1989 නොවැම්බරය වෙද්දී මහා සමූල ඝාතන මැද භීෂණයේ අවසන් දවස් ගත වෙමින් තිබුණේය. ඒ වසර තිස් එකකට පෙර අපේ රටේ සිදු වුනු අමිහිරි මෙන්ම ඛේදනීය කතාන්දරයයි. වසර 31 ක් යනු දිගු කාලයකි. ඔව් වසර 31 කට පෙර කියන්නෙ 1989 වසර. හරියටම කියනවනම් ඒ කාලෙ උපන් කෙනෙකු මේ වෙද්දි තරුණ වියට එලඹිලා. පරම්පරාවක ඇරඹුමක් කියන්න පුලුවන්. මේක වර්ථමානය එක්ක ගත්තම දිගු කාලයක් වුනත් සමාජ ඉතිහාසය එක්ක බැලුවහම ඒ තරම්ම දිගු කාලයකුත් නෙවි. ලංකාවෙ සමාජ ඉතිහාසය ගැන උනත් අපිට අහන්න ලැබෙන්නෙ වසර දෙදහස් ගණනනක ඈත කාලයක්. ලෝක සමාජ ඉතිහාසයේ කතා ගැන ඊටත් වැඩි කාලයක් කියවෙනව. 1989 කියන්නෙ ඒ තරම්ම ලොකූ කාලයකුත් නොවන්නේ මෙන්න මේ සමාජ ඉතිහාසයත් එක්ක. මේ 89 අවුරුද්ද විතරක් නෙවි ඊට කලින් 88- 87 වසර තුන හතරම වගේ ලංකාවෙ ජීවත් වුනු අපට කවර කවදාවත් අමත වෙන්නෙ නැති කාලයක්. ඒ හැම දෙයක්ම දැන් ඉතිහාසයට එකතු වෙලා ඉවරයි. ඉතිහාසය ගැන අපිට කතා කරන්න පුලුවන් වන්නෙ නිකම්ම නිකං පොතක ලියාපු කතාවක් කියවල නෙවෙයි. ඒ වගේ ඉතිහාස කතා බොහොමයක් මනස්කල්පිත ඉතිහාස කතා ගණයටයි වැටෙන්නෙ. හරියට සමහරු අපිට රාවණා ඉතිහාසය මවල කතා කරනව වගේ. සැබෑ ඉතිහාසය අපිට තේරුම් ගන්න පුලුවන් වෙන්නෙ ශාක්ෂි සටහන් මතයි. වසර දස දහස් ගණනක මහා මිනිස් ශිෂ්ඨාචාරයක් ගැන ඉතිහාසඥයන් අපිට කියන්නෙ මෙන්න මේ වගේ සාක්ෂි සොයා ගැනීමෙන් පස්සෙයි.
මේ ඉතිහාසය අනාගත පරම්පරාවට කොහොම දැනේවිද? කොහොම තේරුම් ගනීද? මොකද අනාගතය කොහොම වුනත් අද වර්ථමාන සමාජය තුල වුනත් ඒ කාලය ගැන තියෙන්නෙ මතබේදාත්මක කතා. ඒ 88 -89 යුගයයි. සෑම තරාතිරමකම ජනයා විසුවේ ජීවිතය පිළිබඳ අවිනිශ්චිතතාවයෙනි. නිරතුරු ඇසුණේත්, දුටුවේත් බාල තරුණ මහලු, ගැහැනු, පිරිමි, මිනිස්සු බල්ලන් බළලුන් සේ මරා දමා ඇති අයුරුයි. සමහරු උන් හිටි ගමන් අතුරුදන් වූහ. පැහැරගත් අයගේ මළ සිරුරු ලයිට් කණුවල හා බෝක්කු බැමිවල ගැට ගසා තිබී හමුවිය. පාරට බැස්ස ඥාතියා ගෙදර පැමිණීම ගැන කිසිවකුගේ විශ්වාසයක් නොවීය. ඒ භීෂනයක ඉතිහාස කතා බොහොමයක් ගැන ඇසින් දුටු මිනිසුන් වර්ථමාන සමාජයේ ජීවත් වෙනව. සිය දහස් ගනනක් ඒ ඇසින් දුටු මිනිසුන් අතරින් මේ එක් අයෙක් කියන කතාවක්. මේ ගෙවුනු වසර 31 කට කලින් යුගය ගැන කොළඹ නුවර පාරේ පේරාදෙණිය පාලම අසල ජීවත් වුනු මොහමඩ් රාසික් තම්බි අපූරු මතකයක් කියනව. ඒ අතීතය තේරුම් ගන්න හරිම පහසු වේවි මේ රාසික් තම්බි කියන කතාව තේරුම් ගත්තනම්. ඒ වෙද්දි ඔහුට වයස අවුරුදු 20 ක තරුණයෙක්. දැන් ඔහු වයස අවුරුදු පනහ ඉක්මවූ මැදිවියේ අයෙකි.
තාත්තා අපිව බලාගත්තේ බොහොම ආදරෙන්.. එයාට ඕනෑ කළේ අපි හැමෝම හොඳින් සතුටින් ඉන්නවා බලන්න. පැණිදෙණියේ දෙමළ මහා විද්‍යාලයට මාව දාලා හොඳින් ඉගෙන ගන්න කියලා කිව්වා මට මතකයි. ඒත් මට ඉස්කෝලේ ගමන එපා වුණා. තුන වසරෙදි මං ඉස්කෝලේ ගමන නතර කළා. ගෙදර සිට මහවැලි ගඟට තිබුණේ මීටර් සියයටත් වඩා අඩු දුරක්.අපි කොල්ලෝ කෙල්ලෝ කුරුල්ලන් රෑනක් වගේ මහවැලි ගඟට පැනල නාපු කාලයක් තිබුන. වෙලාවකට බත්පත උස්සගෙන වැල්ලට යනවා. සමහරදාට අපි නිදා ගන්නේ ගඟේ වැල්ලේ. අවුරුදු විස්සක තරුණයෙක් වුණාට මට ඒ හැටි ලොකු අවබෝධයක් තිබුණේ නෑ ඒ කාලේ. මම පුරුද්දට හැමදාම උදේ හය හයහමාරට විතර ගඟට යනවා. එදත් උදේ ගියා ගඟට. යද්දි කපපු මිනියක් ගහගෙන ඇවිත් මාරගහ ළඟ රැදිලා තිබුණා. මට අමුත්තක් දැනුණා. මං පුරුදු විදිහටම ඇදලා උඩට දැම්මා. හිස බූ ගාලා තැඹිලි පාට සරමක් වගේ ඇදලා හිටපු නිසා හාමුදුරුවෝ නමක් බව තේරුණා. එදා ඉඳලා හැමදාම ගඟ උඩහ ඉදන් කපපු මිනී ගහගෙන එනවා. මම කරන වැඩේ උණ ගහක් කපලා ගෙනැත් පාලම යට වතුර යන තැන රුකුල්ලනවා. මිනී දහයක් පහළොවක් ඇවිත් රැදෙනවා. සමහර වෙලාවට දෙන්නා දෙන්නාත් ගහගෙන එනවා. අත්දෙක එකට ගැට ගහලා.. මරලා. උණ ගහ ගැහුවාම උදේට මහගොඩාක් හිරවෙලා. උදේ හත විතර වෙද්දි පාලම දිගට මිනිස්සු රැදිලා ගඟ දිහා බලාගෙන ඉන්නවා. මුලදි නම් මිනිස්සු පිරිලා ඉන්න වෙලාවට මං උණ ගහ ඇදලා දාලා එනවා. පස්සේ පස්සේ රැඳෙන මිනී ගොඩට ගෙනැත් දැම්මා. කවුරුහරි කාගේ හරි පුතෙක්නේ කියලා.
දවසක් රෑ ඝෝශාවක් වගේ ඇහුණා. මං පහළ ඉඳන් ගහකට මුවා වෙලා බලා ගෙන හිටියා. පාලමේ කෙළවර වැටේ බෝලේ උඩට ඔළුව තියලා ගහනවා පෙනුණා. ඊට පස්සේ පාලමෙන් පහළට තල්ලූ කළා. තවත් දවසක එහාට මෙහාට කපනවා පෙනුණා. පාලමෙන් බිමට දාන්න කලින් වාහන පෝලිමක් ආවා. ඒ නිසාද කොහෙද වැටට හේත්තු කරලා යන්න ගියා. දැන් කෙඳිරි ගානවා ඇහෙනවා. මට බලා ඉන්නම බැහැ.. මං හෙමින් උඩට ගිහින් බලද්දි මනුස්සයෙක් ඉන්නවා ලේ පෙරාගෙන. මං උස්සගෙන ගිහින් ඉස්පිරිතාලෙට දැම්මා.තවත් දවසක පාන්දර බලද්දි තුන් හතරදෙනෙක්, ගැටගහලා පාලමෙන් බිමට දාලා වතුරට නැතුව කෙළවරට වැටිලා රැඳිලා. එළිය වැටෙන්න කලින් මං ලිහලා උස්සලා ගිහින් දැම්මා. ඒ කවුරුත් මැරුණෙ නැහැ. පාලම උඩ ඉඳන් දාන සමහර අයගේ ඔළුව නැහැ. නැත්නම් කදේ බාග යයි. එක්කෝ අත් නැහැ. නැත්නම් කකුල් නැහැ. ඔහොම ඒවත් තියෙනවා. මට හිතට බයක් සැකක් වගේ දෙයක් නම් දැනිලාම නැහැ. මොළය ඇතුළේ තියෙන හැම දේම නැතුව ඔළුවෙ කටුව විතරක් තිබිලා ඇගේ මුකුත් තුවාලයක් නැතුව හිටපු අයත් ඉඳලා තියෙනවා.
ඒ විදියට රාසික් තම්බි පවසන්නේ එක්තරා යුගයක මනුස්ස ජීවිතයක වටිනාකම නොදත් පාලකයින් විසින් රට පුරා පැතිරූ අඳුරු භීෂණයක මතකයයි. මේ විදියට මිනිසුන් කපා කොටා, වෙඩි තබා, මේලේච්ච වද බන්ධනයන්ට ලක් කොටමරා දැමූ ශාක්ෂි අපමන ලෙස තවමත් ඇත. එකල පැරගත් තරුණ තරුණියන්ගේ අදෝමාර්ගය තුළට කටු කම්බි දමා ඇදීම, ධර්මචක්‍රයේ කරකැවීම, එල්ලා පහරදීම වැනි වධදීම් විය. ස්ත්‍රී පුරුෂ භේදයක් නොවූ මෙම වධදීම් නීත්‍යානුකූල දඬුවම් ලෙස සැලකීමට බලධරයෝ කටයුතු කළහ. මෙවනි වධබන්ධනයට ලක්වූ පසු ඔවුන්ගෙන් ගැලවී දිවි බේරා ගැනීමට හැකි වූයේ ඉතාමත් ස්වල්ප පිරිසකට පමනි. පාසල් හා විශ්ව විද්‍යාල වසා දමා තිබූ අතර ඒවා කිහිපයක් වධකාගාර හා සිර කඳවුරු බවට පත් කෙරුණි. හන්දියක් හන්දියක් ගානෙ ටයර් සෑ ඉදිවිනි. ඒවා සමහරක් දොළොස්මහේ පහන් ලෙස නම් කෙරින. හිස සුන් තරුණ මළසිරුරක් පාව නොගිය ගඟක් රටේ නොවීය. බල්ලන්ට ද කබරයන්ට හා කිඹුලන්ට ද අහාර අහේනියක් නොවිනි. ටයර් සෑ මත බාගෙට පිළිස්සුන මළසිරුරු බල්ලන්ගේ දෛනික ආහාර වේල සරිකරලීය. මෙසේ මිනීමසට ලොල් වූ බල්ලන් රංචු පිටින් පණ ඇති මිනිසුන් පසුපස හඹා ආ පුවත් ද පසු කළෙක අසන්නට ලැබිණි.වධකාගාර හා හමුදා කඳවුරු, පොලිස් ස්ථාන අසල අතුරුදහන් වූ දරුවන් සොයා යන දෙමව් පියන්ගේ පෝලිම තව තවත් දිග්ගැස්සිනි. කෙතරම් කන්නලව් කළ ද සිය දරුවන් ඔවුනට නොලැබිණි. සාප කිරීම් වලද අදෝනාවලද එකල නිමක් නොවීය.
මේ ඉතිහාස කතාව වර්ථමාන හා අනාගත පරපුර තේරුම් ගත යුත්තෙ ලංකාවෙ දේශපාලන ඉතිහාසයේම කොටසක් හැටියට මිසක් අමුතුවෙන් හදිසියේ ඇති වුනු කැරළිකාර කෝලාහල හැටියට නොවෙයි. ඒ කාලෙ හිටපු විප්ලවවාදීන් පිරිසකගේ උවමනාවක් නිසා වූ දේවල් හැටියට මේ භීෂණ ඉතිහාසය ගැන ලංකාවෙ පාලකයො හා ඔවුන් වෙනුවෙන් විග්‍රහ කරනා ඇතැම් ලේඛකයින් අදහස් දැක්වුවත් එය මුලුමනින්ම ඉතිහාසය විකෘති කිරීමක්. රජය විසින් වෛද්‍ය විද්‍යාල පෞද්ගලීකරණය කිරීමට නීති රීති පිඹුරු පත් සූදානම් කරද්දී එදා විශ්ව විද්‍යාල සිසුන් පාරට බැස විරෝධය පල නොකරන්නට අද වර්ථමානයේ නිදහස් වෛද්‍ය විද්‍යාල පමනක් නොව එකම එක නිදහස් විශ්ව විද්‍යාලයක්වත් නොතිබෙනවා ඇත. වෛද්‍ය ශිෂ්‍ය පද්මසිරි ත්‍රීමා විතාන ඇතුලු සිය දහස් ගනනක් තරුණ පරපුරක් පුළුස්සා, නියපොතු ගලවා, යටිපතුල් පලා, ඇස් උගුල්ලා හිස දෙපසට පරාල ඇණ ගසා මිලේජ්ච ලෙස මරා දමා ගංඟා වල පා කර යැවූ ඒ රාජ්‍ය භීෂන සමය අප තේරුම් ගත යුත්තේ එලෙසය. එදා මහවැලි ගඟේ පාවී ගිය මල සිරිරු ගැන වර්ථමානයේ මොහමඩ් රාසික් තම්බි කියනා කතාව තුල ඇති දේශපාලන යථාර්තය එයයි.
එදා පාලකයින් වූ ජේ ආර් ජයවර්ධන ජනාධිපතිවරයා ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් උතුරු නැගෙනහිර පළාත් තුලට ඉන්දීය හමුදාවට ඇතුල් වීමට හැකි පරිදි රට පාවා දීමේ ගිවිසුමක් අත්සන් කළේය. 1987 ජුලි 29වැනිදා ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමග ජනාධිපති ජයවර්ධන විසින් අත්සන් කල ගිවිසුමට එරෙහිව එකල රට දෙකඩ වී ජාතික සමගිය බිඳ වැටෙන හෙයින් මේ අපරාධවලට ඉඩ නොදී නැඟී සිටින ලෙස ජනතා විමුක්ති පෙරමුණ ජනතාව ගෙන් ඉල්ලා සිටියේය. ඉන්දු ලංකා ගිවිසුම හරහා සිදු වෙමින් පැවති ඉන්දීය ආක්‍රමණයට එරෙහිව ජුලි 28වැනිදා කොටුව බෝගහ අසලින් ආරම්භ වූ ජනතා විරෝදය රටපුරාම පැතිර යමින් තිබිණි. දිනපතා උද්ඝෝෂණ, පෙළපාළි, පිකටින්, උපවාස හා අරගලවලින් වලින් රට උණුසුම් විය. රට පුරාම ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව පැන නැගි විරෝදතා අරගල 1989 වසර අවසන් වනතෙක්ම පැවැතිණි. රජය දියත් කල මර්ධනය අවසන් වූයේ මහා භීෂණයක් පැතිරවීමෙනි. දෙමව්පියන්ට ස්වකීය තරුණ දියනියන් හා පුතුන් අහිමි විය. කුඩා දරුවනට අම්මා නැතිනම් තාත්තා අහිමි විය. තවත් කෙනෙකුට ආදරනීය ස්වාමියා, බිරිඳ අහිමි වී ගියේය. සමීප හිතවතුන්, ඥාතීන් අහිමි වීය. 1989 වසර අවසන් වූයේ රාජ්‍ය භීෂණයක් අවසන මානව ඛේදවාචකයකින් යයි ඉතිහාසයට ලියා තැබිය යුත්තේ එහෙයිනි.