලවතුන්ගේ මෙන්ම ධනවතුන් විශාල පිරිසකගේ වත්කම් පිළිබඳ රහස් පැන්ඩෝරා පත්‍රිකා මගින් දැනටමත් හෙළිකර තිබූ අතර, ඩොලර් මිලියන ගණනක වත්කම් සැඟ වූ අයකු ලෙස ඔවුන් මෙවර ආර්. පාස්කරලිංගම්ගේ (පාස්කි) නම ද හෙළිදරව් කර තිබේ.

ආර්. පාස්කරලිංගම් ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ සහ හිටපු ජනාධිපති ඩිංගිරි බණ්ඩා විජේතුංගගේ උපදේශක ලෙස කටයුතු කර ඇති අතර පසුව මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ද සේවය කළ බව පැන්ඩෝරා වාර්තාවේ සඳහන් වේ.

ඔහු යහපාලන ආණ්ඩුවේ ආර්ථික කළමනාකරණය කමිටුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉකුත් 2018 වර්ෂයේ දී එම කමිටුව අහෝසි කළේය.

පාස්කරලිංගම් ඉකුත් 2012 දී බ්‍රිතාන්‍ය වර්ජීන් දූපත්වල භාරයක් පිහිටුවා ඇති බවත්, එහි සංස්ථාගත ලේඛනවලට අනුව ඔහුගේ රැකියාව වශයෙන් ‘විශ්‍රාමික’ ලෙස සටහන් කර ඇති බවත් පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කර තිබේ. ඔහු තමා සහ පවුලේ අනෙකුත් සාමාජිකයන් ප්‍රතිලාභීන් ලෙස ලැයිස්තුගත කර ඇතැයි ද එම වාර්තාවේ සඳහන් කර ඇත.

මෙම භාරයට, බ්‍රිතාන්‍ය වර්ජින් අයිලන්ඩ්ස් සමාගමක් සහ නැගෙනහිර කොළඹ පෞද්ගලික වෘත්තීය පාසලක් වන හොරයිසන් ව්‍යාපාරය හා තාක්ෂණීක විද්‍යාලයේ (Horizon College of Business and Technology) කොටස් හිමි සිංගප්පූරු සමාගමක් ද ඇතුළත් වන බව පැන්ඩෝරා වාර්තාවෙන් දක්වා තිබේ.

ජාත්‍යන්තර මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සමූහය (ICIJ) “විකිණීම සඳහා රහස්‍යභාවය” යන තේමාව යටතේ මෙම අක්වෙරළ ව්‍යාපාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිදරව්ව කිරීමත් සමඟ පාස්කරලිංගම් මහතා මෙම භාරය වසා දැමූ බව පැන්ඩෝරා පත්‍රිකාවෙන් පෙන්වා දී ඇත.

රහසිගත ඊමේල් පණීවිඩවලට අනුව පාස්කරලිංගම් මහතා කිසිදු සැලසුමක් නොමැතිව වහාම එය අත්හැර ඇති අතර, පසුව ඔහුගේ පුතා සහ බෑනණුවන් සඳහා අලුත් භාරයක් නිර්මාණය කර ඇති බව ද එම වාර්තා පෙන්වා දී තිබේ.

උපුටා ගැනුම www.lankaviews.com

leave a reply