Breaking News

ආණ්ඩුව සහ සෞඛ්‍ය වෘත්තීය සමිති අතර සාකච්ඡා අසාර්ථකයි

මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය වෘත්තීය සමිති නියෝජිතයන් අතර අද (16) පස්වරුවේ පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවත් සෞඛ්‍ය වෘත්තීය සමිතිවල යෝජනා සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයා නැවත මෙරටට පැමිණෙන තුරු කල් ඉල්ලා සිටි බවත් සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රවී කුමුදේශ පැවසීය.

සෞඛ්‍ය වෘත්තිය සමිති සංධානයේ යෝජනාව මුදල් අමාත්‍යවරයා පිළිගත් බව ද රවී කුමුදේශ් පවසයි .

දැනට ක්‍රියාත්මක වර්ජනය හෙට පෙරවරු 8.00 ට තාවකාලිකව අත්හිටුවුවද, දින 14කින් අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක් සඳහා අනුමැතිය ලබාගැනීමට සෞඛ්‍ය වෘත්තීය සමිති සංධානයේ මහ සමුළුවක් අනිද්දා (18) කැඳවන බවත් රවී කුමුදේශ් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

වෛද්‍යවරුන් හට ලබා දුන් රු.35,000 ක දීමනාව සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සදහා ලබා දෙන ලෙස ඉල්ලීම් කරමින්  වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දියත් කරන අතර අත්‍යාවශ්‍ය කටයුතු පමණක් සිදුකිරීමට ද සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

මේ සඳහා රසායනාගාර ශිල්පීන්, විකීරණ විද්‍යා තාක්ෂණවේදීන්, ඖෂධවේදීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්, ඖෂධ සංයෝජකයින්, කීට විද්‍යා නිලධාරීන් ඇතුළු සෞඛ්‍යය වෘත්තීය සමිති 72 ක සාමාජිකයින් එක්ව සිට  ඇත.

සියලු ම ළමා රෝහල්, පිළිකා රෝහල්, මාතෘ රෝහල්, වකුගඩු රෝහල්, මධ්‍යම ලේ බැංකුව, මානසික සෞඛ්‍ය විද්‍යායතනය යන ආයතන තුළ ස්වේච්ඡා පදනම මත කටයුතු කරන බවත් ඔවුන් දිවා ආහාර විවේකයේදී උද්ඝෝෂණ ව්‍යාපාර පැවැත්වීම හරහා වෘත්තීය ක්‍රියාමාර්ගයට සහාය පළ කරන බවත් අනෙකුත් සියලු ම රෝහල්වල ජීවිත අවදානමට හා ජීවිතාරක්ෂාවට අදාළ හදිසි සහ අත්‍යවශ්‍ය සේවා පමණක් සැපයීමට කටයුතු කරන බවත් එම සංවිධානය දන්වා තිබේ.

 

leave a reply