සංජීව ලෝන්ලියස්ගෙ ‘කන විදලා කොණ්ඩෙ පාට කරපු’ සිංදුව මේ දවස්වල ගොඩක් ජනප්‍රියයි. කන විදලා, කොන්ඩෙ වවලා පාට කරලා, ටැටුවක් කොටාගෙන ඉන්න, සිංහල බෞද්ධ මහා සංස්කෘතියෙන් අවඥාවට ලක් කෙරුණු තරුණ පරම්පරාව ගැන වපර ඇහින් බලන්න එපා, උන් බොක්ක තියෙන කොල්ලො කියන එක තමයි සිංදුවෙන් කියන්න උත්සාහ කරන්නෙ.
ඕනෑ ම කලා කෘතියක පවතින සමාජ යථාර්ථය මොන වගේද කියන එක වගේ ම කලාකරුවාගේ දෘෂ්ටිවාදී සීමාවත් සටහන් වෙලා තියෙනවා. මේ සිංදුවෙත් එහෙම තමයි. අපි උත්සාහ කරන්නෙ ඒ ගැන කතාකරන්න. බලන්න මේ පද ටික.
“පිටුව පෙරලුවට සීතා පොත දන්නවා රාමා
නටුව දන්නේ මල් වෙනුවෙන් දරාගත්ත සීමා
ටැටුව දැකලා චරිතෙ ලියන ගොඩක් උන්ට කෝමා
මේ පපුවේ ඇතුලේ චේගුවේරා ඕෂෝ දලෙයි ලාමා”
මෙතන දෙවැනි සිව්වැනි පදවලින් කියන්නෙ ටැටුව දැකලා අපි ගැන චරිත සහතික ලියන්න එන්න එපා. අපි ආදරේ තියෙන මිනිස්සු කියලා. පවතින සිංහල බෞද්ධ වික්ටෝරියානු කවලම් සංස්කෘතිය ඇතුළෙ තරුණයා පීඩාවට ලක්වීම රචකයා ප්‍රශ්න කරනවා. නමුත් ඒ රචකයා ම ඒ පසුගාමී සංස්කෘතිය කරගහගෙන ඉන්න කෙනෙක් කියලා ඊට උඩින් තියෙන පද දෙකෙන් පේන්න තියෙනවා. නිකමට හිතන්න, සීතා රාමාට පෙරළපු පොත මොකක්ද?
රාමායණයෙදි සීතව රාවණාගෙන් බේරගත්ත රාමා පතිවත රැක්ක ද බලන්න සීතට ගිනිගොඩකට පනින්න කියනවා. මෙතන සීතයි රාමයි කියන්නෙ රාමායණයේ ඉන්න චරිත නෙවෙයිනෙ. මේ කියන්නෙ වර්තමාන සමාජයේ ගැහැණිය සහ පිරිමියා ගැන. රාමායණය ලියපු වාල්මිකීගෙ පුරුෂෝත්තම බමුණු අදහසේ ම ඉඳගෙන රචකයා කාන්තාව අවඥාවේ ගිනිගොඩට තල්ලු කරනවා.
පිටකවරෙ බලලා අපිව ජජ් කරන්න එපා කියන රචකයා ම ‘ගෑණු කොහොමත් එහෙමයි’ කියලා කාන්තාව ගැන ජජ් කරේ කොහොමද? පිටින් බලලා ජජ් කරන්න හොඳ නැත්තෙ පිරිමි විතර ද? සංවාදය ඔබට බාරයි. සිංදුවෙන් කියන්න හදන අදහස ම අරගෙන අන්තිමට අපිට මෙහෙම කියන්න පුළුවන්. සිංදුව ගැනත් ‘අමු’ කියන පිටකවරේ දිහා විතරක් බලලා ජජ් කරන්න එපා. වචන අස්සෙ දේශපාලනය තියෙනවා. අවධානයෙන් අහන අයට ඒ දේශපාලනය සේවය කරන්නෙ කාටද කියලා අමුවෙන් ම වටහගන්න පුළුවන්.