Breaking News

කොළඹ වරායේ බටහිර ජැටිය ඉන්දීය – ජපන් ආයෝජනයකට ලබාදීමට කැබිනට් අනුමැතිය

කොළඹ වරාය බටහිර බහලුම් පර්යන්තය, ඉන්දියාව සහ ජපනය නම් කරන ආයෝජයෙකු, වරාය අධිකාරීය හා එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස වසර 35ක කාලයක් සංවර්ධනය කොට ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි ඉන්දියාව අදානි සමාගම සහ එම සමාගමේ දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගම සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම ව්‍යාපෘතිය සඳහා එක්වීමට නියමිතයි.

ආයෝජකයෙකු නම් කරන ලෙස ඉල්ලීමක් කර තිබුණ ද මේ වන තෙක් ජපන් රජය ඒ සඳහා අයෝජකයෙකු පත් කර නොමැත.

වරාය හා නාවික අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කර අනුමැතිය හිමි යොජනාවේ වසර 35 ක කාලයක් සදහා සංවර්ධනය කර ක්‍රියාත්මක කර ආපසු භාරදිමේ පදනම යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන බව සඳහන් වේ.

නැගෙනහිර ජැටිය
මීට පෙර ඉන්දියාවට සහ ජපානයට ලබාදීමට නියමිතව තිබුණේ කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයයි.එහිදී ඉන්දියාව විසින් අදානි සමාගම ඒ වෙනුවෙන් යෝජනා කර තිබුණි. නමුත් ඊට වෘත්තීය සමිති 23ක් ඇතුළු සිවිල් සංවිධානවලින් දැඩි විරෝධයක් එල්ල විය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුලින් පැවසුවේ මෙය නැගෙනහිර පර්යන්තය විකිණීමක් නොව ආයෝජනයක් පමණක් බවයි .නමුත් පසුව විරුද්ධව නැගුණු විශාල ජනතා මතය හමුවේ ආණ්ඩුවට එම තීරණය වෙනස් කිරීමට සිදුවිය. ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සීයක් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පාලනය යටතේ තබාගැනීමටත්, එහි බටහිර පර්යන්තය සංවර්ධනය සඳහා ආයෝජන කැඳවීමටත් කැබිනට් මණ්ඩලය පසුගිය පෙබරවාරි 01 වැනිදා තීරණය කළේය.

බටහිර ජැටිය යනු කුමක්ද ?
කොළඹ වරායේ බටහිර පර්යන්තය යනු මෙතෙක් ඉදිකර නැති පර්යන්තයකි. කොළඹ වරායේ ක්‍රියාත්මක පර්යන්ත පහක් තිබේ. ජායා පර්යන්තය (Jaya Container Terminal), සමගි පර්යන්තය (Unity Container Terminal), SAGT (South Asia Gateway Terminal) පර්යන්තය, CICT (Colombo International Container Terminal) පර්යන්තය සහ නැගෙනහිර පර්යන්තය (EAST Container Terminal – ECT) ඒවා වේ. තවමත් ඉදිකර නොමැති යෝජිත පර්යන්තය වන්නේ WCT (Western Container Terminal) හෙවත් බටහිර පර්යන්තයයි. මේ අතරින් දැනට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කොළඹ වරායට අයිති පර්යන්තක් ලෙස ක්‍රියාත්මක වන්නේ ජායා පර්යන්තය (JCT) පමණි.

 

leave a reply