Breaking News

හමුදාව විසින් නිරෝධයනට ගෙන ගිය ඇගළුම් සේවිකාවන් කතා කරයි – බලහත්කාරයෙන් රැගෙන ගිහින්, PCR කරළත් නැහැ

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවක සේවිකාවන් යොමුකර ඇති නිරෝධනය මධ්‍යස්ථාන කිසිදු මූලික පහසුකමක් නොමැති සෞඛ්‍යාරක්ෂිත පහසුකම් නොමැති ස්ථාන බව තොරතුරු හෙළදරව් වෙමින් තිබේ. වෙබ් අඩවි කිහිපයක්ම වාර්තා කර ඇති පරිදි ඇඟලුම් සේවක සේවිකාවන් යොමු කර ඇති මෙම ස්ථාන වෛරසය වේගයෙන් පැතිර යා හැකි ස්ථාන වේ. මෙහිදී මෙම නිරෝධායන ක්‍රියාවලිය සඳහා සම්පූර්ණයෙන් මැදිහත් වී ඇත්තේ හමුදා සාමාජිකයන් වීමද ප්‍රශ්නකාරී බව එම වෙබ් අඩවි වාර්තා කර ඇත.

“අපේ මේ ගෑනු අය රෑ මැද පටවාගෙන ගෙනාවා විතරක් නෙවෙයි , අඩුම තරමේ අපි කොහෙටද ගෙනියන්නේ, මොකටද ගෙනියන්නේ කියලවත් කිව්වේ නෑ . අපිට අයිතියක් නැද්ද අපි කොහෙටද ගෙනියන්නේ කියල දැනගන්න? අපිට අයිතියක් නැද්ද අපිට මොකද වෙන්නේ කියලා දැනගන්න? අපි මේ රටේ මහන්සි වෙලා වැඩ කරන මිනිස්සු”

“අපි හිඟන්නෝ නෙවෙයි ! අපි නීතිවිරෝධී කිසිම දෙයක් කරන්නේ නෑ, අපි ආණ්ඩුවට කරදරයක් නෙවෙයි, එයාලා තමයි අපෙන් ජිවත් වෙන්නේ, ඊළඟ පාර එන්න කියන්නකෝ අපේ ඡන්දේ ඉල්ලගෙන, අපිව ඡන්දේ කාලෙට විතරයි එයාලට ඕනේ, අපි මෙහෙම කථා කරන්නේ අපිට මේ කරන බලු වැඩේ නිසයි”

තමන් ගෙන යන්නේ කුමන ස්ථානයකට දැයි පැහැදිලි තොරතුරු හෝ දැනුවත්භාවයක් ලබා නොදීම, අනාරක්ෂිත ප්‍රවාහනය, නිරෝධායනයේදී ලබා දී ඇති අපිරිසිදු සනීපාරක්ෂක පහසුකම් සහ සේවිකාවන් බස් රථ වෙත නැංවීමට පෙර සහ එම මධ්‍යස්ථානයට ඇතුළත් වීමට පෙර PCR පරීක්ෂණ පැවැත්වීමට අපොහොසත් වීම යන ඒවා පැහැදිලිව පිළිපැදිය යුතු බවට රජය විසින්ම පනවා ඇති COVID-19 රෙගුලාසි ඔවුන් විසින්ම උල්ලංඝණය කිරීමකි.

ඔක්තෝම්බර් 11 වන (ඉරිදා) රාත්‍රී 10.30 ට පමණ කටුනායක ලියනගේමුල්ල ප්‍රදේශයේදී ඇඟලුම් කම්හල් සේවකයින් 45 දෙනෙකු (කාන්තාවන් 25 ක්, ගර්භනී කාන්තාවක් සහ දරුවන් දෙදෙනෙකු ඇතුළුව) හමුදාව විසින් වටකර බස් රථයකින් තාවකාලික ස්ථානයකට ගෙන ගොස් තිබේ. අසල්වැසි නේවාසිකාගාරයේ COVID -19 ආසාධිත බවට (පොසිටිව්) හඳුනා ගෙන ඇති සේවකයින් කිහිප දෙනෙකු වාසය කර තිබෙන බවත්, එහෙයින් ඔවුන්ද නිරෝධායනය කළ යුතු බව පවසා තිබුණි.

මෙහිදී සෞඛ්‍ය සේවකයන් කළ යුතු රාජකාරි හමුදා සාමාජිකයන් යොදවා කිරීමට යාමෙන් ඇතිවන ගැටලුවලට පහත ප්‍රකාශය කදිම උදාහරණයකි.

“අපේ දේවල් එකට එකතු කරගෙන බස් එකට නගින්න අපිට දුන්නේ තත්පර ගානක්. ඇඳුම් පැක් කරගන්න වත් අපිට වෙලාවක් දුන් නෑ. අඩුම තරමේ පනාවක් දාගන්න වෙලාවක් දුන් නෑ. පැනලා යන්න හදන්න එපා, පැත්තම වටලලා තියෙන්නේ කියලා හමුදාව අපිට කිව්වා. ඒ කට්ටිය (හමුදාව) අපට සැලකුවේ හිරකාරයෝ වගේ. හරියට අපි ජාතික අපරාධයක් කලා වගේ” එක් සේව්කාවක පැවසීය.

ඔවුන් වේයන්ගොඩ වෙත ගෙන යන බවට මුලින් පවසා තිබුණත්, දුරකථන සංඥා ඉතා අවම මට්ටමක පවතින කළුතර ප්‍රදේශයේ හුදෙකළා ස්ථානයකට ඔවුන් මේ වන විට ගෙන ගොස් තිබේ.

එදිනම පාන්දර 12.30 ට පමණ (12 වන දින අළුයම) ඇවරිවත්ත ප්‍රදේශයේ සේවක සේවිකාවන් 53 දෙනෙකු (කාන්තාවන් 35 ක් සහ එක දරුවෙකුද ඇතුළුව) අවදි කරවා ඉහත ලෙසම බස් රථයකට නංවා ගෙන තිබේ.

“රෑ මැද හමුදාව ඇවිත් අපිට අපේ උවමනා බඩු පැක් කරගෙන බස් එකට නගින්න විනාඩි 10 ක් දුන්නා. නිදි නැතුව වැඩ කරලා මහන්සි වෙලා එයාලා ඉන්නේ කියලා එයාලට පරක්කු කරන්න එපා කියලා හමුදාව අපිට කිව්වා, අපිට බල බල ඉන්න වෙලාවක් නෑ, අපි දිගටම වැඩ කරලා ඉන්නේ එයාලා කිව්වා.මගේ PCR එක නෙගටිව් කියලා මට රිපෝර්ට් එක හරියටම ආවේ ඊට දවස් දෙකකට කලින්. මට ඒක වත් එයාලට කියාගන්න අවස්ථාවක් දුන්නේ නෑ. කාටවත් කතා කරන්ඩ එයාලා ඉඩක් දුන් නෑ.අපිව බස් එකට දක්කාගෙන ගිහින් අපිව මෙහෙ ගෙනත් දැම්මා” ඒ දැන් කළුතරට ගෙනවිත් ඇති තවත් එක් සේවිකාවකි.

ඔවුන් කටුනායක, සීදුව, මිගමුව සහ අමන්දොළුව යන ප්‍රදේශවලින් තවත් සේවකයින් රැගෙන ඔක්තෝම්බර් 12 වන දින අලුයම 5.30 ට පමණ ඒ අනුව කටුනායකින් පිටත්ව ගොස් තිබේ.

අවසානයේ පැය 12කට පමණ පසුව, පසුදා දහවල් 12.30 ට පමණ ඔවුන් කළුතර වෙත ළඟා වී ඇති අතර, එතෙක් කිසිදු ආහාරයක් හෝ වතුර පොදක් ඔවුන් වෙත ලබා දී නැත. එහි ගිය පසු ඔවුන් වෙත අහාර ලබා දී තිබුණත් ඒවා අහාරයට ගැනීමට නොහැකි තත්වයක තිබු බව සේවකයන් පැවසීය. එම මධ්‍යස්ථානය පිරිසිදු කොකළ අපිරිසිදු තත්වයක තිබෙන බවත්, වැසිකිළි උතුරා ගොස් අපිරිසිදු තත්වයක තිබෙන බවත්, තවමත් (ඔක්තෝම්බර් 13 වන දින රාත්‍රි) වන විටත් කිසිදු සෞඛ්‍ය නිලධාරියෙකු, වෛද්‍යවරයෙකු හෝ මහජන සෞඛ්‍ය පරියේෂකයෙකු නොදුටු බව සේවකයින් වැඩිදුරටත් පවසා සිටියහ. එහි සිටින්නේ හමුදා නිලධාරින් පමණක් බව ඔවුහු පවසති.කිසිදු සේවකයෙකු මධ්‍යස්ථානයට ගෙන ආ මොහොතේ සිට PCR පරීක්ෂණයකට භාජනය කොට නැත.

“අපි ඔක්කොම ස්වයං නිරෝධායනයට ලෑස්ති වෙලා හිටියේ. ළඟ අනෙක්ස් එක්ක සිස්ටර්ලා දෙන්නෙක් කොරෝනා පොසිටිව් කියලා ආරංචි උන නිසා අපි රු: 20,000 කට කිට්ටු වෙන්න ගෙවල් වලට බඩුත් අරන් ගෙදර නවතින්න හිටියේ, අපි හරිම පරීක්ෂාවෙන් හිටියේ. අර සිස්ටර්ලා දෙන්න උනත් මීගමුවේ හොස්පිටල් එකට පෞද්ගලිකව ගිහින් ටෙස්ට් එක කරලා තිබ්බේ, ඒ දෙන්නට අසනීපයි වගේ දැනිලා තිබ්බ නිසා. එයාලා පොසිටිව් කියලා දැන ගත්තට පස්සේ එයාලා ස්වයං නිරෝධායනය වෙලා තිබ්බා, අපිත් ආරක්‍ෂිත පියවරක් විදියට ස්වයං නිරෝධායනට ලෑස්ති වෙලා හිටියේ අපි පොසිටිව් වෙලා හිටියේ නැතත්. හරි නම් ආණ්ඩුව කරන්න තිබ්බේ හැමෝම පරික්ෂා කරලා, පොසිටිව් අය අනෙක් අයගෙන් හුදෙකළා කරලා අනික් හැමෝම ස්වයං නිරෝධානයට යවන එක, මොකද අපිට වෙනම අනෙක්ස්, ටොයිලට් පහසුකම් තියෙන නිසා. එයාලා හිතන්නේ එයාලා ( ආණ්ඩුව සහ හමුදාව) ඔක්කොම පාලනය කරගෙන ඉන්නේ කියලා, අපිට සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රම පාවිච්චි කරන්න කියලා බන කියලා මෙහෙ ගෙනත් අතෑරලා දාලා ඉන්නවා. අපි බස් වලට එක ගොඩේ පටවාගෙන ඇවිත්, මේ සනිපාරක්ෂාවක් නැති, කිසිම සෞඛ්‍ය ආරක්‍ෂිත ක්‍රමවේදයක් ක්‍රියාත්මක වෙන්නේ නැති තැනක නිරෝධානය කරනවා” සේවකයින් කියා සිටියේ කෝපයෙනි.

“අපිට කට කතා එහෙන් මෙහෙන් ඇහෙනවා ඩොක්ටර් කෙනෙක් අපිව බලන්න එනවා කියලා, ඒත් නිල මට්ටමින් කිසිම දෙයක් අපිට දැනුම් දීලා නෑ මේ වෙනකන්” ඔවුහු පැවසුහ.

අද දින (ඔක්තෝම්බර් 14 ) ඔවුන් වෙත සෙරෙප්පු, සබන්, රෙදි සෝදන කුඩු වැනි අත්‍යවශ්‍ය දෑ ලබා දී ඇති අතර සේවකයින් 400-500 කට ආසන්න පිරිසක් එහි සිටින බව ඔවුහු කියා සිටිති. එක කාමරයට 6-7 දක්වා ප්‍රමාණයක් ද, ඇතැම් කාමර වල 3-5 දක්වා සේවකයන් නවත්වා තිබේ. සේවකයින් 30 කට අධික පිරිසකට නාන කාමර 2ක් සහ වැසිකිලි 2 ක් සහ සිනික් 2 ක් (සින්ක් 4 ක් ඇති නමුත් ජලය ඇත්තේ 2 ක් පමණි.) පමණක් ඇති බව ඔවුහු වැඩි දුරටත් පවසයි.

හමුදාව විසින් ඔවුන්ට පවසා ඇත්තේ ඔවුන්ට එම ස්ථානය මේ වන තෙක් පිරිසිදු කිරීමට නොහැකි වූ බවත්, එය කඩිනමින් සිදු කරන බවත්ය. ලබාදෙන ආහාර ක්‍රමවත්ව ලබාදෙන බවට ද පොරොන්දු වී ඇතත්, මෙතෙක් ලබා දුන් ආහාර කෑමට ගැනීමට අපහසු තත්වයක තිබෙන බව ඔවුහු කියති. කිසිවෙකුට එම මධ්‍යස්ථානයෙන් නික්ම යා නොහැකි බව ද ඔවුන්ට දන්වා තිබේ. එක අයෙකුට හෝ කීප දෙනෙකුට දැනටමත් වෛරසය අසාධනය වී ඇත්නම් කිසිදු ආරක්‍ෂිත ක්‍රමවේදයක් මෙම මධ්‍යස්ථානය තුළ අනුගමනය නොකෙරෙන හෙයින් මෙහි සිටින සියල්ලන්ටම එය පහසුවෙන් සහ වේගයෙන් අසාධනය විය හැකි බවට සේවකයෝ බිය පල කරති.

“මේ කාමර වල බිම දුවිලි වගේම වැසිකිළි හොඳටම අපිරිසිදුයි, අපිට මේ වගේ ජිවත් වෙලා පුරුදු නෑ, ඒ නිසා අපිම අපේ කාමරයි, වැසිලිකිළියි සුද්ධ කළා. අපිට දිගටම මෙහෙම ජිවත් වෙන්න උනොත් මැරෙන්නේ කොරෝනා හැදිලා නෙවෙයි, වෙන ලෙඩක් හැදිලා මේ ජරාවේ ඉදලා. මේ තත්වය හොඳ අතට කළමනාකරණය කලේ නැත්තන්, අපි ඡන්දය දුන්නු මේ රජයම වෙනස් කරන්න අපට බල කිරීමක් කරන්න වෙනවා ” ඔවුහු කියති.

තවත් සේවිකාවක් තම කෝපය පිටකරමින් කියාසිටියේ “මම හාර්ට් ඇටැක් තියෙන කෙනෙක්.මගේ බ්ලොක් දෙකක් තියෙනවා, ඒවට මම බෙහෙත් බොනවා, දැන් මෙහෙ මේ විදියට ඉදලා මට කොරෝනා හැදුනොත් මම කොහොමත් මැරෙයි. ජිවත් වෙන එකක් නෑ,මෙතන බල්ලෙක්ට වත් ඉන්ඩ පුළුවන් තැනක් නෙවෙයි, මුන්ට ඡන්දේ දුන්නට අපිටම ගහ ගන්න ඕනි”

තොරතුරු සහ ඡායාරූප – මානව විමුක්තිය සංවර්ධනය Revolutionary Existence for human Development (RED) වෙතින් සහ දැනට නිරෝධනය සඳහා කළුතර මධ්‍යස්ථානය වෙත ගෙන ගොස් සිටින ඇති ඇගළුම් සේවිකාවන් විසිනි.

විශේෂ ස්තුතිය- මරිසා ද සිල්වා

තොරතුරු උපුටා ගැනීම – vikalpa වෙබ් අඩවිය

leave a reply