Breaking News

වන අලින් විල්පත්තුවට පලවාහැර වයඹ අලි- මිනිස් ගැටුමට විසඳුම් සෙවිය නොහැකිය !

සුපුන් ළහිරු ප්‍රකාශ්

අලි මිනිස් ගැටුම වර්තමාන ශ්‍රී ලංකාවේ දේශපාලන වේදිකාවේ නිරන්තරයෙන් සාකච්ඡාවට බඳුන් වන මාතෘකාවක් බවට පත්ව තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ “ගම සමග පිළිසඳර” වැඩසටහනේදී ද මේ පිළිබඳව නිතර මැසිවිලි නැගේ. ඒ ආකාරයෙන් වයඹ පළාතේ කරුවලගස්වැව ප්‍රදේශයේ වර්තමානයේ උත්සන්න වී ඇති අලි- මිනිස් ගැටුම අවමකිරීම සඳහා එම ප්‍රදේශයේ සිටින අලි ඇතුන් විල්පත්තු ජාතික උද්‍යානයට පලවා හැරීමට පසුගිය සෙනසුරාදා දින යෝජනා විය. නමුත් ඒ ආකාරයෙන් අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් සම්පුර්ණයෙන්ම පන්නා රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම අලි – මිනිස් ගැටුමට කිසිඳු ආකාරයක විසඳුමක් නොවන බව පසුගිය දශක හයකට වැඩි ඉතිහාසය සාක්ෂි දරයි. ඒ වෙනුවට මෙවැනි අලි පලවාහැරීම් මගින් සිදුවන්නේ අලි – මිනිස් ගැටුම් කළමනාකරණය සම්බන්ධයෙන් අප මෙතෙක් අත්කරගෙන ඇති ප්‍රගතිය නැවත ආපස්සට හැරවීම හා අලි – මිනිස් ගැටුම සීග්‍රයෙන් ඉහළ යාම මගින් එම දෙපාර්ශවයේම ජීවිත අනතුරේ වැටීම පමණක් බව අප අවධාරණය කරමු. නමුත් බලධාරීන් නැවතත් මේ සිදුකරන්නට උත්සාහ කරමින් සිටින්නේ අලින් හා මිනිසුන් රෑ වැටුණු වලේ මහා දවලෙත් ඇදදැමීමට වීම ඛේදණීයය.

පසුගිය දශක හය පුරා ශ්‍රී ලංකාවේ අලින් සංරක්ෂණය හා අලි – මිනිස් ගැටුම පාලනය සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව භාවිතා කරන ලද ප්‍රධාන සිද්ධාන්තය වූයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පරිපාලනය වන වනජීවී රක්ෂිත ප්‍රදේශ වලට අලි ඇතුන් සීමා කිරීමය. කෙසේ වෙතත් වර්තමානයේ වයඹ වනජීවී කලාපයේ ජීවත්වන අලි ඇතුන්ගෙන් සියයට හැටක් පමණ ජීවත් වන්නේ වනජීවී රක්ෂිත වලින් බැහැරව බව ජාතික වන අලි සංගණනය මගින්ද තහවුරුවී ඇත. ඒ අනුව මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට නම් දැනට කුල්ලක තරම් ප්‍රදේශයක ජීවත්වන අලි ඇතුන් අල්ලක් තරම් ප්‍රදේශයකට ගාල් කිරීමට බලධාරීන්ට සිදුවනු ඇත.

මෙසේ වනජීවී රක්‍ෂිත තුළට ගාල් කෙරෙන අලි ඇතුන් ඒ තුළ රඳවාගත නොහැකිව යළිත් තමන්ගේ වාස භූමි වෙත පැමිණීම හෝ එසේ සිදුකර ගත නොහැකි අවස්‌ථාවලදී ඉතා අවාසනාවන්ත ලෙස කුසගින්නේ මිය යාම නොවැලැක්විය හැකි බව වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සතු පර්යේෂණ දත්ත වලින් පවා අවධාරණයකර තිබේ. එවැනි පසුබිමක් තුල අලි – මිනිස්‌ ගැටුමට පිළියමක්‌ ලෙස මෙම ක්‍රමෝපාය යොදාගැනීම ඉතා අවිද්‍යාත්මක ක්‍රියාවක් බව අප අවධාරණය කරමු. තමන්ගේ නිජබිම් වලින්, වාසභූමි වලින් පන්නා පිටුවහල්කර පිටස්තර වනජීවී රක්ෂිත වලට ගාල් කරන අලි රංචු වල සිටින අහිංසක ගැහැණු සතුන්ට හා පැටවුන්ට ආගන්තුක පරිසරය තුලින් ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතාවයන් සපුරා ගැනීමට නොහැකි වේ. එවැනි අවස්ථා වල එම සතුන් විදුලි වැටෙන් කොටුවූ ප‍්‍රදේශය තුල සිරවී ආහාර හිඟයකට මුහුණ දෙති. එමගින් ඇතිවන පෝෂණ දුර්වලතා නිසා, විශේෂයෙන් කුඩා අලි පැටවුන් ඉතා අවාසනාවන්ත ලෙස දුක් විඳ බඩගින්නේ මිය යාම සිදුවේ.

වර්ෂ 2006 වියළි කාලයේදී වළව වම් ඉවුර ව්‍යාපෘතිය මගින් තම පාරම්පරික නිජ බිම් උදුරා ගන්නා ලදුව අලි ඇතුන් 225 ක්‌ පමණ ලුණුගම්වෙහෙර ජාතික උද්‍යානයට ගාල් කෙරුණි. අලි පළවා හැරීමේ ඉතා අවාසනාවන්ත ඉරණම සපත කරමින් මෙසේ ලුණුගම්වෙහෙරට ගාල් කෙරුණු අලි ඇතුන් පෝෂණ දුර්වලතා හා ඒ ඔස්‌සේ ඇතිවූ රෝගාබාධ මගින් මරණයට පත්වූ බව පරිසර ක්‍ෂේත්‍රයේ දැඩි කතා බහට ලක්‌වූ කාරණයකි. එසේම වයඹ පළාත පුරා විසිරී සිටින අලි රංචු ද කහල්ල- පල්ලෙකැලේ සහ තබ්බෝව යන අභයභූමි වලටත් විල්පත්තු ජාතික උද්‍යානයටත් පලවාහැර මෙම ප්‍රදේශයේ අලි- මිනිස් ගැටුම් කළමනාකරණය කිරීමට දැරූ උත්සාහ අසාර්ථක වුනේ අද ඊයේ සිට නොවේ. එසේම යාල ජාතික උද්‍යානය ආශ්‍රිතව දිවිගෙවූ අලි රංචු උද්‍යානය තුළට ගාල්කර ඉදිකළ විදුලි වැට හේතුවෙන් හඳපානාගල ප්‍රදේශයේ ජීවත්වූ අලි පරපුර වඳවී යාමද යාල කලාප අංක එක කොටසට ඒ අවටින් පන්නා සිර කල අලි ගැහැනු සතුන් හා පැටවුන් විශාල ප්‍රමාණයක්‌ ආහාර නොමැතිව මිය යමින් සිටීම සැඟවිය නොහැකි සත්‍යකි. අද දක්වාම එම වනජීවී රක්‍ෂිතවල වසරක්‌ පාසා සෑම වියළි කාලයකම අලි පැටවුන් මියයෑම එම වනජීවී රක්‍ෂිතවල අලි ගහනයන්ගෙන් ඉදිරි පැවැත්මට ඉතා අහිතකර අන්දමින් බලපා ඇති බව අවධාරණය කළ යුතුය.

වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය එක්ව ඉකුත් වසර ගණනාවක් පුරා වන අලින්ට චන්ද්‍රිකා තාක්ෂණ කරපටි පළඳවා ලබාගත් දත්ත මගින් සිදුකෙරුණු පර්යේෂණ මගින්ද අනාවරණය වන්නේ කොතරම් අලි පලවාහරීම් සිදුකළද අලි – මිනිස් ගැටුමට දායකවන තනි අලින් එම සතුන්ගේ වාසභූමි තුළම රැඳී සිටීමට දැඩි උත්සාහයක් දරන බවය. කෙසේ හෝ එම සතුන් තම වාසභූමියෙන් ඉවත් කලද ඉතා කෙටි කලකින් නැවතත් තම වාසභූමියට එම සතුන් පෙරලා පැමිණෙන බවය. ඒ අනුව වනජීවී රක්‍ෂිත වලින් පරිබාහිරව තම වාසභූමි පවත්වාගෙන යන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි වලින් පිටමං කර වනජීවී රක්ෂිත තුලට ගාල් කිරීමට දරන උත්සාහයන් සියල්ල අසාර්ථක බව විද්‍යාත්මකව ඔප්පුවී ඇත.

සාමාන්‍යයෙන් මෙවැනි පළවා හැරීම් මගින් සිදුවන්නේ අලි ගැහැනු සතුන් හා පැටවුන් පමණක්‌ තම වාස භූමි වලින් ඉවත් කිරීමය. එහෙත් ඉහත සඳහන් කල පරිදි අලි මිනිස්‌ ගැටුමට හේතු වන්නේ තරුණ පිරිමි අලින් බව ප්‍රකට කාරණයකි. මෙවැනි පසුබිමක්‌ තුළ අලි රංචු පළවා හැරීම මගින් අලි මිනිස්‌ ගැටුම විසඳීමට නොලැබෙන බව යළි යළිත් සඳහන් කළ යුතු නැත. මෙවැනි අවස්ථාවල තනි අලින් බොහෝවිට සිදු කරන්නේ අලි පලවා හැරීම් මඟ හැර වෙනත් ප්‍රදේශ වලට සංක්‍රමණය වී මෙහෙයුම අවසන් වූ පසු යළිත් තමන්ගේ පුරුදු වාස භූමියට පැමිණීමය. මේ ආකාරයෙන් අලි පලවා හැරීම් අවසන් කළ වහා එම ප්‍රදේශය හා තදාසන්නව, පැන්නීමෙන් කුපිතවූ පිරිමි වන අලින් සැරිසැරීම හා ඔවුන් මිනිස්‌ ජනාවාසවලට පැමිණ භව භෝග හා අනෙකුත් යටිතල පහසුකම් විනාශ කරමින් මිනිස්‌ ජීවිතවලටද තර්ජන ඇති කිරීම සුලභව දක්නට ලැබේ.

තවද අලි ඇතුන් රක්ෂිත ප්‍රදේශ වලට ගාල්කිරීම සඳහා නිතර නිතර අසාර්ථක අලි පැන්නීම්  සිදුකිරීම මගින් සිදුවන්නේ ගැහැනු සතුන් හා පැටවුන් සහිත අලි රංචු පවා මිනිසුන් කෙරෙහි දක්‌වන බිය පහවීම හා මිනිස්‌ ප්‍රතිරෝධයට අනුවර්ථනය වීම බව අවධාරණය කල යුතුය. සාමාන්‍යයෙන් අලි රංචු ගම්වැදීමට දක්වන ප්‍රවණතාවය ඉතා අඩු නමුත් මිනිසුන්ගේ අඩංතේට්‌ටම් හා අලි පළවා හැරීම්වලට නිරතුරුව භාජනය වන අලි රංචු අද වනවිට ගම් වැදීමට පවා නැඹුරු වන තත්ත්වයක්‌ තුළ ඒ රංචුවලට බිහිවන පිරිමි සතුන් වැඩි දෙනෙක්‌ අතිඋග්‍ර අලි මිනිස්‌ ගැටුමකට මුල පිරීම නොවැළැක්‌විය හැකිවීම විමතියට කරුණක්‌ද?

එසේම නිතර නිතර අලි ඇතුන් පලවා හැරීමේ මෙහෙයුම් සිදුකිරීමෙන් හා ඒවාට විශාල වශයෙන් අලි වෙඩි භාවිතා කිරීමෙන් සහ අලි ඇතුන්ට පතොරම් තුවක්කු වලින් පවා වෙඩි තැබීමෙන් අලින්ගේ ප‍්‍රචණ්ඩත්වය වර්ධනය වේ. මිනිසුන් කෙරේ වෛරයක් ඇතිවේ. අලි රංචු වල සිටින කුඩා අලි පැටවුන් මිනිසුන්ගේ අලි වෙඩි, ශබ්ධ නැගීම් හා ගින්දර වැනි අලි ඇතුන් සාමාන්‍යයෙන් බිය දක්වන සාධක වලට නිතර මුහුණදීම සිදුවේ. එමගින් ඒවාට ඇති බිය ඉවත්වී යයි. මෙලෙස දිගින් දිගටම මිනිසුන් අලින් සමග ගැටීමෙන් එම ගැටුම තව තවත් වර්ධනය වනවා මිස ගැටුම සංසිඳීමක් සිදු නොවේ. එය ඉදිරියේදී තව තවත් බරපතල අලි – මිනිස් ගැටුම් ඇතිවීමට හේතුවේ.

චන්ද්‍රිකා තාක්‍ෂණ කරපටි වලින් ලබා ගන්නා දත්ත හා ක්‍ෂේත්‍ර අධ්‍යයන මගින් මනාව පැහැදිලි වන කාරණය වන්නේ අලි රංචු පරිභෝජනය කරන ප්‍රදේශ සීමිත හා විශේෂයෙන් වෙන් කර ගත හැකි බවය. මහ කැළෑ, ලඳු කැළෑ අත්හරින ලද පෞද්ගලික ඉඩම්, වගා කන්නයෙන් පසු අත් හරිනු ලැබූ කුඹුරු (ඉපනැලි) හා හේන් බිම් මෙසේ අලි රංචු විසින් පරිභෝජනයට ගනු ලබන කොටසට අයත් වන අතර එම කොටස්‌වලට සැලසුම් සහගතව අලි ඇතුන් සීමා කිරීම මගින් ඉන් පිටත ඇති ප්‍රදේශ ප්‍රමාණිත සංවර්ධන සැලැස්‌මකට ලක්‌කර මිනිස්‌ පරිභෝජනයට ගැනීමට හැකියාව පවතී. ඉනික්‌බිති අලි ඇතුන්ගේ භූමි පරිභෝජන රටාවට අනුකූලව ඔවුන් විසින් මිනිස්‌ වාසස්‌ථානවලට හා වගා බිම් වලට වැදීම වැළැක්‌වීමට අලි ඇතුන් භාවිත ප්‍රදේශ හා මිනිස්‌ භාවිත ප්‍රදේශ අතර ස්‌ථිර හා තාවකාලික අලි බාධක යෙදීම මගින් දීර්ඝ කාලීන සැලසුම් සහගත වැඩපිළිවෙළකට අනුකූලව මෙම අලි මිනිස්‌ ගැටුමට තිරසාර විසඳුමක්‌ ලබාගත හැකිය.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම අවමකිරීමේ වැඩපිළිවෙලේ සාධනීය ඉදිරි පියවරක් ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමත් සමග ඉකුත් වසරේ ජූලි මසදී අලි- මිනිස් ගැටුම අවමකිරීම සඳහා ජාතික ක්‍රියාකාරී සැළැස්මක් සකස් කිරීම සඳහා කමිටුවක් පත්කරන ලදී. මෙරට අලි ඇතුන් සංරක්ෂණය හා කළමනාකරණය සම්බන්ධ ප්‍රකට විද්වතෙකු වන ආචාර්ය පෘතිවිරාජ් ප්‍රනාන්දු මහතාගෙන් සභාපතීත්වයෙන් යුත් එම කමිටුවට විද්වතුන් මෙන්ම වනජීවී සංරක්ෂණ, වන සංරක්ෂණ, ගොවිජන සේවා සහ වාරිමාර්ග දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ අලි මිනිස් ගැටුමෙන් දැඩි ලෙස බැටකන දිස්ත්‍රික්ක වල දිස්ත්‍රික් ලේකම් වරුන්ගෙන් සමන්විත විය. අදාළ කමිටුව මගින් සකස්කළ ක්‍රියාකාරී සැළැස්ම ඉකුත් වසරේ දෙසැම්බර් මස අගදී ජනාධිපතිවරයාට භාරදෙනු ලැබීය. එබැවින් දැන් ඔහු සිදුකළ යුත්තේ තව දුරටත් අඳුරේ අතපත ගාමින් කල් මැරීම නොව. අදාළ ක්‍රියාකාරී සැළැස්ම මගින් අවධාරණය කෙරෙන වන අලි ඇතුන් ඔවුන්ගේ පාරම්පරික වාසභූමි තුලම සංරක්ෂණය කරමින් වඩාත් විද්‍යාත්මක හා තිරසාර ප්‍රවේශයක් ඔස්සේ මුළු දිවයිනේම අලි – මිනිස් ගැටුමට විසඳුම් සෙවීම සඳහා කටයුතු කිරීමය.

සුපුන් ළහිරු ප්‍රරකාශ්

leave a reply