Breaking News

එප්පාවල කැබිනට් ඇමැත්තෙක් ජපන් ජබර හොරකමේ

තිසර සමල්

එප්පාවල, හුරිගස්වැව ගම්මානයේ ගොවිසංවිධානයේ ගොවීන් කාබනික පොහොර සැකසීමට යොදා ගැනීමට හුරිගස්වැව වැවෙන් ඉවත් කළ ජපන් ජබර ඇතුළු අපද්‍රව්‍ය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ප්‍රභල කැබිනට් අමාත්‍යයවරයකුගේ උපදෙස් මත තලාව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු විසින් කාබනික පොහොර නිෂ්පාදන මධ්‍යස්ථානයකට හොර පාරෙන් අලෙවිකරන බවට හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධාන නියෝජිතයෝ චෝදනා කරති.

පසුගිය ජූනි මාසයේ හුරිගස්වැව මහවැලි අධිකාරිය මගින් සුද්ධ පවිත්‍ර කිරීම් ආරම්භ කර ඇති අතර, එසේ සුද්ධ පවිත්‍ර කිරීමේදී වැවේ කාලයක් තිස්සේ වැඩී තිබූ ජපන් ජබර, පාසී, පන් වර්ග ඇතුළු අපද්‍රව්‍ය වැවේ පිටියට එක්කාසු කර ඇත්තේ ගොවි සංවිධානයේ සියලු ගොවීන්ට කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ අදහසින් බව හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

එසේ එක්කාසු කළ වැවේ අපද්‍රව්‍ය කාබනික පොහොර නිෂ්පාදකයකු විසින් රුපියල් ලක්ෂ 02 කට ගොවි සංවිධානයෙන් මීට පෙර අවස්ථාවකදී ඉල්ලා සිටි නමුත් ගොවීන්ට කාබනික පොහොර සපයා ගැනීමේ අවශ්‍යතාව හේතුවෙන් එය අලෙවි නොකළ බවද ගොවි සංවිධාන නියෝජිතයින් පවසති.කෙසේ වෙතත් මීට දින දෙක තුනකට ඉහත සිට බැකෝ යන්ත්‍ර යොදා ගෙන අදාළ පුද්ගලයාගේ කාබනික නිෂ්පාදන මධ්‍යස්ථානය වෙත, ගොවි සංවිධානයේ අවසරයකින් තොරව බලහත්කාරයෙන් වැවෙන් ඉවත් කළ අපද්‍රව්‍ය රැගෙන යන බවට ගොවි සංවිධාන නියෝජිතයෝ පවසති.

මේ සම්බන්ධයෙන් විමසීමට ගොවි සංවිධාන නියෝජිතයින් පිරිසක් බැකෝ යන්ත්‍ර යොදා ගෙන වැව් පිටියෙන් වැවේ අපද්‍රව්‍ය ගෙන යන පිරිස හමුවට ගිය අතර,

එහිදී ගොවීන් ඔවුන්ට කියා සිටියේ මේක ඔයාලගේ තනි තීරණයට කරන්න දෙන්න බෑ, මේවා ගමේ සම්පත්, අපි සීතලේ වෙව්ල වෙව්ල ගොඩට ගත්ත දේවල්, අපි කිසි කෙනෙක් දන් නැතිව ගෙනියන්න බෑනේ.අපි මේ ටික ගොවි සංවිධාන 03 ක ගොවීන්ට බෙදා ගන්න හිටියේ, මේ විදිහට අපේ ගමේ පොදු සම්පත් එක එක්කෙනා පැහැරගෙන යයිනේ.අපි කොහොමද පොහොර හදන්නේ මේ ටික අරන් ගියහම.

එම ස්ථානයේ සිටි ඉඩම් කොමිෂන් සභාවේ කම්කරුවෙකු යැයි කියා ගත් පුද්ගලයකු කියා සිටියේ ඉන්න මම බළධාරියෙක් සම්බන්ධ කරන්නම් යනුවෙනි.අනතුරුව දුරකථන ඇමතුමක් ලබා ගෙන ගොවි නියෝජිතයින් හමුවට පැමිණ කියා සිටියේ, අපි රජයෙන් පත් කරලා ඉන්නේ ගෝඨාභය මහත්තයානේ කොම්පෝස්ට් ව්‍යාපෘතිය පටන් අරන් තියෙන්නේ,එතුමාගේ වැඩ කොටසක් තමයි මේක.මේක ජනාධිපතිතුමාගේ රාජකාරියක්.

ගොවි සංවිධාන නියෝජිතයෝ- ඒකට අවසරයක් ගන්න එපැයි.බොරු නොකියා මේ මැෂින් අරගෙන යන්න.අපේ ගමේ අපේ සම්පත්, දවස් ගණන් මහන්සි වෙලා ගොඩදාපුවා හොරකං කරන්න එපා.

අනතුරුව බැකෝ යන්ත්‍රය අසලට ගිය ගොවි සංවිධාන නියෝජිතයෝ කියා සිටියේ – මෙම කටයුත්ත නතර කරන ලෙසයි.අපිට රජයෙන් කොම්පෝස්ට් හදන්න කියලා තියෙන කොට ඔයාලා අපේ සම්පත් අරන් ගියහම අපිට මොනවද ඉතුරු වෙන්නේ.

බැකෝ යන්ත්‍ර හිමිකරු එහිදී කියා සිටියේ අපිට මහඇමතිතුමා මේක පටවන්න කියන කොට අපි මොකද කරන්න ඕන, චන්ද්‍රසේන ඇමතිතුමා තමයි කිව්වේ.මට ඇවිත් කිව්වොත් පටවනවා.චන්ද්‍රසේන ඇමතිතුමාගේ නියෝගයකට අනුව තමයි මම පටවන්නේ.මට මේක කරන් යන්න කිව්වේ තලාව ප්‍රාදේශීය සභාවේ අමිල මන්ත්‍රීතුමා, මට පඩි ගෙවන්නේ එයා යැයි පැවසීය.

අනතුරුව අදාළ ස්ථානයට පැමිණෙන ට්‍රැක්ටර් රථ වලින්ද විමසූ විට ඔවුන් කියා සිටියේ මෙවා නල්ලච්චිය ප්‍රදේශයේ කාබනික පොහොර නිෂ්පාදනාගාරයට ප්‍රවාහනය කරන බවත්, ඒ සදහා තලාව ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමිල බංඩාර මුදල් ගෙවන බවත් පැවසීය.

අනතුරුව ගොවි සංවිධාන නියෝජිතයින් කියා සිටියේ වහාම අදාළ කටයුත්ත නතර කරන ලෙසත්, මේ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට හා මහවැලි අධිකාරියට පැමිණිලි කරන බවත්ය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධානයේ උපසභාපති ඩී.පී කපුරුබංඩා ගොවි මහතා,

මහවැලිය මගින් අපේ වැවේ අපද්‍රව්‍ය ඉවත් කරන්න කියලා රුපියල් ලක්ෂ 20 ක් ලැබුණා, ඒ මුදලින් මේ වැවේ සම්පූර්ණ වැඩ නිම කර ගන්න බෑ, ඒ නිසා අපේ ගමේ අයගේ ශ්‍රම දායකත්වයත් මත වැවේ තිබුණ ජපන් ජබර ඇතුළු පාසි ඉවත් කර ගත්තා, අපි ඒ අපද්‍රව්‍ය වැව් පිටියට ගොඩ ගැහුවා.අපි මේ ජපන් ජබර ඇතුළු අපද්‍රව්‍ය ජනාධිපතිතුමාගේ සංකල්පයට අනුව කාබනික පොහොර නිෂ්පාදනය සඳහා අපේ ගොවි සංවිධානය ඇතුළු ගොවි සංවිධාන 03 ක සෑම ගොවියකුටම ට්‍රැක්ටර් ලෝඩ් 05 ගානේ මේක බෙදා ගන්න සූදානම් වෙලා හිටියේ, එහෙම ඉද්දී පසුගියදා (16) ඉඳලා බැකෝ යන්ත්‍රයක් යොදා ගෙන ට්‍රැක්ටර් මගින් අරන් යනවා.මේවා කවුරු අරන් යනවාද කියලා දන්නේ නෑ,අපි ඇහුවම මේ අය කියනවා ජනාධිපති කාර්ය සාධක බලකායෙන් මේවා අරන් යන්නේ කියලා.අපි කවුරු හරි මේකට විරුද්ධ වුණොත් අත්අඩංගුවට ගන්නවා කියලා මේ අය කියනවා.

අපේ ගමේ ගොවියන්ට කාබනික පොහොර හදන්න තියෙන ටික තමයි මේ අරගෙන යන්නේ, ගමේ ගොවියෝ පොහොර හදන්නේ මොනවයින්ද? මේ වැවෙන් ඉවත් කළ ජපන් ජබර ඇතුළු අපද්‍රව්‍යය ගොඩ දැන් මේවා අදින තැනට රුපියල් ලක්ෂ දෙකකට ඉල්ලුවා අපෙන්.අපි ඒක දුන්නේ නෑ ගොවි සංවිධානය, අපේ ගොවීන්ට මේවා ඕන නිසා.හැබැයි දැන් ඒ මනුස්සයාම ගොවි සංවිධානයෙන් අවසරයක් නැතිව අදිනවා.මේක කවුරු හරි මැදිහත් වෙලා විකුණනවා කියන සැකය අපිට තියෙනවා.බැකෝ එකට මුදල් ගෙවනවා කියන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයක්.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධානයේ භාණ්ඩාගාරික බී.එච් පියරත්න

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මේ කාබනික පොහොර සංකල්ය ගෙන ආවම, අපිත් බොහොම සන්තෝෂයෙන් ඒකට එකතු වෙන්න සූදානම් වෙලා ඉද්දී හදිස්සියේම මේ ට්‍රැක්ටර් ගෙනල්ලා දින දෙක තුනක ඉඳන් අපේ වැවේ අපද්‍රව්‍ය ටික අදිනවා.අහපුවාහම හරි විස්තරයක් කියන්නෙත් නෑ,එස්.එම් චන්ද්‍රසේන ඇමතිතුමා එයාලට දන්වලා තියෙනවාලු මේ ටික අදිනන් කියලා ඒ වැඩ කරන අය කියනවා. ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් එයාලට සල්ලි ගෙවන්නේ කියලා කියනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ හුරිගස්වැව හා රාජල්ලේගම ගොවි සංවිධානයේ ඇළ නියෝජිත ඩී.පී ගුණරත්න දිසානායක මහතා,

අපේ ගමේ බාල, මහළු හැමෝම වැවට බැහැලා ඇදපු අපද්‍රව්‍ය ටික කාබනික පොහොර හදන්න කියලා කොහෙවත් නැති අය අරගෙන යනවා.මේක අපිට කොහෙත්ම කරන්න දෙන්න බෑ. අපේ ගමේ ගොවියන්ට කාබනික පොහොර හදාගන්න තියෙන මේ ටික අපිට බේරලා දෙන්න කියලා අපි කියන්නේ.තලාව ප්‍රාදේශීය සභාවේ අමිල බංඩාර මන්ත්‍රීතුමායි, එස්.එම් චන්ද්‍රසේන ඇමතිතුමයි කිව්වා කියලා තමයි අපි මහන්සි වෙලා ගොඩට දාගත්ත මේ වැවේ අපද්‍රව්‍ය ටික අපෙන් බලෙන් අරගෙන යන්නේ. මුලින් මේ කාබනික පොහොර හදන කෙනෙක් රුපියල් ලක්ෂ 02 කට මේ අපද්‍රව්‍ය ටික ඉල්ලුවා.අපි ගොවි සංවිධානය දෙන්න බෑ කිව්වා.දැන් ඒ කෙනාට තමයි මේ බලහත්කාරයෙන්ම අරගෙන යන්නේ.ගොවි සංවිධානයෙන් කිසිම ඉල්ලීමක් කරන්නෙවත් නැතිව මේ අරගෙන යන්නේ යැයි පැවසීය.

leave a reply