Breaking News

ඇමරිකානු පාසලක සිදුවූ වෙඩි තැබීමෙන් පසු ආයුධ පාලන පනත නැවතත් කරළියට

ඇමෙරිකාවේ දකුණු ටෙක්සාස් ප්‍රාන්තයේ ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් 19 දෙනෙකු සහ වැඩිහිටියන් දෙදෙනෙකු මියගොස් තිබේ.

ආරක්ෂක අංශ තුවක්කුකරුව මරා දැමීමට පෙර, ඔහු උවල්ඩේ නගරයේ වයස අවුරුදු 07 – 10 අතර ළමුන් ඉගනුම ලබන රොබ් ප්‍රාථමික පාසලට කඩා වැදී ඉවක් බවක් නොමැතිව වෙඩි තැබූ බව නිලධාරීන් පවසයි.

ඔහු එම ප්‍රදේශයේ උසස් පාසල් සිසුවෙකු වන්නට ඇතැයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කරයි.

එක්සත් ජනපදයේ රාජ්‍ය නොවන සංවිධානයක් වන Gun Violence Archive හි ගණන් බැලීම් අනුව මේ වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ මේ වන විට සමූහ වෙඩි තැබීම් 212ක් සිදුවී ඇත – එය සමූහ වෙඩි තැබීමක් ලෙස අර්ථ දක්වන්නේ පුද්ගලයන් හතර දෙනෙකු හෝ වැඩි ගණනකට වෙඩි වැදීම හෝ මියයාමේ සිදුවීමකි.

මේ වසරේ පමණක් අමෙරිකාවේ පාසල්වල වෙඩි තැබීමේ සිද්ධි 27ක් දැනටමත් සිදුවී ඇති බව බීබීසී පුවත් සේවය පවසයි.

ළමුන් සහ නව යොවුන් වියේ දරුවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව ලෙස මෝටර් රථ අනතුරු අභිබවා , තුවක්කු බවට පත්ව ඇති අතර දේශපාලකයින් මෙය ඇමරිකාවට අනන්‍ය වූ ගැටලුවක් ලෙස හඳුනාගෙන ඇතැයි මාධ්‍ය වාර්තා කරයි.

CBS ප්‍රවෘත්ති වලට අනුව, ප්‍රහාරකයා ප්‍රහාරය සිදු කරන විට වෙඩි නොවදින කබායක් පැළඳ සිට ඇත. මැයි 14 වන දින නිව් යෝර්ක් හි බෆලෝ හි සිල්ලර වෙළඳසැලකට පහර දුන් බවට සැක කරන තවත් 18 හැවිරිදි තරුණයෙක් වෙඩි නොවඳින කබායක් පැළඳ අර්ධ ස්වයංක්‍රීය රයිෆලයක් ද රැගෙන සිටියේය – තුවක්කු මෙන්ම වෙඩි නොවදින කබා යන මේ දෙකම එක්සත් ජනපදයේ වාණිජමය වශයෙන් නිදහසේ ලබා ගත හැකිය.

මෙම වෙඩි තැබීමත් සමඟ ආයුධ පාලන නීති සම්බන්ධ කතා බහක් නැවතත් ඇමරිකාව තුළ මතුව තිබේ. නමුත් මෙය සෑම වෙඩි තැබීමකින් පසුවම සිදුවෙන්නක් බවට පත්ව තිබේ. නමුත් මෙතෙක් කාලයක් ඒ වෙනුවෙන් ගත් පියවරක් නැත.

උපහාසයට කරුණ නම් වෙඩි තැබීම් සඳහා බලපාන හේතු වැලක්වීමට පියවර ගැනීම වෙනුවට ඇමරිකානු පාසල් තුළ වෙඩික්කරුවෙකු මෙල්ල කිරීමේ අභ්‍යාස ප්‍රාථමිකයේ සිට උසස් පාසල දක්වා පාසල් විෂය මාලාවේ පොදු කොටසක් ලෙස ඇතුල් කොට තිබීමයි.

රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) විසින් පසුගිය මාසයේ නිකුත් කරන ලද දත්ත වලට අනුව, 2020 දී අමෙරිකාවේ ළමුන් සහ නව යොවුන් වියේ දරුවන්ගේ මරණයට ප්‍රධානතම හේතුව මෝටර් රථ අනතුරු අභිබවා තුවක්කු බවට පත්ව තිබීම විශේෂත්වයකි.

සඳුදා, FBI වාර්තාව දැක්වුණේ 2020 දී කොරෝනා වෛරසය ආරම්භ වූ දා සිට “වෙඩික්කරුවන්ගේ” ප්‍රහාර දෙගුණ වී ඇති බවයි.

පහත දැක්වෙන්නේ ආසන්න වසර 10 තුළ සිදුවූ විශාල ප්‍රමාණයේ වෙඩි තැබීම් සහ එම සිදුවීම්වලින් මියගිය ගණනයි.

leave a reply