Breaking News

නැගෙනහිර හෝ බටහිර ජැටිය වේවා ඕනෑම මහජන දේපල පෞද්ගලිකරණයට එරෙහිව පෙළගැහෙමු – පෙ.ස.ප. වරාය වෘත්තීය සමිතිවලින් ඉල්ලයි

නැගෙනහිර ජැටිය රැකගැනීම වෙනුවෙන් සටන් කරන මහජන ව්‍යාපාරයට සම්බන්ධ වී සිටින දේශපාලන කණ්ඩායම් ඉවත් කිරීම වෙනුවෙන් ආණ්ඩුව විවිධ කුමන්ත්‍රණ දියත් කරමින් සිටින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. ඔහු පවසන්නේ එම කුමන්ත්‍රණවලට ගොදුරු නොවන ලෙස වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බවයි. අද කොළඹදී පැවති පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පුබුදු ජයගොඩ මේ බව පැවසීය.

ඔහු පැවසුවේ නැගෙනහිර ජැටිය විකිණීම නැවත්වීම වැනි පුංචි ජයග්‍රහණවලින් නොනැවතී සියලු මහජන දේපොළ අරකෂා කිරීම දක්වා සටන ඉදිරියට ගෙන යායුතු බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් දැක්වූ අදහස් පහත දැක්වේ.

ඊයේ දවසේ ඉඳලම නැගෙනහිර ජැටිය විකිණීමට අදාළ රජයේ ස්ථාවරයන් වෘත්තීය සමිති ස්ථාවරයන් විවිධාකාරයෙන් ප්‍රකාශයට පත්වෙනවා. ඊයේ වෙනකොට ජනාධිපතිවරයා ජැටිය විකිණීම නවත්වමින් නියෝගයක් නිකුත් කළ බව සඳහන් මාධ්‍ය සංදර්ශනයක් තියෙනවා. අද සිළුමිණ පත්තරේ සිරස්තලය දාලා තියෙනවා නැගෙනහිර ජැටිය විකුණන්නේ නැහැ කියලා. ජනාධිපතිවරයා ජැටිය විකුණන එක නැවැත්තුව බව සඳහන් සමාජ මාධ්‍ය ජාල ප්‍රචාරයක් යනවා. මේක බැලුවම හිතෙන්නේ වෙන කවුරුහරි නියෝග කරලා තමයි ඉන්දියාවේ අදානි සමාගමට විකුණන්න ගියෙ ජනාධිපතිතුමාට පස්සෙ ආරංචි වෙලා ඒක නැවැත්තුවා වගේ තමයි තියෙන්නෙ. දැන් ප්‍රශ්නයක් තියෙනවා වෘත්තීය සමිති සාකච්ඡාවකට ගියාට පස්සෙ සාකච්ඡාවට වත් ඉඩ නොදී මේක විකුණන එක තමයි රජයේ ස්ථාවරය කියලා කිව්වේ. ඒ කිව්වෙත් ජනාධිපතිවරයාම තමයි. මාධ්‍ය සංදර්ශනයක් ගියාට වෘත්තීය සමිතිවලට හරි ජනතාවට හරි මේ සම්බන්ධ රජයේ ස්ථාවරය ලිඛිතව දැනුම්දීමක් කරලා නැහැ. වෘත්තීය සමිතිවලට අතරමැදියෝ හරහා විවිධ දේ කියලා තියෙනවා. මේ වෙනකම් ලිපියක් දීලා නැහැ. අවශ්‍යනම් වෘත්තීය සමිති කැඳවලා රජයේ ස්ථාවරය කියන්න පුළුවන්. මේ කිසිම එකක් නැතුව විකුණන්නේ නෑ කියලා කියමින් යනවා. අපි දන්නා විදිහට අවසන් තීරණය ගන්නෙ හෙට පවත්වන කැබිනට් රැස්වීමේදී. අවසන් තීරණය මොන වගේ එකක් වෙයිද කියන එක ගැන නිශ්චිතව කියන්න බැහැ. අපි දන්නා විදිහට තීරණ දෙකක් ගැන රජයේ අවධානය යොමුවෙලා තියෙනවා. එක තීරණයක් නැගෙනහිර ජැටිය කොටස් වෙළඳ පොළට යොමුකරනවා. වරාය අධිකාරිය සියයට 15ක කොටස් මිලට ගන්නවා. ලංකාවේ සමාගම්, ජපන් සමාගම්, ඉන්දියාවේ සමාගම් අනිත් කොටස් මිලට ගන්නවා. ජැටිය ඉන්දියාවට දෙනවා කියන එක තමයි සටන් පාඨයේ තිබුණේ. සටන් පාඨයේ ඇත්ත හරයේ තියෙන්නෙ මහජන දේපොළ පෞද්ගලිකරණය කිරීමේ ප්‍රශ්නය. එක නැගෙනහිර ජැටිය ඉන්දියාවට විකුණනවා වගේ සරල ඉන්දියානු විරෝධයකට ලඝු කරන්න හදපු එකට ඒ පැත්තෙන් උත්තරයක් හොයලා තියෙනවා. නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය BOT(Belt Operation Terminal ) ක්‍රමයට දෙන්න කතා කරගෙන තියෙනවා. බටහිර ජැටිය හදන එකත් ඉන්දියානු සමාගමකට පවරලා එහි අයිතිය සියයට සියයක් වගේම ඉන්දියානු සමාගමකට ලබාදෙන්න යනවා. මේ යෝජනා දන්නෙ නෑ වගේ ආණ්ඩුව නියෝජනය කරන පක්ෂ නායකයෝ ඊයේ විමල් විරවංශගේ ගෙදරට එකතුවෙලා ගොඩක් සටන්කාමී කතා කියනවා අපි දැක්කා. මේ මාධ්‍ය සංදර්ශනයක් ඇතුලෙ සටනේ නියුතුව ඉන්න පාර්ශව හරහා සටන ඉවරයි කියලා කියවගන්න හදනවා. නමුත් සටන ඉවර නැහැ. සටන ඉවර නැහැ කියන්න ලිඛිත සාක්ෂියක් ඊයේ හවස් වෙද්දී ආවා. වරාය සහ වරාය ආශ්‍රිත සියලු සේවා අත්‍යවශ්‍ය සේවාවක් කියලා නම් කරමින් ජනාධිපතිවරයා ගැසට් පත්‍රයක් නිකුත් කළා. මේ නම් කිරීමත් එක්ක වරාය ඇතුලෙ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හෝ අකුරට වැඩ ක්‍රියාමාර්ග හෝ ගැනීමට නීතිමය බාධාවක් පනවලා තියෙනවා. වරායේ ප්‍රශ්නෙ විසඳුවා අකුරට වැඩකිරීම නවත්වන්න කියලා දවල් කියලා හවස් වෙද්දී ක්‍රියාමාර්ග නැවත්වීම සඳහා ගැසට් නිවේදනයක් ගහනවා. ඒ කියන්නෙ අන්තිම තක්කඩි මර්දනකාරී ක්‍රියාමාර්ගයක්. ඉතිහාසයේ ඉඳලා තක්කඩි වැඩ කරපු පිරිසක් මේකට අදාළ තිර නාටකයක් ලියලා තියෙනවා. වරායේ හිටපු සභාපති ප්‍රියත් බන්දු , වියත්මගේ නාලක ගොඩහේවා ඇතුළු අය මේකට තිර පිටපතක් ලියලා තියෙනවා. නැගෙනහිර ජැටිය විකුණනවාට විරුද්ධයි කියලා විමල් විරවංශගේ ගෙදරට එකතුවුණු අයත් මේ තිර පිටපතේ කොටසක් රඟපානවද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුවේ ක්‍රියාමාර්ග පැහැදිලියි. නැගෙනහිර ජැටිය විකිණීමට අදාළ සියලු ක්‍රියාමාර්ග පවත්වාගෙන යන ගමන් එහෙම නැත්තම් නැගෙනහිර ජැටිය වෙනුවට බටහිර ජැටිය විකිණීමට අදාළ සියලු ක්‍රියාමාර්ග පවත්වාගෙන යන ගමන් ජැටිය විකුණන්නේ නෑ කියලා ප්‍රකාශයක් කරලා මේ අරගලයේ මුදුන අවුල් කරනවා. දෙවැනි එක තවදුරටත් නැ. ජැටිය විකුණන්නේ නෑ කියලා සමාජ ගත කරලා ජැටිය විකිණීමට අදාළව රාජ්‍ය දේපළ මහජන දේපළ පෞද්ගලිකරණය කිරීමට එරෙහිව එකතුවෙලා තිබුණු ජනතාව අතර විරෝධයක් ඇති කරනවා. මේ සටනට සම්බන්ධ වෙනවද නැද්ද කියන එක ගැන ජනතාව අතීරණයකට ගේනවා. ආණ්ඩුවේ මේ යෝජනා එන්න කලින් වෙනත් ක්ෂේත්‍රවල වෘත්තීය සමිතිත් මේ ප්‍රශ්නය වෙනුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹෙන්න සූදානම් වෙලා හිටියෙ. ඒ වගේම නැගෙනහිර ජැටිය නෙමෙයි බටහිර ජැටිය තමයි විකුණන්නේ කියලා මහජන ව්‍යාපාරය ඇතුලේ ආතතියක් හදලා බේදයක් හදලා එක අවුල් කරනවා. මේ මහජන ව්‍යාපාරය ගොඩ නැගුවේ නැගෙනහිර ජැටිය ආරක්ෂා කරගැනීම සඳහායි. ඒ නිසා එකපාරටම බටහිර ජැටියක් ගැන කිව්වම මේ හැදිලා තියෙන මහජන ව්‍යාපාරයට විවිධ අදහස් තියෙනවා. ඒක ගැන එක අදහසක් ඉදිරිපත් කරන්න බැහැ.

මෙතන ප්‍රශ්නෙ නැගෙනහිර ජැටියද බටහිර ජැටියද නෙමෙයි. ප්‍රශ්නෙ තියෙන්නේ රාජ්‍ය දේපොළ පෞද්ගලිකරණය කිරීමයි. ඒක ගන්නේ දේශීය සමාගමක්ද විදේශීය සමාගමක්ද කියන ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නෙ. බටහිර ජැටිය ගැන අපේ ස්ථාවරය නම් පැහැදිලියි. අපි කිසිම දෙයක් විකුණනවාට විරුද්ධයි. චන්ද්‍රිකා කුමරනතුංගගේ ආණ්ඩුව කාලෙ ත්‍රිකුණාමල වරායේ එක ජැටියක් ප්‍රීමා සමාගමට වික්කා. කොළඹ වරායේ විජය කුමාර පාලමේ කොටසක් සෙරෙන්ඩිබ් සමාගමට වික්කා. රැජින ජැටිය SAGT කියලා සමාගමක් හදලා ඒ සමාගමට දුන්නා. මහින්ද රාජපක්ෂ කොළඹ වරායේ නැව් තෙල් අංශය ජෝන් කීල්ස් එකට දුන්නා. ඒක නොමිලේ දීලා තියෙන බව අධිකරණයේදී හෙළිදරව් වුණා. වරායේ දකුණු ජැටිය උත්සවයක් පවත්වලා චීනෙට දුන්නා. රනිල් මෛත්‍රී ආණ්ඩුව ත්‍රිකුණාමල වරායේ තව ජැටියක් මිට්සුයි සමාගමට දුන්නා. හම්බන්තොට වරාය ගෙඩිය පිටින් චීනෙට දුන්නා. දැන් ගෝඨාභය රාජපක්ෂ ඇවිල්ලා බටහිර ජැටිය දෙනවා නැගෙනහිර ජැටිය දෙනවා කියනවා. තව එකක් අපි දන්නා විදිහට ඉන්දීය විදේශ ඇමති ලංකාවට ආපු වෙලාවෙ කන්කසන්තුර වරාය සහ පලාලි ගුවන් තොටුපොළේ පාලනය ඉන්දියාවට දෙන්න කියලා තියෙනවා. ඒ පාවාදීම කරන්න ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා.

ආණ්ඩුව කියනවා නම් නැගෙනහිර ජැටිය විකුණන්නේ නෑ කියලා ඒ ආණ්ඩුවේ සරළ ප්‍රතිචාරය හරි එන්න බලපෑවේ මේකට විරුද්ධව හැදුනු අති දැවැන්ත මහජන ව්‍යාපාරය. සයිටම් අරගලයට වඩා ලොකු විරෝධයක් මේකට ගොඩනැගුණා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නෙ මේක ගෙනියන්න තිබුණා සියලු මහජන දේපොළ විකුණගෙන කන ආණ්ඩුවේ උපායමාර්ගයට එරෙහි දැවැන්ත විරෝධතාවයක් බවට පත්කරන්න හැකියාව තිබුණා. දැන් හදන්නේ එය වැළක්වීම සඳහා නැගෙනහිර ජැටිය බටහිර ජැටිය පටවලා කුමන්ත්‍රණයක් කරන්න. රජය මේ වෙනකොට සියල්ල විකුණන ප්‍රතිපත්තියක ඉන්නෙ. එක පැත්තකින් මේ සටන කරන අයට හැපෙන්න තියෙන්නෙ මිලියන ගණන් අරමුදල් එක්ක. ගෝලීය බලවතුන් එක්ක ඒ ගොල්ලන්ගේ ලංකාව ඇතුලේ ක්‍රියාත්මක ඔත්තු සේවා එක්ක. නැගෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න කියලා ඇමරිකන් තානාපතිවරිය ප්‍රසිද්ධියේ කියන තැනට ඇවිල්ලා තියෙන්නෙ. අපිට සටන් කරන්න තියෙන්නෙ චීනෙ, ඇමරිකාව, ඉන්දියාව, රුසියාව, යුරෝපා සංගමය වැනි ගෝලීය බලවතුන් සමඟ. මේ සඳහා මිනිස්සුන්ව මිලට ගන්න මිනිස්සුන්ව බය කරන්න ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ අතර තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පොරබදන ආණ්ඩුවත් එක්ක සටන් කරන්න වෙලා තියෙනවා. ඒ නිසා මේ සටනත් එක්ක එකතුවෙලා ඉන්න වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනාට කියනවා මේ වගේ සටන් හුදු අවංක කමින් හෝ උද්යෝගී කමින් දිනන්න බැහැ. මේවා ඉතාම බරපතල දේශපාලන ගැටුම් සහිත සටන්. ඒ නිසා මේකට නිශ්චිත දේශපාලන මාර්ගෝපදේශයක් ඕනා. ඒ දේශපාලන මාර්ගෝපදේශය සඳහා මැදිහත්වෙලා ඉන්න දේශපාලන පක්ෂ දේශපාලන කණ්ඩායම් මේ නැගෙනහිර ජැටියේ සටනේ මහජන ව්‍යාපාරයෙන් ඉවත්කිරීම සඳහා කුමන්ත්‍රණයක් මේ දියත්වෙමින් තියෙන්නෙ. ඒ ඉවත් කිරීම සඳහා හදලා තියෙන මේ සැලැස්මට අහුවෙන්න එපා කියලා අපි වෘත්තීය සමිතිවලින් ඉල්ලනවා. මේ මහජන ව්‍යාපාරය ඇතුලේ හිටපු සමහරු හිතුවා ආණ්ඩුවට පක්ෂ හාමුදුරුවරු සහ වෙනත් අය දාලා ගෝඨාභය රාජපක්ෂව හිරකරලා මේ සටන දිනන්න පුළුවන් වෙයි කියලා. ඊයේ ගිය මාධ්‍ය සංදර්ශනය සහ ඊයේ නිකුත් කරපු ගැසට් එක දැක්කට පස්සෙ එහෙම හිරකරලා මේ ප්‍රශ්නේ විසඳන්න බැරි බව පැහැදිලියි. තව කට්ටියක් හිතුව මහින්ද සහ ගෝඨාභය අතර තියෙන බල ගැටුම පාවිච්චි කරලා මේක දිනන්න පුළුවන් කියලා. තව පිරිසක් හිටියා මේක ආණ්ඩු විරෝධී ව්‍යාපෘතියකට සම්බන්ධ කරලා ඉස්සරහට එජාපයට හරි සමගි ජන බලවේගයට හරි බලය ගන්න වැඩපිළිවෙලකට මේක සම්බන්ධ කරන්න තව කට්ටියක් බලන් හිටියා. නැගෙනහිර ජැටිය විකිණීමට අදාළ ගිවිසුම් අත්සන් කරේ එජාපයේ සහ සමගි ජන බලවේගයේ කට්ටිය. අපි යෝජනා කරේ රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණයට විරුද්ධවයි ප්‍රතිගාමී භූ දේශපාලනික න්‍යාය පත්‍රවලට ලංකාවේ භූමිය සහ ජනතාව බිලි කිරීමට එරෙහිවයි දැවැන්ත ජන බලයක් හදන්න ඕනා. එහෙම හදලා ඒ පීඩනය එල්ල කරේ නැති වුණොත් එදා හම්බන්තොට වරාය ඊට පස්සෙ දකුණ ජැටිය ඊට පස්සේ නැගෙනහිර ජැටිය ඔය විදිහට මේක ඉවරයක් නතුව එනවා. අපි වෘත්තීය සමිති නායකයන්ගෙන් ඉතාම වගකීමෙන් ඉල්ලා සිටිනවා සම්මුතිවලට යන්න එපා. මේ උගුලක් තියෙන්නෙ. ඒ වගේම නැගෙනහිර ජැටිය විකුණන්නේ නෑ කියන පුංචි ජයග්‍රහණවලින් නවතින්නත් එපා. මේ ඇවිල්ලා අපිට කෙම් බිම හම්බවෙලා නෙමෙයි. පොඩි පොඩි මිරිඟු මේ දැකලා තියෙන්නෙ. විශාලම ජයග්‍රහණය අපිට ගන්න තියෙන්නෙ මේ සියලු මහජන දේපොළ අරකෂා කිරීමේ පැත්ත. ඒ සඳහා සටන ඉදිරියට ගෙනියන්න ඕනා. මේ සටන ලංකාවෙ ඇතුලේ ජයග්‍රහණය කරන්න බෑ කියලා පැහැදිලියි. ඒ නිසා උදාහරණයකට කිව්වොත් අදානි සහ අම්බානි සමාගමට එරෙහිව සටන් වදිමින් ඉන්න ගොවි ජනතාවගේ ඒ ගොවි ජනතාවට සහය දෙන කම්කරුවන්ගේ ඉන්දියානු පීඩිත ජනතාවගේ සම්පූර්ණ සහය ගන්න ඕනා. හෙට කැබිනට් තීරණය ගත්තට පස්සෙ අපි බලමු ආණ්ඩුවේ ස්ථාවරය මොකක්ද කියලා. ඒ නිසා නැගෙනහිර ජැටිය වේවා බටහිර ජැටිය වේවා වෙනත් ඕනෑම මහජන දේපලක් පෞද්ගලිකරණය කිරීමට විකිනීමට එරෙහිව දැවැන්ත ජන බලයක් පෙළගස්වන්න ඕනා. ඒ නිසා සටන ඉවර නැහැ. ඒ සටන සඳහා නැගෙනහිර ජැටිය රැකගැනීම සඳහා එකතුවෙලා ඉන්න සියලු පාර්ශව සමඟ ඒකාබද්ධව කටයුතු කරනවා. අපිට අභ්‍යන්තර අරගලයක් තියෙයි. ඒ සියල්ල මැද ශක්තිමත් මහජන ව්‍යාපාරයක් ගොඩනගමින් මේ සටන ජයග්‍රහණය සඳහා ගෙනියන්න අපේ උපරිම දායකත්වය ලබාදෙනවා.

leave a reply