Breaking News

ත්‍රස්ත විරෝධී පනත පරාජය කළ යුත්තේ ඇයි?

1979 අංක 48 දරණ දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව විසින් සම්මත කර ගැනීමට කටයුතු කරන ලද සන්දර්භය වූයේ දශක ගණනාවක් තිස්සේ තමිල් ජනතාවගේ ජාතික ගැටලුවට දේශපාලන විසඳුමක් ලබාදීමට දකුණේ සිංහල බෞද්ධ අධිපතිවාදය අසමත්වීම වීම හේතුකොටගෙන වඩුක්කොඩෙයි ප්‍රකාශනය දක්වා ක්‍රමයෙන් විකාශනය වූ තමිල් ජනතාවගේ අපේක්ෂා භංගත්වය අරගලයක් කරා විකාශනය වෙමින් පැවති කාලයක ය.
එවකට අධිකරණ ඇමති වූ කේ. ඩබ්. දේවනායගම් එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එහි මුඛ්‍ය අරමුණ ඒ වන විට වර්ධනය වෙමින් තිබූ එල්ටීටීඊ සංවිධානයේ ක්‍රියා මර්දනය කිරීම බව ප්‍රකාශ කරමින් එය තාවකාලික විධිවිධාන පනතක් බවට පැහැදිලිව පනත් කෙටුම්පතෙහිම සඳහන් කරන ලදී.
එම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ පැවති ව්‍යවස්ථා විරෝධී සහ මිනිස් අයිතිවාසිකම් තිරශ්චීන ලෙස යටපත් කරනු ලබන ස්වභාවය හේතු කොටගෙන මහජන ඡන්දයෙන් පත්වූ රජයක් ලෙස ඒ මොහොතේ කොතරම් ජන පීඩක පාලකයෙක් වුවත් ජේ. ආර්. ජයවර්ධනට සිංහල සමාජය ඉදිරියේ එය තමිල් ජනතාවට විරුද්ධව ගෙන එන පනතක් බවට ඇඟවීමට සිදුවන ලදී. කෙසේ නමුත් ජේ. ආර්. ජයවර්ධනගේ සත්‍ය අරමුණ ඊට වඩා ගැඹුරු ආස්ථානයක පිහිටා තිබුණ අතර ඔහු විසින් හඳුන්වා දෙනු ලැබූ නව ලිබරල් ආර්ථික ප්‍රතිසංස්කරණ විසින් මහජන සුබසාධනය කප්පාදු කොට විරැකියාව, උද්ධමනය වැනි සමාජ-ආර්ථික ගැටලු තීව්‍ර කිරීමටත් සමාජ අසමානතාවය වඩාත් සංකීර්ණ ලෙස ස්ථාපිත වීමත් විසින් පොදු මහජනතාව ආණ්ඩුවට විරුද්ධව එක්ව සටන් කරනු ඇතැයි නිවැරදිව පුරෝකථනය කළ ජේ. ආර්. ජයවර්ධන එබඳු ජනතාව මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීම සම්බන්ධයෙන් පැහැදිලි සැලැස්මක් ඔහුට විය.

අනෙක් අතට 1972 ව්‍යවස්ථා සභාවේ 71’ තරුණ නැගිටීම මර්දනය කිරීම සඳහා අපරාධ යුක්ති විනිශ්චය කොමිෂන් සභා නීතිය ගෙන ආ අවස්ථාවේදී දේශනයක් පවත්වමින් එවකට විපක්ෂ මන්ත්‍රී ජේ ආර් ජයවර්ධන ප්‍රකාශ කර සිටියේ ‘රාජ්‍ය ආරක්ෂක පනත’ වැනි පනත් තිබියදී මෙබඳු විශේෂ පනත් කිසිසේත්ම අවශ්‍ය නොමැති බවත් එය ජනතා විරෝධී බවත්ය. එබඳු ස්ථාවරයක සිටි ජේ. ආර්. ජයවර්ධන ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි ඉතිහාසයේ නිර්මාණය වූ මර්දනකාරීම පනතක් ගෙන ඒමට 1979 දී කටයුතු කිරීම මගින් මෙරට දේශපාලනයේ ඊනියා නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී හෙලුව අපට වඩාත් හොඳින් අවබෝධ කර දේ .

කෙසේ නමුත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැඩි ඡන්දයෙන් සම්මත වීමෙන් අනතුරුව එළඹුන යුගය වූයේ 80’ වැඩ වර්ජනය සාහසික ලෙස මර්දනය කිරීම, 1983 දී වාමාංශික දේශපාලන පක්ෂ තුනක් තහනම් කිරීම, උතුරේ තමිල් ජනතාව පමණක් නොව දකුණේ තරුණ නැගී සිටීම් පවා මිලේච්ඡ ලෙස මර්දනය කිරීමයි. මාධ්‍යවේදීන්, නීතිඥයන්, මානව හිමිකම් ක්‍රියාකාරීන් ඝාතනය කිරීම වැනි එක පෙළට දිගහැරුණේ රාජ්‍ය ත්‍රස්තවාදය දේශපාලන බලය පවත්වාගෙන යාමේ මූලික න්‍යාය බවට පත්වෙමිනි. අනෙක් අතට ඉන්දියානු මැදිහත්වීම සඳහා ආණ්ඩුව විසින් නෛතික පොරොන්දු නෝට්ටුවක් ලෙස ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීම වැනි යටත් වීම සඳහා ඉඩකඩ විවෘත කරමින් එකී සෑම ක්‍රියාවලියක දීම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩු විරෝධී නැගීසිටීම්වලට නායකත්වය දෙන පක්ෂ, ව්‍යාපාර සහ එහි නැගීසිටීම්වලට උරදුන් සාමාන්‍ය ජනතාව මර්දනය කිරීම සඳහා යොදාගත් ප්‍රධාන නෛතික මෙවලම බවට පත්කර ගනිමිනි.

ඒ අනුව ආරම්භයේ සිටම ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් අතිශය අගතිකාරී සහ ජනතා විරෝධී නීතියක් වූ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පරිච්ඡින්න කොට අහෝසි කිරීම සඳහා වූ සටන ප්‍රගතිශීලී ජනතාව මතින් පැන නැගුන අතර හැම බල හුවමාරුවකදීම එකී පනත කෙරෙහි පැවැති ජනතා විරෝධය විපක්ෂ දේශපාලන කණ්ඩායම්වල ප්‍රධාන සටන් පාඨයක් බවට පත්වන ලද අතර ඔවුන්ගේ දේශපාලන වැඩපිළිවෙලවල්වල එම පනත අහෝසි කිරීම යන්න ප්‍රමුඛ පොරොන්දුවක් බවට පත්වන ලදී.

1994 චන්ද්‍රිකා කුමාරණතුංගගේ ‘17 වසරක ශාපයට එරෙහිව’ මැතිවරණ ව්‍යාපාරය ද , 2005 න් පසු මහින්ද රාජපක්ෂගේ ‘රට පෙරට’, ‘සුභ අනාගතයක්’ වැනි මැතිවරණ ව්‍යාපාර වල ද, 2015 රනිල් වික්‍රමසිංහගේ ‘යහපාලන’ මැතිවරණ ව්‍යාපාරය තුළ ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම යන්න මූලිකම පොරොන්දුවක් බවට පත්ව තිබිණි.

විශේෂයෙන්ම ජාත්‍යන්තර ප්‍රජාව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් සිය නොසතුට දිගින් දිගටම මතු කරමින් තිබූ අතර 2017 වර්ෂයේ දී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලෙස සිය විදේශ කටයුතු ඇමති ඇමති මංගල සමරවීර මගින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රායෝගිකව යොදා නොගන්නා බවට විවෘත පොරොන්දුවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ලබාදීමට ද කටයුතු කරන ලදී.

ඒ අනුව ඓතිහාසිකව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සම්බන්ධයෙන් පැවති සමාජ ආකල්පය වූයේ එය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම වන අතර විකල්ප නීතියක් මඟින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තුළ පැවති ප්‍රජාතන්ත්‍ර විරෝධී මානව හිමිකම්වලට ප්‍රතිකූල ස්වභාවය තව තවත් ස්ථාවර කර නීති ගෙන ඒම නොවේ.

ඒ අනුව 2015 පිහිට වූ යහපාලන ආණ්ඩුව විසින් ඔවුන් ජාත්‍යන්තරයට ලබාදුන් පොරොන්දු එලෙසින්ම ක්‍රියාත්මක කරන බවට හැඟවුම්කාරකයන් ලබාදෙමින් තිබියදී 2018 සැප්තැම්බර් මස 17 වන දින ‘ප්‍රතිත්‍රස්ත පනත’ යන පනත් කෙටුම්පත ගැසට් කරමින් පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට වඩා මානුෂීය පනතක් ගෙන එන බවට ප්‍රකාශ කරන ලදී. කෙසේ නමුත් පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ වගන්ති 31 වෙනුවට වගන්ති 82ක් ඇතුළත් කොට සකස් කර තිබූ එකී පනත තුළ ප්‍රතිත්‍රස්ත පනතේ ‘ත්‍රස්තවාදී ක්‍රියාවක්’ යන්න අර්ථ නිරූපණය කිරීමට කටයුතු කරන ලද අතර ඒ තුළ අත්‍යවශ්‍ය සේවාවන් වලට බාධා කිරීම, ශ්‍රී ලංකා රජයට හෝ වෙනත් විදෙස් රජයක් හෝ ජාත්‍යන්තර සංවිධානයකට යම් ක්‍රියාවක් නොකර සිටීම සඳහා බල කිරීම වැනි ක්‍රියාවක් ත්‍රස්තවාදී ක්‍රියාවක් යටතට වැටෙන බවට දක්වා තිබූ අතර ඒ අනුව පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අපරාධ ගැන සඳහන් කර තිබූ වරදවල් වල වපසරිය පුළුල් කොට රජයේ ගන්නා තීරණ වලට විරුද්ධ වීම සහ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මර්දනය කිරීමට ත්‍රස්ත නීති යොදා ගැනීම සඳහා මූලික පදනම එම පනතින් යෙදීමට උත්සාහ දරන ලදී.

පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයන් රඳවා ගැනීමේ දී පැවති තත්වයන් යම් දුරකට ලිහිල් කිරීම සඳහා උත්සාහ කරන බවට වගන්ති ප්‍රමාණයක් ඇතුලත් කිරීම හැර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අධිකරණයක් වෙත ඉදිරිපත් නොකොට පුද්ගලයකු රඳවා ගැනීම සඳහා තීරණය කිරීමේ බලය විෂය භාර ඇමතිවරයාට පැවරී තිබුණ ද ප්‍රතිත්‍රස්ත පනත මගින් නියෝජ්‍ය පොලිස්පති වරයකු වෙත පැවරීමට කටයුතු කොට තිබුණි.
කෙසේ නමුත් රැඳවුම් නියෝගයක් මත රඳවා ගැනීමට හැකි උපරිම කාලය සති අටක් දක්වා සීමා කිරීම වැනි පෙර පැවති පනතේ ප්‍රතිපාදන ලිහිල් කිරීම ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පතේ දක්නට ලැබේ.

කෙසේ නමුත් එහිදී ද පොදුවේ සමාජ මතය වූයේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පනත් අවශ්‍ය නොවන බව වන අතර විශේෂයෙන්ම වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හා ජනතා සටන් මර්දනය කිරීමට ප්‍රතිත්‍රස්ත පනතේ ඇති ප්‍රතිපාදන හේතුකොටගෙන ඉස්මතු වූ සමාජ විරෝධය හේතුකොටගෙන එම පනත හකුළා ගැනීමට යහපාලන ආණ්ඩුවට සිදුවිය.

2019න් පසුව මෙරට දේශපාලනය තීරණාත්මක ලෙස වෙනස් වීම ආරම්භ වන ලද අතර දශකයක සිදුවීම් එක දිනකින් සිදු වන සිදු වන ආකාරයේ ජනතා අරගල පැන නගිමින් මහජනතාව ප්‍රජාතන්ත්‍රවාදය මහ පොළොවේ අභ්‍යාස කරන සම්ප්‍රදායක් ආරම්භ විය. රනිල් වික්‍රමසිංහ රාජපක්ෂ පිලත් සමග එක්ව ආණ්ඩු බලය පිහිටුවීමත් සමග ඔවුන් සිය පන්ති අර්ථයෙන් දුටු ප්‍රධානතම අභියෝගය වූයේ ජනතාව, බලය තමුන් වෙත නතු කර ගැනීමයි.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති බවට පත් පත්වීමෙන් පසු ඔහු වෙලාගත් භීතිය බවට පත් වූයේ අනෙකක් නොව ජනතාව රවටමින් පවත්වාගෙන ගිය ඔහුගේ පන්ති දේශපාලනය තවදුරටත් වූයේ යථාර්ථයක් නොවන තත්ත්වයකට පත්ව තිබීමයි ..ඒ අනුව ක්‍රමය වෙනස් කිරීම වෙනුවට ක්‍රමය යලි ස්ථාපිත කිරීමට රනිල් වික්‍රමසිංහට පැවති අභියෝගය වූයේ රැඩිකල් දේශපාලන ව්‍යාපාරයක් බිමෙහි නිර්මාණය වෙමින් පැවතීම වේ. ඒ පිළිබඳව බියෙන් ත්‍රස්ත වූ රනිල් වික්‍රමසිංහ විසින් සිය පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වී විවේචන ගණනාවක් ප්‍රකාශයට පත්කළ අවස්ථා ගණනාවක් දක්නට ලැබේ. අරගලය සම්බන්ධයෙන් දේශපාලන පක්ෂ සහ පුද්ගල නම් ප්‍රකාශ කරමින් විවේචන ඉදිරිපත් කිරීම, මානව හිමිකම් කොමිසමට, ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලට, නීතිඥ සංගමයට, මාධ්‍යවලට සහ මැතිවරණ කොමිසමටද පාර්ලිමේන්තුව තුල ප්‍රසිද්ධ විවේචන ඉදිරිපත් කිරීම වැනි අවස්ථා ඒ සඳහා උදාහරණ වේ.

කල්පවත්නා ආර්ථික අර්බුදයට ස්ථිර තිරසාර විසඳුමක් ලබා දෙනවා වෙනුවට මැතිවරණ ඉලක්ක කර ගනිමින් ආරගනිමින් ආර්ථික විජ්ජාවන් පෙන්වීමේ අරමුණ සහිතව ණය කන්දක ගිලී සිටින මොහොතක ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තවත් ණය මුදලක් ලබා ගැනීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුව කටයුතු කරන ලද අතර එහිදී ජනතා සුබසාධනය කප්පාදු කරන, බදු බර ඉහළ දමමින් මහජන සම්පත් විකුණමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ආධාර වෙනුවෙන් ඇප තැබීමට රනිල් රාජපක්ෂ ආණ්ඩුවට ගිවිසුම් ගත වීමට සිදු විය.
ඒ අනුව 1979 ජේ.ආර්.ජයවර්ධන විසින් පුරෝකථනය කළ හා සමානවම රනිල් වික්‍රමසිංහ අන්තර්ජාතික මූල්‍ය අරමුදල කොන්දේසි ක්‍රියාත්මක කර ගැනීමේදී ගැනීමේදී අනිවාර්යයෙන්ම නිර්මාණය වන මහජන නැගිටීම් මර්දනය සඳහා නීතියක් ගෙන ඒමට එක් පසෙකින් තීරණය කරන ලද අතර අනෙක් පසෙකින් ජේ.ආර්.ජයවර්ධන සතුරෙකු ලෙස මූර්තිමත් කළ තම ජනතාව වෙනුවට රනිල් වික්‍රමසිංහට සතුරෙකු ලෙස දර්ශනය වූයේ ගෝල්ෆේස් අරගලය වටා නිර්මාණය වූ බහුජන රැඩිකල් ව්‍යාපාරය සහ ඊට ඓන්ද්‍රීයව සම්බන්ධ වෘත්තීය සමිති හා දේශපාලන පක්ෂ වේ.

එම තත්ත්වය විද්‍යමාන වන රනිල් වික්‍රමසිංහ හා විජේදාස විජේදාස රාජපක්ෂ ගේ අලුත්ම නිර්මාණය වූයේ 2023 මාර්තු 22 දින දින ගැසට් කරන ලද ත්‍රස්ත විරෝධී පනත වේ.එකී පනතේ කෙටුම්පතේ පෙර පැවති ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත අභිබවා යමින් අතිශය මර්දනකාරී තිරස්චීන ප්‍රතිපාදන විශාල ප්‍රමාණයක් නෛතිකව හඳුන්වා දීමට ඔහු උත්සාහ දරමින් සිටී.

පනතේ පූර්විකාව ගතහොත් ආණ්ඩුවේ අදහස වන්නේ ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට ත්‍රස්තවාදය බරපතළ තර්ජනයක් වී ඇති හෙයින් සහ ශ්‍රී ලංකාවේ පුරවැසියන් මරණයට පත් පත්කිරීම සහ ඔවුන් වෙත බරපතළ තුවාල සිදු කිරීම හේතු වී ඇති හෙයින් මෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍ය හා පෞද්ගලික දේපළ වලට එමගින් බරපතළ හානි සිදු වී ජාතික සංවර්ධනය මන්දගාමී වී ඇති හෙයින් ද මෙම පනත ගෙන එන බවය. ඒ අනුව මූලික ව ම ප්‍රකාශ කළ යුත්තේ මේ මොහොතේ භූමියේ එලෙස පවතින ත්‍රස්තවාදය කුමක්ද යන්නත් රාජ්‍ය හැරුණු කොට මෙරට පුරවැසියන් ඝාතනය කරන බරපතළ තුවාල කරන සංවිධානය කුමක්ද යන්නත් රාජ්‍ය මගින් සිදු කරන දූෂණය සහ අවභාවිතය හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික දේපළ වලට හානි වීම හැරුණු කොට ජාතික සංවර්ධනයට බලපෑමක් සිදු කළ කණ්ඩායම කුමක්ද යන්නයි.

පනත් කෙටුම්පතෙහි 3 වෙනි වගන්තිය යටතේ පනත අදාළ වන ස්ථාන සඳහන් කොට ඇති අතර පොදුවේ ශ්‍රී ලංකාව තුළ සියලු භෞමික ස්ථානයක් නිර්වචනය කෙරෙන අතර රාජ්‍ය ආයතන, කාර්යාල පරිශ්‍ර, ව්‍යවස්ථාපිත මණ්ඩල, රාජ්‍ය සමාගම් යන්නද පනත අදාළ වන අවස්ථා ලෙස නම් කොට ඇත
පනතේ 3(1)(2) වගන්තිය අනුව පොදුවේ ලංකාව තුළ සහ ඉහත කී රාජ්‍ය ආයතන තුළ සිදුවිය හැකි වැරදි වලින් ත්‍රස්තවාදය පිළිබඳ වරද කුමක්ද යන්න පිළිබඳව අර්ථ ගන්වා ඇත. එහි ප්‍රධානතම වරදක් ලෙස දක්වා ඇත්තේ යම් ක්‍රියාවක් සිදු කිරීමට හෝ සිදු කිරීමෙන් වැළකී සිටීමට ශ්‍රී ලංකා ආණ්ඩුව හෝ වෙනත් යම් ආණ්ඩුවක් හෝ ජාත්‍යන්තර සංවිධානයක් වෙත බලහත්කාර යොමුකිරීම වේ. එසේම ආණ්ඩුව විසින් ඉටු කළ නොයුතු යමක් වැළැක්වීම ද ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස නම් කොට ඇත.

මේ මොහොතේ ආණ්ඩුව සිදු කරමින් සිටින ක්‍රියා කිහිපයක් ගතහොත් රාජ්‍ය ආයතන විකිණීම්, අධික බදු පැටවීම්, විදුලි බිල ඉහළ නැංවීම වැනි ක්‍රියාවන් උදාහරණ කොට ගතහොත්,එම ක්‍රියා සිදු කිරීමෙන් වැළකී සිටීමට, එම ක්‍රියා වැළැක්වීමට කටයුතු කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වන්නේ නම් වෘත්තීය සමිති රාජ්‍ය සේවකයන්, විදුලි පාරිභෝගිකයින්, වෘත්තිකයන් සියල්ල මේ මොහොතේ ත්‍රස්තවාදී ක්‍රියාවල නිරත වෙමින් සිටී.

අනෙක් අතට ජාත්‍යන්තර සංවිධානයක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආණ්ඩුව එළැඹෙන ගිවිසුමකට විරුද්ධව කිසියම් තැනැත්තෙකු සටන් කරයි නම් එම තැනැත්තා එම නිර්වචනය අනුව ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කරනු ලබයි. එහිදී එම සිදුකරන ක්‍රියාව හරහා මහජන භාවිත ස්ථානයකට, රාජ්‍ය හෝ ආණ්ඩුවේ පහසුකමකට පොදු හෝ පෞද්ගලික ප්‍රවාහන පද්ධතියකට, හානියක් සිදු කිරීම හෝ අත්‍යවශ්‍ය සේවාවකට, යටිතල පහසුකමකට, ප්‍රවාහන පහසුකමකට බාධා ඇති කිරීම ත්‍රස්තවාදී ක්‍රියාවක් වේ. එබඳු ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සඳහා වූ ජනරාශියක සාමාජිකයෙක් වීම ද ත්‍රස්තවාදී ක්‍රියාවක් වේ .

සරලව ගතහොත් අත්‍යවශ්‍ය සේවා ලෙස යම් සේවාවක් නම් කරනු ලැබූ අවස්ථාවක වෘත්තිය ක්‍රියා මාර්ගයක් ගතහොත් එය එය ත්‍රස්තවාදී ක්‍රියාවක් වේ.
මිරිහාන සිදුවීමේදී රාජ්‍ය රාජ්‍යය විසින් මැරයන් යොදවා බස් රථයක් ගිනි තැබීම සිදුකළ අතර,කොතලාවල උපාධි කඩයට විරුද්ධව මිනී පෙට්ටියක් ගිනිතැබීම මාර්ගයට හානියක් ලෙස චෝදනා ගොනු කළ අතර මින් ඉදිරියට එවැනි සිදුවීමම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්වීමට හේතු වේ. එබඳු ක්‍රියාවක් නිර්මාණය කොට එම විරෝධතාවයට සම්බන්ධ වූ ඕනම කෙනෙකු ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට තැත් කිරීම හෝ ත්‍රස්තවාදය දිරිගැන්වීම යටතේ ත්‍රස්තවාදියෙක් ලෙස නම් කළ හැකි අතර ඒ අනුව විරෝධතාවයකට, වෘත්තීය ක්‍රියාමාර්ගයකට අනියමින් හෝ සම්බන්ධ වන ඕනම කෙනෙකු ආණ්ඩුවේ අභිමතය පරිදි ත්‍රස්තවාදියෙක් බවට පත්වේ.
පනතේ 10, 11, 12 වන වගන්ති සම්පූර්ණයෙන්ම අදාළ වන්නේ සමාජ මාධ්‍ය වැනි ප්‍රකාශන අයිතීන් අමු අමුවේ අමුඅමුවේ උල්ලංඝනය කිරීමට වන අතර ඒ අනුව අන්තර්ජාලය, මුද්‍රිත මාධ්‍ය, ඉලෙක්ට්‍රොනික මාධ්‍ය හා වෙනත් දැන්වීම හරහා ත්‍රස්තවාදය දිරිගන්වන ප්‍රකාශනයක් සිදුකිරීම හා ප්‍රචාරණය ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට නම් කොට ඇති අතර ඒ අනුව යම් වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක්, විරෝධතාවක්, උද්ඝෝෂණයක් පෙර කී ආකාරයට කුමන්ත්‍රණකාරීව ‘ත්‍රස්තවාදී ක්‍රියාව’ යන නිර්වචනයට වැටෙන ආකාරයට පත්කොට එය ප්‍රචාරය කර, එය සමාජ මාධ්‍ය හරහා සංසරණය කර, ඕනෑම විස්තරයක් හෝ වාර්තාවක් කියවීම, සවන්දීම, බැලීම සඳහා යොමු කරන තැනැත්තෙකු ද ත්‍රස්තවාදියකු බවට පත්වේ.

මීළඟට රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ගේ මනදොළ සංසිඳුවා ගැනීම සඳහා වූ වගන්ති ගණනාවක් මෙහි ඇතුළත් වන අතර 82 වගන්තියේ දක්වා ඇත්තේ පොලිස්පතිවරයාගේ නිර්දේශය මත හෝ යම් විදෙස් රජයක් මගින් කරන ලද ඉල්ලීමක් මත ජනාධිපතිවරයාට යම් සංවිධානයක් තහනම් කිරීමේ හැකියාව ඇති අතර එබඳු සංවිධාන සම්බන්ධයෙන් ඕනෑම ක්‍රියාමාර්ගයක් ගැනීමට නියම කිරීමට ඔහුට බලය පවරා ඇත.

එසේම අතිශය බිහිසුණු ම තවත් වගන්තියක් වන්නේ 83 වගන්තිය වන අතර එහිදී පොලිස්පතිවරයාගේ නිර්දේශය මත යම් තැනැත්තෙකු ත්‍රස්තවාදී ක්‍රියාවක් කර ඇති බවට හෝ කිරීමට සූදානම් වන බවට ජනාධිපතිවරයාට සෑහීමකට පත්විය හැකි නම් එම තැනැත්තාගේ ගමන් බිමන් සීමා කිරීම, විදේශගත වීම සීමා කිරීම, සන්නිවේදනය සීමා කිරීම, යම් ස්ථානයකට ඇතුල් වීම වැළැක්වීම සීමා කිරීම වැනි දේ කිරීමකට ජනාධිපති වරයාට බලය හිමි වේ. එනම් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ත්‍රස්තවාදී ක්‍රියාවක් සිදු කළ හැකි කෙනෙක් ලෙස තීරණය කොට විශ්ව විද්‍යාලවලට ඇතුළු වීම වැළැක්වීමට තීරණය කිරීමට ජනාධිපතිවරයාට බලය හිමිවේ.

එසේම දැනට පවතින මහජන ආරක්ෂක පනතේ නීතිය එලෙසම පැවතිය දී ඇඳිරි නීති පැනවීම සහ පොදු ස්ථාන තහනම් ස්ථාන ලෙස නම් කිරීම, එම ස්ථානවල ඡායාරූප ගත කිරීම හා වීඩියෝ කිරීම තහනම් කිරීම වැනි දේවල් සඳහා සඳහා ජනාධිපතිවරයාට බලය ලබා දී ඇති අතර ඒ අනුව ජනතාවගේ යාම් ඊම් වලට පමණක් නොව ජනමාධ්‍ය වලට ද සම්පූර්ණයෙන්ම සීමා කිරීම් සිදුකල හැක.

එසේම පුනරුත්ථාපන අධිකාරී පනත මගින් අරගලකරුවන් පුනරුත්ථාපනය සඳහා යැවීමට උත්සහ කරන ලද අවස්ථාවේදී එයට අධිකරණය විසින් බාධා කිරීම සිදුවන ලද අතර එම තත්ත්වය මඟහරවා ගනිමින් පුනරුත්ථාපනය සඳහා ජනාධිපතිවරයාට නියෝග සෑදීමට බලය පනත මගින් ලබාගෙන ඇති අතර ඒ අනුව වෙනත් පුනරුත්ථාපන නීතියක කෙසේ සඳහන් වුවද ජනාධිපතිවරයාට තැනැත්තන්ව පුනරුත්ථාපනය කිරීම සඳහා බලය මෙම පනත මගින් ගැනීමට උත්සාහ කරයි.
එක් පසෙකින් ජනාධිපතිවරයා එලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් අභිබවා යන බලතල ප්‍රමාණයක් ජනතාවගේ අයිතිවාසිකම් නිර්දය ලෙස උල්ලංඝනය කරමින් ලබා ගන්නා අතර, නීතිපතිවරයා මගින්ද ඊට සමාන්තර ක්‍රියාවන් සිදු කරවා ගැනීමට 71 වන වගන්තියෙන් උත්සාහ දරා ඇත. එහිදී පනත යටතේ යම් වරදක් කර ඇති කෙනෙකුට අධිචෝදනා නැගීම වසර විස්සක් දක්වා කල් තැබීමට හැකි බවට පනත් කෙටුම්පතේ දක්වා ඇති අතර ඒ අනුව යම් කෙනෙකුට ත්‍රස්තවාදී චෝදනා එල්ලකොට අධිචෝදනා නගන බවට බියට පත් කොට වසර විස්සක් යන තුරු ඔහුගේ ක්‍රියාකාරීත්වය අඩපණ කිරීමට එමගින් උත්සාහ දරමින් සිටී.
අධිකරණයක් වෙත ඉදිරිපත් නොකොට රඳවා තබා ගැනීම හෝ රැඳවුම් ලබා ගැනීමේ බලය නියෝජ්‍ය පොලිස්පති වරයෙකුට ලබා දී ඇති අතර මාස 3කට කට වඩා වැඩි කාලයක් එලෙස රඳවා ගන්නේ නම් රහස්‍ය වාර්තාවක් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කොට වසරක් දක්වා රැඳවුම් නියෝගය ක්‍රියාත්මක කළ හැකිය. එබඳු රහස්‍ය වාර්තා යන්න නීතිය නොහඳුනන, නීතිඥවරුන්ට සහ අදාළ වින්දිතයන්ට ප්‍රවේශයක් නොමැති වාර්තා අදහස් වන අතර දේශබන්දු තෙන්නකෝන් වැනි කුප්‍රකට නියෝජ්‍ය පොලිස්පතිවරු වැඩි වැඩියෙන් බිහිකිරීමට උත්සාහ දරන පාලනයක් තුල වින්දිතයන්ට අත්වන ඉරණම ගැන අපට අමුතුවෙන් පුරෝකතනය කිරීමට දෙයක් නැත.

විජයදාස රාජපක්ෂ විසින් මෙම පනත සම්බන්ධයෙන් සිය මතය ප්‍රකාශ කරමින් දී ජාත්‍යන්තර සම්මුතින් හා එකඟතාව වලට ගරු කරමින් පනත නිර්මාණය කළ බව සඳහන් කළ ද දැනට එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ත්‍රස්තවාදය සම්බන්ධයෙන් සම්මත කොට ඇති ‘ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය’,යෝජනා අංක 1566, යෝජනා අංක 60/43 වැනි කිසිදු සම්මුතියක මෙබඳු මර්දනකාරී රාජ්‍ය ප්‍රතිපත්තීන් පිළිබඳව දක්වා නොමැත.
අනෙක් අතට විජේදාස රාජපක්ෂට අනුව එංගලන්තය, ප්‍රංශය වැනි රටවල ත්‍රස්තවාදය වැළැක්වීම පිළිබඳ පනත් අධ්‍යනය කොට මෙම පනත සකස් කොට ඇති බවට දක්වා තිබුනද එම රටවල්වල පනත්හි සාමාන්‍ය ජනතාව හා උද්ඝෝෂකයින් ඉලක්ක කර ගැනීමක් සිදු කොට නොමැති බව ඉතාමත් පැහැදිලිය. අනෙක් අතට බැඳුම්කර වංචාව සිදු කළ රනිල් වික්‍රමසිංහ වැනි අයට ඇවන්ගාඩ් සිද්ධියේ සැකකරුවන්ට විදේශගත වීමට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වූ විජයදාස රාජපක්ෂ වැනි අයට එංගලන්තය, ප්‍රංශය වැනි රටවල එබඳු ක්‍රියා සිදු කළ නායකයන්ට එක් දිනක් හෝ තනතුරු වලට සිටීමට නොහැකි ලෙස සකසා ඇති නීති නොපෙනෙන අතර, සාමාන්‍ය ජනතාව ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගසා මර්දනය කිරීම සඳහා පමණක් ඇති නීති හොඳින් දර්ශනය වී ඇති බව පැහැදිලි ය.
අප එක් අයෙක් හෝ නිදහස වෙනුවෙන් මිය යාමට සූදානම් නැතිනම් අනෙක් සියලු දෙනාම ඛේදවාචකයන් තුළ මිය යනු ඇතැයි තිමති නයිඩර් විසින් කළ ප්‍රකාශය තහවුරු කරමින් පුද්ගල නිදහස විනාශ කිරීමට අවම තරමින් ජන ජනමතයක් හෝ නොමැතිව උත්සාහ කරන රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ ත්‍රස්ත විරෝධී පනත පරාජය කිරීමට අප මේ මොහොතේ දිවි හිමියෙන් කටයුතු නොකරන්නේ නම් අනාගතයේ මහා ඛේදවාචකයන් තුල ජනතාවට මිය යාමට සිදුවනු ඇත.

leave a reply