මහින්ද රාජපක්ෂ පාලනය විසින් ලලිත් සහ කුහන් පැහැරගෙන වසර 9ක්!

ලලිත් කුමාර් වීරරාජු සහෝදරයා සහ කුහන් මුරුගානන්දන් සහෝදරයා පැහැරගෙන ගොස් අතුරුදන් කළේ අද වැනි දිනකය.

මීට හරියටම වසර 9කට පෙරාතුව 2011 දෙසැම්බර් 9වැනිදා ලලිත්ට හා කුහන්ට ජීවිතයේ තීරණාත්මක වූ දිනය උදා විය.

පෙරවරු 11ට පමණ, අවිස්සාවේල්ල සිරිනිවාස වත්තේ ජීවත්වූ ලලිත්ගේ පියාට නිර්නාමික දුරකථන ඇමතුමක් ලැබිණි. තමන් කවුරුන්දැයි හඳුන්වා නොදී කතා කළ පුද්ගලයා පවසා ඇත්තේ පුතා වහාම යාපනයේ සිට නිවසට ගෙන්වා ගන්නා ලෙසයි. එසේ නොකළොත් තමන් විසින් එය කරන බව ඒ තැනැත්තා ලලිත්ගේ පියාට තර්ජනය කර තිබිණි.

සවස 5.00ට පමණ අවරන්ගල්හි කුහන්ගේ නිවසේ සිට ඔවුන් දෙදෙනා යාපනය බලා පිටත් වූයේ පසු දින එනම් දෙසැම්බර් 10 වැනිදා ලෝක මානව හිමිකම් දිනයේ අතුරුදන්වූවන් වෙනුවෙන් පැවැත්වීමට නියමිත වූ ජනමාධ්‍ය සාකච්ඡාවක් සඳහා කටයුතු සූදානම් කිරීමටය. එහෙත් ඉන්පසුව ඔවුන් ගැන තොරතුරක් නොමැති වුවත් ඔවුන් ගමන්ගත් යතුරුපැදිය පොලිස්භාරයේ තිබී හමු විය.

පැහැරගැනීම ගැන ප්‍රශ්න කළ මාධ්‍යවේදීන්ට පිළිතුරු දෙමින් පැහැරගැනීමක් සිදුව නැති බවද ඔවුන් ආරක්ෂක අංශ විසින් මහෙස්ත්‍රාත් වෙත පමුණුවනු ඇති බවද පැවසුවේ එවකට ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල විසිනි.

ලලිත් හා කුහන් පැහැරගෙන යාමේ සිදුවීම සම්බන්ධව අනාවරණය කිරීමට කාරණා ඇතත් ඒවා තවත් කාරණා හා සම්බන්ධ නිසා එසේ නොකරන බව කීවේ තවත් ඇමතිවරයකු වූ මහින්දානන්ද අලුත්ගමගේ විසිනි.

ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ලෙස එවකට සේවය කළ වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලලිත් හා කුහන් සම්බන්ධ දන්නා යමක් අනාවරණය කිරීමට මහෙස්ත්‍රාත් අධිකරණයට කැඳවන ලද නමුත් ජනාධිපතිවරයා කැඳවන්නට යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට බලයක් නැති බව තීන්දු කළේ අභියාචනාධිකරයයි.

දැන් ලලිත් හා කුහන් වෙනුවෙන් යාපනයේ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවට සිදුවන්නේ කුමක්දැයි අවිනිශ්චිතය. ඒ හා සමානව, අප කවුරුන් හෝ ආරක්ෂක අංශ විසින් පැහැරගෙන ගොස් මරා දැමුවද සාක්ෂි නොදී සිටීමට හෝ නඩුව නිශ්ඵල කරන්නට ඒ අපරාධයට වගකිවයුත්තන්ට සැඟවීමට පිලිකන්නක් ලෙස අධිකරණයම භාවිත කළ හැකිය.

අතුරුදන් කිරීමේ සිදුවීම සම්බන්ධව 2012 වසරේ සිට යාපනයේ මහෙස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩුවේදී ඉදිරිපත් වූ සාක්ෂිවලින් හොඳින්ම පැහැදිලි වූයේ ආරක්ෂක ඇමති මහින්ද රාජපක්ෂ යටතේ සහ ආරක්ෂක අමාත්‍යංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ යටතේ ක්‍රියාත්මක වූ රජයේ ආරක්ෂක අංශ ලලිත් හා කුහන් පැහැරගෙන ගිය බවය.

ඒ නිසා යුද සමයේ දහස් ගණනක් අතුරුදන් කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන් පමණක් නොව, ලලිත් කුහන් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයාට තවදුරටත් චෝදනා එල්ලවීම වැළැක්විය නොහැකිය.

උපුටා ගැනීම – ලංකාවීව්ස් වෙබ් අඩවිය

Share post:

Popular

වෙනත් පුවත්

ප්ලාස්ටික්වලට විරුද්ධ යුද්ධය

ප්ලාස්ටික් වලට විරුද්ධව යුද්ධ කරන්න ඕනෙ ප්ලාස්ටික් නිෂ්පාදක සහ...

2025 අයවැයේ 40% ක්‍රියාත්මක කර නැහැ

2025 අයවැයේ එන ඉහළ මුදලක් වෙන්කර ඇති අයවැය පොරොන්දු...

ඉතාලියේ සෞඛ්‍යය සහ ආරක්ෂක වියදම්

සෞඛ්‍ය ප්‍රතිපාදන  ඉතාලි රජයේ 2027 අයවැය කෙටුම්පත මඟින් සෞඛ්‍ය ක්ෂේත්‍රය...

පන්ති සටන මර්දනය කිරීමට මර්දන පනත් හදනවා – ශාන්ත විජේසූරියගෙන් ආණ්ඩුවට චෝදනාවක්

ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කිරීමට සූදානම් වන මර්දනකාරී පනත් කිසිදු...