ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ වරින් වර ඇතිවූ පුරප්පාඩු හේතුවෙන් කල් යමින් පැවැති මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකුට එරෙහිව ගොනුකර ඇති නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබ තිබේ.
ඒ අනුව අදාළ නඩුව විභාග කරනුයේ නාමල් බලල්ලේ, මහේන් වීරමන් සහ සුජීව නිශ්ශංක යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසිනි.
එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ නඩුව පසුගිය මැයි 17 වැනිදා කැඳවන ලද අතර නඩුව ජුනි මස 28 වැනිදා සිට යළි විභාගයට ගැනීමටත් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.
විනිසුරු මඩුල්ල පුරප්පාඩු වීම
මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මුලින්ම සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරන ලදී.
නඩුව විභාගය ආරම්භ වීමත් සමගම සම්පත් අබේකෝන් සහ සම්පත් විජයරත්න යන විනිසුරුවරු අභියාචනාධිකරණයට උසස් වීම් ලැබීම නිසාත්, සාමාජික විනිසුරු ගිහාන් කුලතුංග විදේශගත වීම නිසාත් විනිසුරු මඩුල්ලේ වරින් වර පුරප්පාඩු ඇති විය.
ඒ අනුව අදාළ නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් චමත් මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවේය.
අනතුරුව එම විනිසුරු මඩුල්ල ඉදිරියේ සාක්ෂි විභාගය ආරම්භ විය.
එහෙත් 2023 වසරේ අගෝස්තු මස එම ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු චමත් මොරායස් අභියාචනාධිකරණ විනිසුරුවරයකු වශයෙන් උසස් වීමක් ලැබීම හේතුවෙන් අදාළ විනිසුරු මඩුල්ලේ යළි පුරප්පාඩුවක් ඇතිවිය.
ඉන් අනතුරුව එම විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම විභාගය පැවතුණි.
එහෙත් අදාළ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු වශයෙන් කටයුතු කළ දමිත් තොටවත්ත ද පෞද්ගලික හේතු මත තමා මෙම නඩු විභාගයෙන් ඉවත්වන බව දැනුම් දී තිබුණි.
ඉන් අනතුරුව මෙම නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නම් කරනු ලැබීය.
චෝදනා සහ විත්තිකරුවන්
2010 වසරේ ජනවාරි මස මස 25 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී විත්තිකරුවන් තවත් නම් නොදත් පිරිසක් සමග එක්ව රහසිගතව සිර කර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම හා මරණය සිදු කිරීම යන චෝදනා සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ චෝදනා 17 ක් විත්තිකරුවන්ට එරෙහිව එල්ල කර තිබේ.
මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් ෂම්මි කුමාර රත්න, ඩබ්ලිව්.ඩී . උපසේන (සුරේෂ්), ආර්. එම්. පී. කේ. රාජපක්ෂ (නාදන්), එස්.එම්. රවීන්ද්‍ර රූපසේන (රංජි) ,චමින්ද කුමාර අබේරත්න කනිෂ්ක ගුණරත්න, අයියාසාමි බාලසුබ්රමනියම්, තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් යන යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
සාවද්‍ය සාක්ෂි ලබා දීම
2019 වසරේ නොවැම්බර් මස 27 වැනිදා මෙම නඩුවේ විභාගය ආරම්භ විය.
එදින මෙම නඩුවේ විත්තිකරුවන් වශයෙන් නම්කර සිටින යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 9 දෙනාට එරෙහිව අධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාරදුන් අතර ඉන් අනතුරුව සාක්ෂි විභාගය ආරම්භ විය.
ඒ අනුව නඩුවේ ප්‍රධාන සාක්ෂිකාරියක වන අතුරුදන් කෙරුණු මාධ්‍යවේදී ප්‍රගිත් එක්නැලි ගොඩගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩගේ සාක්ෂි සටහන් කර ගැණුනි.
මෙතෙක් පැවති නඩු විභාගයේ දී වාර්තා වූ සුවිශේෂී සිද්ධීන් වන්නේ මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටි යුද හමුදා හිටපු සැරයන් රන්බණ්ඩා සහ හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් හෙවත් මුරලි යන සාක්ෂිකරුවන් විසින් අධිකරණය හමුවේ පැමිණිල්ලට අගතිදායක ලෙස සාක්ෂි ලබාදීම (සාවද්‍ය සාක්ෂි) සඳහන් කළ හැකිය.
හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සහ හිටපු LTTE සමාජිකයෙකු වන සුරේෂ් කුමාර් (මුරලි) යන අය මුලින්ම සැකකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ අතර පසුව මොවුන් නිදහස් කොට රජයේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කරන ලදී.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරයේ අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ යුද හමුදා කඳවුරේ විත්තිකරුවන්ගේ අත්අඩංගුවේ සිටි බව සඳහන් කරමින් එම සාක්ෂිකරුවන් විසින් සඳහන් කර තිබුණි.
ඒ අනුව මෙම පුද්ගලයින් දෙදෙනා නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් වශයෙන් නම් කිරීමට නීතිපතිවරයා පියවර ගත්තේය.
නමුත් හිටපු යුද හමුදා සැරයන් රන්බණ්ඩා සාක්ෂිය සඳහා කැඳවූ අවස්ථාවේදී අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩ ගිරිතලේ කඳවුරේ සිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දුන්නේ එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ බලපෑම් හේතුවෙන් බව සඳහන් කර තිබුණි.
තමන් සඳහන් කරන ආකාරයේ ප්‍රකාශයක් ලබා දුනහොත් තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බලපෑම් කිරීම නිසා තමා පොලිසියට එවැනි ප්‍රකාශයක් ලබා දුන් බවත් සාක්ෂිකරු අධිකරණය හමුවේ කියා සිටියේය.
පැමිණිල්ලේ තවත් සාක්ෂිකරුවකු වන හිටපු LTTE බුද්ධි අංශ සාමාජිකයකු වන සුරේෂ් කුමාර් (මුරලි) නමැත්තාද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබාදෙමින්, තමා ගිරිතලේ කඳවුරේ සිටියදී ප්‍රගිත් එක්නැලිගොඩ එහි සිටි බවට ප්‍රකාශයක් ලබාදී තිබුණි.
එහෙත් ඒ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ සාක්ෂි මෙහෙයවීමේදී සාක්ෂිකාර සුරේෂ් කුමාර් නමැත්තා සඳහන් කළේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර ගේ බලපෑම් හේතුවෙන් තමා මෙවැනි ප්‍රකාශයක් කළ බව ය.
මෙවැනි ප්‍රකාශයක් කළොත් අත් අඩංගුවේ පසුවන තමන්ව නිදහස් කරන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සඳහන් කළ බවත් ඒ අනුව ඔවුන්ට අවශ්‍ය ආකාරයට තමන් හෝමාගම මහේස්ත්‍රාත්වරයා හමුවේ ප්‍රකාශ ලබාදුන් බවත් එම සාක්ෂිකරු ද අධිකරණය හමුවේ ප්‍රකාශ කර තිබුණි.
ඉන් අනතුරුව සාක්ෂිකරුවන් දෙදෙනා පැමිණිල්ලට අවාසිදායක ලෙස සාක්ෂි ලබාදීම හේතුවෙන් ඔවුන් අගතිදායක සාක්ෂිකරුවන් වශයෙන් නම් කොට ඔවුන්ට එරෙහිව “සාවද්‍ය සාක්ෂි” ලබාදීම සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් නීතිපතිවරයා විසින් අධිකරණයට දැනුම් දෙන ලදී.
‘චෝදනා පවත්වාගෙන යන්න බැහැ’
පැමිණිල්ලේ ප්‍රධාන සාක්ෂිකරුවන් දෙදෙනෙකු ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් කට උත්තරයට පරිබාහිර සාක්ෂියක් ලබාදීම නිසා විත්තිකරුවන්ට එරෙහිව ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට විත්තිය වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න ඇතුළු නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ කරුණු පෙන්වා දුන්හ.
එහෙත් නීතිපතිවරයා අධිකරණයට දැනුම් දී තිබුණේ මෙම සාක්ෂිකරුවන් පැමිණිල්ලට අගතිදායක ආකාරයට සාක්ෂි ලබා දී තිබුණත් නඩුවේ සෙසු සාක්ෂි උපයෝගී කරගෙන චෝදනා ඉදිරියට පවත්වාගෙන යාමට කටයුතු කරන බවයි.
‘වැදගත් සාක්ෂිකරුවන් නම් කර නෑ’
මෙම නඩුවට පාදකවන විමර්ශනය කළ ප්‍රධාන නිලධාරියෙකු මෙම නඩුවේ සාක්‍ෂියක් ලෙස නම් කර නොමැති බව අගතියට පත් සන්ධ්‍යා එක්නැළිගොඩගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම වරක් අධිකරණයේ අවධානයට යොමු කර සිටියේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මෙම නඩුවේ ප්‍රධාන විමර්ශන නිලධාරියා බවත් ඔහු විසින් කළ විමර්ශන පදනම් කරගෙන නීතිපතිවරයා මෙම නඩුව ගොනුකර තිබෙන බවත් ජනාධිපති නීතිඥ කුමරප්පෙරුම සඳහන් කර තිබුණි.
එහෙත් ශානි අබේසේකර මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර නොතිබීම විශාල ඌනතාවක් යැයි පෙන්වා දුන් ජනාධිපති නීතිඥ උපුල් කුමරප්පෙරුම ඔහු මෙම නඩුවේ සාක්ෂිකරුවකු වශයෙන් නම් කිරීමට පියවර ගතයුතු බවත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට ප්‍රතිචාර දක්වමින් නීතිපතිවරයා වෙනුවෙන් එම අවස්ථාවේ අධිකරණයේ පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලිප පිරිස් සඳහන් කළේ අගතියට පත් පාර්ශවයේ නීතිඥවරයා විසින් ඉදිරිපත් කරන ඉල්ලීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන බව ය.
මෙම වාතාවරණය හමුවේ ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ නඩුව නව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ එළඹෙන ජූනි මස 28 වනදා යළි ආරම්භ කිරීමට නියමිත ය.
(BBC සිංහල සේවය)