ජනාධිපතිවරණය ළං වෙත්ම සිදුවෙමින් තිබෙන ප්‍රධාන වෙනසක් වන්නේ දේශපාලනය ඉවත දමා හැඟීම් ආධිපත්‍ය ඉසිලීමය.
කොහොමටත් දේශපාලන ප්‍රචාරක රැස්වීම් තුළ ජනතාව සවිඥානක කිරීමේ සම්ප්‍රදායක් පවත්වා ගෙන ආවේ වාම – ප්‍රගතිශීලි කඳවුර විසිනි. එය ධනපති පාලක පන්තියේ අවශ්‍යතාව නොවීය. අප දන්නා අතීතයේ සිට ධනපති පක්ෂ ජනතාවගේ කුසගින්න, විරැකියාව වැනි ගැටලු විසඳන්නට ආකර්ෂණීය පොරොන්දු දුන්නේ, හඳෙන් හාල්, ඇට අට, විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවර, සුභ අනාගතය හා සෞභාග්‍ය ආදි වශයෙන් ඒවා පරිනාමය විය. මේ අතරම වේදිකාවල තාර්කික කරුණු ඉදිරිපත් කිරීමට වඩා තම අපේක්ෂකයාගේ ප්‍රතිරූපය පුම්බන ප්‍රශස්ති, ගීත ආදියෙන්ද අමතන්නට උත්සාහ කළේ ජනයාගේ තාර්කිකත්වයට නොව හැඟීම්වලටය. අදත් එවැනි ජනප්‍රියවාදී ප්‍රචාරක ක්‍රම හරහා සිය ප්‍රතිපත්ති වෙනුවට නායක භූමිකාව ඔසවා තබන්නට උත්සාහ කරන්නේ ප්‍රතිපත්ති මූලික සංවාදයකින් ජනතාව අමතනවාට වඩා ඡන්ද වෙනුවෙන් ඔවුන් හැඟීම්බර කිරීමේ පටු අරමුණු වෙනුවෙනි. දේශපාලන ව්‍යාපාරයක සංස්කෘතික පැවැත්මක් අනවශය බව මෙයින් අදහස් වන්නේ නැත. වාමාංශික දේශපාලන ව්‍යාපාර වේදිකා නාට්‍ය, වීදි නාට්‍ය, සිනමාව, විමුක්ති ගී වැනි ක්‍රම මගින් හැඟීම් පාර්ශ්වය තුළින් ජනතාවගේ සවිඥානකත්වය වර්ධනය කිරීමේ ප්‍රවේශයක් ඇත. එහෙත් මෙවර ජනාධිපතිවරණ වේදිකා තුළ රැව් දෙන්නේ ‘වැඩ කරන අපේ විරුවා’ පන්නයේ බංකොලොත් ප්‍රතිරූප පාදක කරගත් උපක්‍රම බව බැලු බැල්මට පෙනේ.
තමන් තෝරාගන්නා දේශපාලන පක්ෂය හෝ අපේක්ෂකයා සම්බන්ධ විවිධ හැඟීම්බර ප්‍රකාශ කරමින් සාමාන්‍ය ජනතාව මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවලියේදී හැසිරෙන ආකාරය අපේ රටේ දේශපාලන අත්දැකීම්වලට අමුත්තක් නොවේ. නමුත් මෙහිදී දක්නට ලැබෙන අනෙක් කාරණය නම් මේ දක්වා ලංකාවේ දේශපාලනය වර්ධනය වූ එක්තරා සංවාද තලයකින් ක්‍රමානුකූලව පහතට ඇද වැටෙමින් තිබීමය.
විශේෂයෙන් මඩ අවලාද ප්‍රමාණයකුත් වචන වැරදීම හෝ නොසැලකිලිමත්කම නිසා අදහස් ප්‍රකාශ කිරීමේදී ඇතිවන අඩුපාඩු පාදක කරගත් සංවාද වර්ධනය වෙමින් තිබේ. එසේම පදනම් විරහිත තර්ක ගෙන හැර පාමින් අපේක්ෂකයන් හෝ දේශපාලන පක්ෂවලට ඇනුම්පද හා වාග් ප්‍රහාර එල්ල කරමින් ඇත. එපමණක් නොව, තමන්ගේ දේශපාලන ස්ථාවරයන් සම්බන්ධයෙන් පැහැදිලි තර්කයක් ගොඩගාගැනීමට නොහැකිකම නිසා විරුද්ධවාදී තර්කයන් අවර ගනයේ ප්‍රතිචාරවලින් බැහැර කිරීම හා එකී තර්කවලට ප්‍රතිචාර වශයෙන් හැඟීම්බර ප්‍රචාර ගණනාවකුත් සමාජ මාධ්‍ය තලයේ දක්නට ලැබේ. සුළු පිරිසක් අතර ගැවසෙන මේ අවර ගනයේ දේශපාලන දුෂ්ප්‍රචාර ගැන අප සැලකිලිමත් විය යුත්තේ ඇයි? ඒවා ජනමාධ්‍ය කරා ගෙන යාමෙන් පොදු ජන දේශපාලන පරිමණ්ඩලයේ පුළුල් සීමා බිඳ දමා කුඩා අඳුරු වන ලැහැබ් තුළට ජන මනස යොමු කරවන නිසාය.
මේ තත්වය තුළ සිදුවන්නේ මෑත ඉතිහාසයේ මේ රටේ ජනතාව දේශපාලන සාක්ෂරතාවයකින් අත්විඳි දේශපාලනය බොඳව යාමය. නැතිනම් බොඳකර දැමීමය. එක් පැත්තකින් පාලක කණ්ඩායම්වලට අවශ්‍ය වූයේ මේ රටේ ජනතාව තමන්ගේ බලාධිපත්‍ය ප්‍රශ්න කිරීමේ දේශපාලන තලයේ සිට පහතට ඇද දැමීමය. එනම්, පොදු දේශපාලන අරමුණු උදෙසා සාමුහික පරිකල්පනයක් උපදවා ගත් 2022 අරගලයේ වේදිකාවෙන් ජනතාව පළවා හැර සාම්ප්‍රදායික මැතිවරණ දේශපාලනයකට ඔවුන් ගාල් කිරීමය. ඒ වෙනුවෙන් පාලකයන් ගෙන ආ උපක්‍රමය වූයේ මැතිවරණ දේශපාලනයයි. නමුත් මැතිවරණ දේශපාලනය ඔස්සේම 2022 මහජන අරගලයේ අභිලාෂයෙන් ඔසවා තැබීමට උත්සාහයක් තිබූ බව අමතක කළ යුතු නැත. එහි තේරුම වූයේ පාලක පන්තියේ අරමුණු වෙනුවෙන් මැතිවරණ ක්‍රියාදාමයක් කැඳවීම වෙනුවට අරගලයේ ප්‍රකාශිත දේශපාලන සවිඥානකත්වයේ තලය තුළ ජනතාව මැතිවරණ ක්‍රියාදාමයකට කැඳවීමය. ඒ වෙනුවෙන් 2022 ජූලි 5 වැනිදා ගාලු මුවදොර අරගලයේ ක්‍රියාකාරි කමිටුව විසින් සම්ම්ත. කළ ‘අරගලයේ ඉදිරි දැක්ම – ක්‍රියාකාරී සැලැස්ම’ නමැති නිශිචිත වැඩපිළිවෙළ තුළ ‘අන්තර්වාර පාලනයක්’ හරහා ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් තහවුරු කරනු පිණිස, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහිත නව ව්‍යවස්ථාවක් සම්මත කිරීම දක්වා සක්‍රිය ප්‍රජාතාන්ත්‍රික ගමනක් යෝජනා කරනු ලැබිණි. නමුත් ඒවා බීරි අලින්ට වැයූ වීනා වාදනයක් වැනි විය. ගාලුමුවදොර අරගලයේ ආරම්භක මොහොතේ පැවති ‘ගෝටා ගෙදර යනු!’ ‘225ම එපා!’ ‘හොරා කෑව සල්ලි දියව්!’ ආදී හැඟීම්බර එහෙත් ජනතාවගේ අරමුණු ප්‍රකාශිත දේශපාලනය වෙනුවට රෑ දවල් නැතිව සංවාද, සාකච්ඡා, වාද විවාද මැද ගොඩනැංවූ දේශපාලන ප්‍රමිතියක් නිකරුණේ නාස්ති වීමට මං පාදනු ලැබීය.
එදා පාලක කල්ලි කණ්ඩායම් අරගලයේ කඩා පැනීමෙන් සී සී කඩව පැවති තත්වය යටතේ එය වඩාත් ජනතා හිතවාදී ප්‍රවේශයක් බවට පත් කරගැනීමට අවස්ථාව හොඳින්ම තිබිණි. පාර්ලිමේන්තව නියෝජනය කරන දේශපාලන පක්ෂ මෙන්ම වෙනත් දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වලටද, වෘත්තිය සමිති හා බහුජන සංවිධානවලටද ඒ වෙනුවෙන් ආරාධනා කිරීමට ගාලුමුවදොර අරගලයේ ක්‍රියාකාරි කමිටුව විසින් ජූලි 12 වැනිදා කොළඹ මහජන පුස්තකලායේදී එම ‘අරගලයේ ඉදිරි දැක්ම – ක්‍රියාකාරී සැලැස්ම’ ඉදිරිපත් කරන ලදී. මේ රටේ ප්‍රගතිශීලි කඳවුරක් පැවතියේ නම්, පාලක ප්‍රතිගාමී කණ්ඩායම්වලට රනිල් වික්‍රමසිංහගේ නායකත්වය යටතේ නැවත සංවිධානය වීමට කාලයක් නොදී ඒ අගනා අවස්ථාව යොදාගැනීමට හැකියාව තිබිණි.නමුත් ජූලි 12 වැනිදා එම වැඩපිළිවෙළ තමන් පිළිගන්නවාද නැද්ද කියන්නටවත් ඉදිරිපත් වූයේ මේ රටේ දේශපාලන පක්ෂ කිහිපයක් පමණකි. නමුත් එයින් ඉදිරි මග සකස් කරමින් ජනතාවට ජූලි මස සම්පූර්ණ කරරගත් අරගලයේ ජයග්‍රහණ ඉදිරියට ගෙනයාමේදී නායකත්වය දීමට එකී දේශපාලන පක්ෂවල සූදානමක් නොතිබුණි.
විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ ලෙස සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය, දෙමළ ජාතික සන්ධානය යන පක්ෂ එයින් ඔබ්බට විපක්ෂයේ පක්ෂ ලෙස සිය භූමිකාව අතට ගත්තේ නැත. ඔවුන් සත්‍ය වශයෙන්ම අරගලය නියෝජනය කළේ නැතැයි කිසිවකු තර්ක කළ හැකිය. නමුත් ප්‍රායෝගික තලයේ පාලක පක්ෂයේ ආධානාග්‍රාහිත්වයට එරෙහිව කිසියම් හෝ හඬක් නැගුවේ එම විපක්ෂ කණ්ඩායම් බවද ඔවුන් ගාලුමුවදොර අරගලයේ අරමුණු වෙනුවෙන් ප්‍රසිද්ධියේ පෙනී සිටි බවද අඩුවැඩි වශයෙන් පාර්ලිමේන්තුවේ පවා අදහස් පළ කළ බවද සටහන් කළ යුතුව ඇත.
ඉතින්, දැන් සිදුව ඇත්තේ කුමක්ද?
මේ වන විට ජනාධිපතිවරණය පැමිණ ඇත්තේ අප ඉහතින් විස්තර කළ හැඟීම්බර, අතිශය ගතානුගතික, ඕලාරික සහ ග්‍රාම්‍ය දේශපාලන සංවාදය දක්වා අවගමනයකටය. එදා මහජන නැගිටීමේදී ‘ගෝටා ගෙදර යනු!’ පන්නයේ සාමුහික සටන් පාඨයකින් ‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම! වැනි වඩා ප්‍රජාතාන්ත්‍රික සටන් පාඨයක් නිපදවා ගනු ලැබුණද, මේ වනවිට ජනාධිපතිවරණයේ ආරම්භයේ පැවති ජනතාවගේ අවම ඉල්ලීම් පවා පසෙක දමා ‘රට භාර දෙන්නේ අනුරටද, සජිත්ටද?’ ‘පුළුවන් රනිල්ටද සජිත්ටද?’ වැනි මට්ටමේ පටු කාරණාවන්ට හා ‘සෙන්ටිමෙන්ටල්’ සටන් පාඨ දක්වා දේශපාලන බිලි කොකු ජනතාවට ගිල්ලවනු ලැබ ඇත. මේ අවර ගනයේ දේශපාලන සංවාද, නොගැඹුරුකමින් සහ හැඟීම්බරකමින් ඉදිරියේදී තව දුරටත් පහත තලයට ගමන් කරනු ලැබිය හැකිය.
එහිදී මඩ ප්‍රවාහය වඩාත් උත්සන්න කෙරෙනු ඇත. මේ දක්වා කිසිදු අවධානයකට නොගැණුනු ග්‍රාම්‍ය කාරණා ජනමාධ්‍ය ඔස්සේ මහ බරපතළ කාරණා ලෙස කතා බහට ලක් කෙරෙන උපක්‍රමික ප්‍රවේශ දැකිය හැකිවනු ඇත. ඒ හරහා ‘මාධ්‍ය-දේශපාලන උගුල්’ අටවමින් ජනතාව අරගලකාරී භූමිකාවෙන්, බැතිමත් ඡන්දදායක භූමිකාවට පල්ලම් බැස්සවීම බොහෝ දෙනාගේ අරමුණ බවට පත්වනු ඇත. පක්ෂ හා පක්ෂපාතී අනුකාරක කණ්ඩායම් මේ වෙනුවෙන් තරගයට දුවනු ඇත. සමාජ බලයක් සහිත, කීර්තිමත් චරිත මේ වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡා පවත්වන්නට කැඳවනු ඇත. තමන්ගේ පාර්ශ්වයට අහවල් ජනප්‍රිය නළුවා/ නිළිය සිටින බවද, අහවල් ක්‍රීඩකයා/ ක්‍රීඩිකාව පෙනී සිටින බවද කියන්නට දැවැන්ත මුදල් ප්‍රමාණයක් වියදම් කරන්නට නියමිතය. මතක තබා ගන්න, ඒ මැතිවරණ ක්‍රීඩාවේ සාමාන්‍ය සාම්ප්‍රදායික කතාවයි. පසුගිය ප්‍රධාන මැතිවරණ තුළ මේ සියලු නාටක රඟ දැක්වූ බව අමතක කළ හැකිද? මේ තත්වය සිය ජයග්‍රාහී දේශපාලන මොහොත බවට පාලක කණ්ඩායම් මෙන්ම විපක්ෂ කණ්ඩායම්ද උදම් අනනු ඇත. නමුත් සැබැවින්ම එය පාලක පක්ෂයේ න්‍යාය පත්‍රය ජයග්‍රහණය කිරීමක්ද වනු ඇත. මන්ද යත් පාලක කල්ලිවලට දේශපාලන සවිඥානකත්වයකින් ජනතාව ජනාධිපතිවරණයකට කැඳවීමට අවශ්‍ය නැති නිසාය.
ජනතාව සිය අරගලකාරී භූමිකාවෙන්, ඡන්දදායක භූමිකාවට පල්ලම් බැස්සවීම මේ ජනාධිපතිවරණයේදී හෝ අවසන් වේ යැයි සිතිය හැකිද? නැත, ඊළඟට පැමිණෙන මැතිවරණ තුළද එය එසේම වනු ඇත. අවසානයේ මේ රටේ ජනතාව 2022 මහජන අරගලයේ භූමිකාවෙන් ලබාගත් මහාර්ඝ දේශපාලන සවිඥානකත්වය කීතු කීතුකර, මැතිවරණ ක්‍රියාදාමයේ සම්ප්‍රදායික ‘විශෝධනාගාරයෙන්’ එළීයට පැමිණෙන විට සියල්ල සිදුව හමාරය.
කනගාටුවට කාරණය නම්, දේශපාලන සවිඥානකත්වයක් සහිතව අරගලයේ මතවාදය ශක්තිමත් කරන්නට වෙහෙස වූ මේ රටේ ජනතාවට පක්ෂපාතී දේශපාලන බුද්ධිමතුන් යැයි නිසැකව කිවහැකි පිරිසක්ද මේ මහා ප්‍රවාහයේ මඩ කළල් දියේ ගිලී යාමය. තවමත් ප්‍රමාද නැති බව ඒ අයට සිහිපත් කරන්නට සිදුව ඇත. පුළුල් ජන සහභාගී ප්‍රජාතන්ත්‍රවාදයක් වෙනුවෙන් පෙනී සිටින අප, ඒ වෙනුවෙන් කරන අරගලය අවසන් කළ යුතු නැත. එසේම, මැතිවරණ දේශපාලන ක්‍රියාදාමය සාම්ප්‍රදායික ලෙස මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මාධ්‍ය බව පිළිගත යුතුව ඇත. නමුත්, මිනිස් සමාජයේ සමස්ත ප්‍රජාතාන්ත්‍රික අභිලාශයන් පවතින මැතිවරණ ක්‍රමයේ සහ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් තුළ සුපුෂ්පිත වන බවක් එයින් අදහස් වන්නේ නැත. අපගේ දේශපාලන සංයමය බිඳ දැමීමට පාලක කණ්ඩායම්වල උපක්‍රමික වැඩසටහන් ගිල ගන්නවා වෙනුවට වඩා විවේකීව මේ මැතිවරණ ප්‍රවාහය අධ්‍යයනය කරමින් කාරණා තේරුම්කර ගැනීම සහ ජනතාවට තේරුම් කිරීම ප්‍රගතිශීලි කඳවුරේ දේශපාලන ශ්‍රමයක් හෙළිය යුතුව ඇත.
පසුගිය මහජන අරගලය සමයේ ‘කපුටා’ නමැති සංකේතික යෙදුමෙන් ජනප්‍රිය වූ ධනපති පාලක පැළැන්තියේ පැවැත්ම අහෝසි කරමින් ජනතාව ජයග්‍රහණය කිරීම මේ ජනාධිපතිවරණයේ සමාජ අපේක්ෂාව බවට කිසිදු විවාදයක් නැත. නමුත් සියලු අපේක්ෂකයන් ඒ අරමුණ දරා නොසිටින බව නම් නිසැකය. ජනතාව අතර දේශපාලනය කරන අපට නම්, ඔවුන් තුළ විමුක්තිකාමී දේශපාලන සවිඥානකත්වය පවත්වා ගැනීම අද දවසේ අත්‍යවශ්‍ය අරමුණක් විය යුතු අතර මුළාව මගින් ඡන්ද ගොඩගසා ගැනීමෙන් පසුගිය වසර දසක 7කට වැඩි කාලයක් මේ සමාජය ඇදගෙන ගිය ඉරණම වෙනස් කළ යුතුව ඇත.