මධ්‍යම අධිවේගය නිසා නිවාස හානි වූ ජනතාවට වන්දි නොලැබීමේ පැමිණිලි ගැන පොලීසියෙන් බොරු උත්තර

පරිසර තක්සේරු වාර්තා මගින් නිර්දේශ කළ කොන්දේසි උල්ලංඝනය කරමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් සිදුකිරීම නිසා හානිවූ නිවාසවලට වන්දි ලබානොදීම සම්බන්ධ පැමිණිලි විභාග නොකළේ ඊට අදාළ උපදෙස් පොලිස් නීති කොට්ඨාසයෙන් ලබානොදීම නිසා බව අද (30) පොලිසිය පාර්ශ්වයෙන් එම ජනතාවට දැනුම් දෙනු ලැබිණි.

කුරුණෑගල කොට්ඨාස බාර පොලිස් අධිකාරි පී.බී. කස්තුරිආරච්චි විසින් පසුගිය 26දා එම වින්දිත ජනතාවට පොරොන්දු වූයේ දින 03ක් තුළ මෙම ගැටළුව පිළිබඳව සෑහීමකට පත්විය හැකි විසඳුමක් ලබාදෙන බවයි. මෙම පොරොන්දුව ලබාදුන්නේ අදාළ වින්දිත ජනතාව තමන්ට සිදුවූ අසාධාරණයට එරෙහිව මධ්‍යම අධිවේගී මාර්ගයේ මුත්තෙට්ටුගල පිවිසුම අවහිර කරමින් සිදු කළ විරෝධතාවකින් පසු ය.

එම දින 03ක කාලය ඊයෙන් (29) අවසන් විය. ලිඛිත ව පොරොන්දු වූ පරිදි පොලිස් අධිකාරිවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු පිළිතුරක් අදාළ කාලය තුළ නොලැබීම නිසා ඊයේ (30) වින්දිත ජනතාව කුරුණෑගල, වැහැර පිහිටි පොලිස් අධිකාරි කාර්‍යාලය ඉදිරිපිටට රැස්වී විරෝධය පළකළහ.

එහිදී වින්දිත ජනතාව අතරින් තිදෙනෙකුට පොලිස් අධිකාරිවරයා හමුවීමට අවස්ථාව ලබාදුන් අතර, එම හමුවේදී පොලිස් අධිකාරිවරයා පවසා ඇත්තේ විසඳුමක් ලබාදීමට දින 03ක් ප්‍රමාණවත් නොවන බවයි. එසේ නම් පසුගිය 26දා ලිඛිත ව පොරොන්දුවක් ලබාදුන්නේ ඇයි යනුවෙන් විමසීමේදී පොලිස් අධිකාරිවරයා කිසිදු පිළිතුරක් ලබාදී නැත.

ලබන 15දා වන විට සෑහීමකට පත්විය හැකි පිළිතුරක් ලබාදෙන බවට පොලිස් අධිකාරිවරයා අද වින්දිත ජනතාවට යළිත් පොරොන්දු වී ඇත. එම පොරොන්දුව ලිඛිත ව ඉල්ලා සිටියද, පොලිස් අධිකාරිවරයා එය ප්‍රතික්ෂේප කර තිබේ.

ඉන්පසු වින්දිත ජනතාව පොලිස් අධිකාරිවරයාගෙන් විමසා ඇත්තේ තමන් වසර කීපයක් තිස්සේ මෙම අසාධාරණයට එරෙහිව ඉදිරිපත් කළ පැමිණිලි විභාග නොකිරීමට හේතුව කුමක්ද යනුවෙනි.

ඊට පිළිතුරු වශයෙන් පොලිස් අධිකාරිවරයා පවසා ඇත්තේ ඒවායේ ඉදිරි කටයුතු සඳහා පොලිස් නීති කොට්ඨාසය වෙත යොමු කර ඇති බවත්, එම කොට්ඨාසයෙන් මෙතෙක් උපදෙස් ලැබී නැති බවත් ය.

එම කටයුතු සඳහා පොලිස් නීති කොට්ඨාසයට අදාළ පැමිණිලි සහ විස්තර යොමු කළ දිනය හෝ ඊට අදාළ ලේඛනයක් වින්දිත ජනතාව විසින් ඉල්ලා සිටියද, ඊට පිළිගත හැකි පිළිතුරක් ලබාදීමට පොලිස් අධිකාරිවරයා අසමත් වී ඇත.

මේ සම්බන්ධයෙන් අප පොලිස් නීති කොට්ඨාසයේ වැඩ බලන අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජේ. රත්නායකගෙන් විමසීමේදී ඔහු පැවසුවේ රට පුරා පොලිස් ස්ථානවලින් යොමුකර ඇති ලිපිගොනු සිය ගණනක් අතරින් මෙම කරුණ පිළිබඳ ලිපිගොනුව සොයාගත යුතු ව ඇති නිසා, එහි වත්මන් තත්ත්වය පිළිබඳව මාධ්‍යයට එක්වර පිළිතුරක් ලබාදීමට තමන්ට හැකියාවක් නැති බවයි. කෙසේ වෙතත් කිසිදු තොරතුරක් සැඟවීමට තමන්ට අවශ්‍යතාවක් නැති නිසා අදාළ කරුණ තමන්ට ලිඛිත ව ලබාදෙන්නේ නම්, හැකි ඉක්මනින් පිළිතුරක් ලබාදීමට උත්සාහ කරන බව ද ඔහු සඳහන් කර ඇත.

උපුටා ගැනීම – The Time

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...