Day: October 7, 2021

  • ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම ගැන තවත් තොරතුරු එලියට

    ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම ගැන තවත් තොරතුරු එලියට

    ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිදුවීමට එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ නිලධාරීන්, ඖෂධ ජාවාරම්කාරයින් මෙනම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ නිලධාරින්ද සම්බන්ධ බව රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් අද (06) අධිකරණය හමුවේ පැවසුවා.

    ඔහු මේ බව සඳහන් කළේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඩිජිටල් දත්ත පද්ධතියේ දත්ත මැකියාම සම්බන්ධයෙන් වු නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද පෙරවරුවේ කැදවූ අවස්ථාවේදීයි.

    එහිදී අදාළ සිදුවීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින එපික් ලංකා ටෙක්නොලොජීස් සමාගමේ මෘදුකාංග ඉංජිනේරුවරයාට ඇප ලබාදෙන ඔහු වෙනුවෙන් පෙනී සිටි ලෙස ජනාධිපති නීතිඥ සාලීය පීරිස් මහතා ඉල්ලීමක් කළා.

    ස්වාමිනි මේ නඩුව සම්බන්ධයෙන් මාගේ සේවාදායකයාගේ මතය වන්නේ එම දත්ත අතපසුවීමකින් මැකුණා කියන එක. පැමිණිල්ල දක්වන පරිදි එය මැකුවාද නැත්තම් අතපසුවීමකින් මැකුණාද කියන එක නඩු විභාගයක් අවසානයේ පරිගණක විශේෂඥායින් විසින් කළ යුතු දෙයක්. නමුත් මේ අවස්ථාවේ කළ යුත්තේ ඇප සලකා බැලීම. පරිගණක අපරාධ පණත යටතේ ඔහුට විරුද්ධව ගොනුකර ඇති චෝදනා ඇප දිය හැකි වැරදි. පොදු දේපල පණත යටතේ චෝදනා ගොනුකර තිබුණාට දත්ත කියන ඒවා චංචල දේපලවලට වැටෙන්නේ නැහැ. ඒ නිසා මෙම සිදුවීමෙන් මහජන කැලඹිමක් ඇතිවී නොමැති බැවින් සහ මෙම සැකකරුට සාක්ෂිකරුවන් කෙරෙහි බලපෑම් කළ නොහැකි බැවින් ඔහුට ඇප ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.

    කෙසේ වෙතත් සැකකරුට මෙම අවස්ථාවේ ඇප ලබාදීමට තමන් විරුද්ධ බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරීස් මහතා පැවසුවා.

    “ස්වාමිනි උගත් ජනාධිපති නීතිඥතුමා කියනවා මේ සිද්ධියෙන් මහජන කැලඹිමක් ඇතිවුනේ නැහැ කියලා. වසංගතයක් පවතින අවස්තාවක රටතුළ විශාල ඖෂධ ඉල්ලුමක් පවතිද්ධි ඊට සම්බන්ධ දත්ත පද්ධතියක දත්ත මැකීම තුළ කොහොමද මහජන කැලඹිමක් ඇති නොවුනා යැයි කියන්නේ. ව්‍යවස්ථාදායකයේ පවා මේ ගැන කතා වෙනවා. ස්වාමිනි විත්තිය කියන්නේ මේ දත්ත මැකිම අතපසුවීමක් කියලා. නමුත් මොහු බබෙක් නෙමේ. මොහු පරිගණක මෘදුකාංග ඉංජිනේරුවරයෙක්. ඒ වගේම මොහු මෙම ආයතනයේ රැකියාවට ඒමට ප්‍රථම වසර 03ක් නාවික හමුදා නිලධාරියෙකු ලෙසත් කටයුතු කර තිබෙනවා. එවැනි පරිණත පුද්ගලයෙකුගෙන් මෙවැනි අතපසුවීමක් විය හැකිද? අනික ස්වාමිනි දත්ත ලේඛන 50ක්, 60ක් මැකුණානම් අතපසුවීමක් කියලා හිතන්න තිබුණා. නමුත් දත්ත ලේඛන ලක්ෂ 11ක් මැකීම අතපසුවීමක් වෙන්න බැහැ. ඔහු එම ලේඛන සියල්ල එකට එකතු කරලයි විධානය දීලා තියෙන්නේ මකන්න. පරිගණකය කිහිප වරක්ම එය ප්‍රතික්ෂේප කරද්දිත් මොහු තුන්පාරක් විධාන දීලා තියෙනවා දත්ත මකන්න. ඒ වගේම මේ ජනාධිපති නීතිඥතුමා කියනවා මේක පොදු දේපල ගණයට වැටෙන්නේ නැහැ කියලා. මම අහන්න කැමති මේක පොදු දේපලක් නොවේ කියන්නේ කොහොමද ? මේ දත්ත කියන්නේ රජයේ දේපළ. මේ සැකකරු එහි පරිපාලකවරයා විතරයි. ඔහුට පරිපාලකවරයා හැටියට දත්ත පද්ධතියට ප්‍රවිශ්ඨ වෙන්න නිත්‍යානුකූල අයිතියක් තිබ්බා කියලා ඔහුට බැහැ එම දත්තවලට අනර්ථයක් කරන්න. දත්ත ලේඛන ලක්ෂ 11ක් කියන්නේ භෞතිකව බැලුවොත් මේ අධිකරණ ශාලාවම පුරවන්න පුළුවන්. එහෙම බැලුවොත් මේක හරියට අධිකරණයක තිබ්බ නඩු භාණ්ඩ ගිනි තිබ්බා වගේ වැඩක්. සැකකරු අත්අඩංගුවට අරගෙන විමර්ශන කරලා තාම දවස් 07යි ගතවෙලා තියෙන්නේ. ඒ නිසා මේ අවස්ථාවේදි මෙම සැකකරුට ඇප දීමට පැමිණිල්ල විරුද්ධයි.”

    එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන පිළිබඳ වැඩිදුර බී වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු පැහැදිලි කළා.

    “ස්වාමිනි අපි විමර්ශන කරන්නේ ජුලි මාසේ 09 වැනිදා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ දත්ත මැකීම ගැන පමණක්ම නෙමේ. මේක මහා කුමන්ත්‍රණයක්. මීට පෙරත් මෙම දත්ත පද්ධතියේ දත්ත මැකීම්, සැගවීම් වෙලා තියෙනවා. අපි දැනට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙන්නේ මෙම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සහ සහකාර ඉංජිනේරුවරයා විතරයි. නමුත් මේකට රාජ්‍ය සේවකයෝ, කූඨ ව්‍යාපාරිකයෝ වගේම ජාතික ඖෂධ නියාමක අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින්ගේත් සහය ලැබී තිබෙනවා. මේක වෙන්නේ මෙහෙමයි ස්වාමිනි. ගුණාත්මක බවින් යුත් ඖෂධ මෙරටට ගෙන්වන්න නවක සමාගමක් ටෙන්ඩර් ඉල්ලුම්පතක් ඉදිරිපත් කරපුවාම ඒ ලේඛන ගැන තොරතුරු ඖෂධ නියාමන අධිකාරියේ ඇතැම් නිලධාරින්ගෙන් ජාවාරම්කරුවන්ට යනවා. එවිට ඖෂධ මාෆියාවේ ජාවාරම්කරුවන් මෙම සැකකරු හරහා අලුත් ටෙන්ඩර් ඉල්ලුම්පත් මකා දමනවා. එවිට ඖෂධ නියාමන අධිකාරියට පෙන්වන්නේ පරණ ජාවාරම්කරුවන්ගේ ටෙන්ඩර් අයැදුම්පත් විතරයි. ඒ කියන්නේ පරණ ජාවාරම්කරුවන්ටම ටෙන්ඩරය යනවා. හොඳ ගුණාත්මකබවින් යුත් බෙහෙත් මේ රටට ගෙන්වන්න අලුත් සමාගම්වලට පැරණි ජාවාරම්කරුවන් ඉඩදෙන්නේ නැහැ ස්වාමිනි. ලක්ෂ 11ක් වැනි විශාල දත්ත ප්‍රමාණයක් එකවර මකන්න මේ සැකකරුට විශාල උත්තේජනයක් ලැබෙන්න ඕනේ. අපි ඒ ගැන සොයනවා. මෙම සැකකරු එපික් ලංකා සමාගමෙන් ඉල්ලා අස්වී වැල්ලවත්ත ප්‍රදේශයේ ඩිජිටල් සොලියුෂන් නැමැති පුද්ගලික සමාගමකට එක්වීමට සුදානම්ව සිටියදිත් එපික් ලංකා සමාගම ජාතික ඖෂධ අධිකාරියේ දත්ත පද්ධතියේ පරිපාලන වගකීම මෙම සැකකරු වෙතම පවරා තිබීම බරපතල සැකයකට තුඩු දී තිබෙනවා. ඒ වගේම මේ ක්‍රමන්ත්‍රණයට සම්බන්ධ ජාතික ඖෂධ අධිකාරියේ අභ්‍යන්තර නිලධාරින් ගැනත් අපි විමර්ශනයක් ආරම්භ කරලා තියෙන්නේ.”

    දෙපාර්ශවයෙන් ඉදිරිපත් වු කරුණු සලකා බැලු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා සැකකරුට ඇපලබාදීම ප්‍රතික්ෂේප කළ අතර සැකකරු ලබන ඔක්තෝම්බර් 18 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.

  • විසර්ජන පනත –  අධ්‍යාපනයට බිලියන 1.1ක් පමණක් වැඩි කරද්දී මුදල් අමාත්‍යංශයට බිලියන 28ක් වැඩිපුර

    විසර්ජන පනත – අධ්‍යාපනයට බිලියන 1.1ක් පමණක් වැඩි කරද්දී මුදල් අමාත්‍යංශයට බිලියන 28ක් වැඩිපුර

    2022 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පාර්ලිමේන්තුවට අද (07) ඉදිරිපත් කරනු ලැබුවා.

    ඒ අනුව ලබන වසර සඳහා රජයේ මුළු වියදම රුපියල් බිලියන 2505.3 ක් වන අතර එය මෙම වර්ෂයට සාපෙක්ෂව රජයේ වියදම රුපියල් බිලියන 33කින් අඩු කිරීමක්.

    මෙවර විසර්ජන පනතෙන් ආරක්ෂක, මුදල් සහ අධ්‍යාපන වැය ශීර්ෂය වැඩි කර ඇති අතර ජනාධිපති කාර්යාලයේ, මහා මාර්ග සහ සෞඛ්‍ය වැයශීර්ෂ අඩු කර තිබෙනවා.

    විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසර සඳහා වන රජයේ මුළු වියදම ලෙස ඇස්තමේන්තුගත කර ඇත්තේ රුපියල් බිලියන 2505.3 ක වියදමක්.

    එය මෙම වසරේ රජයේ වියදම වු රුපියල් බිලියන 2538 ට සාපේක්ෂව රුපියල් බිලියන 33කින් රජයේ වියදම අඩු කිරීමක්.

    ඇස්තමේන්තු ගත රජයේ මුළු වියදමින් රුපියල් බිලියන 1,776 කට වැඩි ප්‍රමාණයක් දැක්වෙන්නේ පුනරාවර්තන වියදම් ලෙසයි.

    පොදු සේවාවන් සඳහා වෙන්කර ඇති මුළු මුදල රුපියල් බිලියන 12.6ක්.

    ඊට ජනාධිපති කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාල, අධිකරණ, පාර්ලිමේන්තුව සහ කොමිෂන් සභා යන ආයතනවල වියදම් ද ඇතුළත්ව තිබෙනවා.

    එළඹෙන වසර සඳහා ජනාධිපති කාර්යාලයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 2.78ක් ලෙස දක්වා ඇති අතර එය මෙම වසරට සාපේක්ෂව ජනාධිපති කාර්යාලයේ වියදම රුපියල් බිලියන 6.6කින් අඩු කිරීමක්.

    එළඹෙන වසර සඳහා වන විසර්ජන පණත් කෙටුම්පත තුළින් වැඩිම මුදලක් වෙන්කර ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සඳහායි.

    මෙම වසරේ ආරක්ෂක අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 355ක් ලෙස දැක්වුණු අතර එළඹෙන වසර සඳහා එය රුපියල් බිලියන 373ක් දක්වා ඉහළ දමා ඇත්තේ මෙම වසරට සාපේක්ෂව ආරක්ෂක කටයුතු සඳහා රුපියල් බිලියන 18ක් වෙන් කරමින්.

    ආරක්ෂක අමාත්‍යාංශයට පසු වැඩිම වැය ශිර්ෂයක් වෙන්ව ඇත්තේ රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයටයි.

    එම අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 286.7ක් වන අතර ඉන් බිලියන 286ක් පුනරාවර්තන වියදම්.

    එම අමාත්‍යාංශයේ වැය ශිර්ෂය මෙම වසරට සාපේක්ෂව ලබන වසරේදි රුපියල් බිලියන 15කින් වැඩිකර තිබෙනවා.

    එමෙන්ම එළඹෙන වසර සඳහා මුදල් අමාත්‍යාංශයේ වැය ශිර්ෂය ලෙස රුපියල් බිලියන 185.9ක් වෙන්කර තිබෙනවා.

    එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 28ක වැඩිවීමක්.

    මෙවර විසර්ජන පනත් කෙටුම්පතින් මහාමාර්ග අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 250.1ක් වන අතර ඉන් බිලියන 250ක්ම ප්‍රාග්ධන වියදම්වනවා.

    ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසරේ මහාමාර්ග අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 80කින් අඩුකර තිබෙනවා.

    ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 127.6ක්.

    ඒ අනුව මෙම වසරට සාපේක්ෂව ලබන වසර සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය රුපියල් බිලියන 1.1 කින් ඉහළ දමා තිබෙනවා.

    එමෙන්ම එළඹෙන වසර සඳහා ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතේ සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 153.5ක්.

    එය මෙම වසරට සාපේක්ෂව රුපියල් බිලියන 06ක පමණ අඩුවීමක්.

    ලබන වසරේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා වෙන්කර ඇති මුදල රුපියල් බිලියන 243.9ක්

    එය මෙම වසරට සාපේක්ෂව එම අමාත්‍යාංශ වැය ශිර්ෂයේ රුපියල් බිලියන 03ක වැඩිවීමක්.

    මේ අතර අද පැවති පක්ෂ නායක රුස්වීමේදි 2022 වර්ෂය සඳහා වන අයවැය නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම දෙසැම්බර් මස 10 වනදා සිදු කිරීමටත් තීරණය වි තිබෙනවා.

  • “වෙනසකට මගක්- Pathway to Change”

    “වෙනසකට මගක්- Pathway to Change”

    පැෆ්රල් සංවිධානය ශ්‍රී ලංකාවේ කාන්තා දේශපාලන ක්‍රියාකාරිත්වය ඉහළ නැංවීම අරමුණු කරගනිමින් විශේෂයෙන්ම පාර්ලිමේන්තු, පළාත් සභා හා පළාත් පාලන ආයතන තුළ කාන්තා නියෝජනය ප්‍රමාණාත්මකව හා ගුණාත්මකව ඉහළ නැංවීම ස|හා පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීමට සැළසුම් කර ඇත. එහි පළමු අදියර ස|හා දිවයිනේ සියලුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි දැනට දේශපාලනයේ නියැලී සිටින හෝ නියැලීමට අපේක්ෂා කරන නායකත්ව ගුණාංගවලින් හෙබි සහ යම් මහජන පදනමක් සහිත කාන්තාවන් 100 දෙනෙකු තෝරා ගැනීමට බලාපොරොත්තු වෙමු.

    මෙම පාඨමාලාවේ පළමු අදියරේදී මෙසේ තෝරා ගන්නා පිරිසට න්‍යායාත්මක දැනුම හා ප්‍රායෝගික දැනුම” දේශීය විදේශීය සම්පත් දායකයින් හරහා ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ යටතේ රාජ්‍ය පාලනය,මූලික ගිණුම්කරණය, කළමනාකරණය,මූලික නීතිය, මැතිවරණ ක්‍රම,තාක්ෂණ භාවිතය,මාධ්‍ය භාවිතය, මහජන සම්බන්ධතා,පෞරුෂ ව¾ධනය ,කථනය,මැතිවරණ ප්‍රචාර සැළසුම්කරණය ආදී දේශපාලඥයෙකුට අවශ්‍ය වන ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුම ලබාදීමට නියමිත ය. මෙලෙස දැනුවත් කිරීමෙන් අනතුරුව ඔවුන් දේශපාලනයට ප්‍රවිෂ්ඨ කිරිමට අපි බලාපොරොත්තු වෙමු.

    සිංහල හා දෙමළ යන භාෂා මාධ්‍ය තුළින් ක්‍රියාත්මක කිරීමට යෝජිත උක්ත වැඩසටහන ස|හා ඉහත සුදුසුකම් සපුරණ කාන්තාවක් නම් ඔබට ද අයදුම් පතක් ඉදිරිපත් කිරී‍‍මේ හැකියාව ඇත. එලෙස අප වෙත ලැබෙන අයදුම් පත්වලට අනුව විධිමත් සම්මුඛ පරීක්ෂණ වට කිහිපයකින් අනතුරුව තෝරා ගන්නා කාන්තාවන් 100 දෙනා මුල් අදියරේදී මාධ්‍ය හරහා මුළු දිවයිනටම හදුන්වාදීමේ වැඩපිළිවෙලක් ඉදිරියේදී සිදු කරන අතර වසර අවසානයේ නිසි පරිදි පාඨමාලාව අවසන් කරනු ලබන සියලුම දෙනාට සහතික පත් ප්‍රධානයත් , අවසානයේදී දේශපාලඥයෙකු වීමට සුදුසුකම් සපුරන කාන්තාවන් දේශපාලන පක්ෂවලට හදුන්වාදීමටත් අපි අපේක්ෂා කරමු.

    එබැවින් මෙම කාන්තාවන් 100 දෙනා අතරට ඔබත් එක්වීමට නම් පහත සදහන් වෙබ් අඩවි හරහා ඔබට අවශ්‍ය අයදුම් පත ලබා ගත හැකි අතර නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම් පත2021 ඔක්තෝබර් 20 වන දිනට පෙරපහත සඳහන්, වට්ස්ඇප් හෝ තැපැල් මගින් අප වෙත යොමු කළ යුතුය.

     

    WEB : http://paffrel.com/ /FBPAGE: https://www.facebook.com/Paffrel.Organization

    TWITTER : https://twitter.com/PAFFREL1 / FB PAGE: https://www.facebook.com/cleanpolitics.lk

    FB GROUP : https://www.facebook.com/groups/paffrelorganization

    Email : [email protected]

    වැඩිදුර තොරතුරු විමසීම සඳහා – සිංහල මාධ්‍යය 0704232688 / දෙමළ මාධ්‍යය – 0767873144

  • හෙජාස් යනු අපෙන් එකෙකි

    හෙජාස් යනු අපෙන් එකෙකි

    මේ ගෙවෙන මොහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය මා විසින් හදුන්වා දෙනු ලබන්නේ සංකේතාත්මක සහ ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වයේ සංයෝගයක් ලෙසය. තිස් අවුරුදු යුද්ධක් අවසන් ව 2009 දී හිටපු ජනාධිපති , වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජනතා ස්වාධිපත්‍ය ආයතනය වූ පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ  ත්‍රස්තවාදීන් ට එදිරි යුද්ධය අවසන් බවත් ,එම මොහොතේ සිටම එක් පාර්ලිමේතුවක්, එක් ආණ්ඩු පරිපාලනයක් තුල රටේ පාලනය පවතිනු ඇති බවය (https://reliefweb.int/report/sri-lanka/sri-lankan-president-formally-announces-end-civil-war). එයට ඔල්වරසන්  දෙමින් විදි බට ජනයා, එම දේශපාලනික ආකෘතිය පිළිගනිමින් කිරිබත් උයා, රතිඤ්ඤ පත්තු කල බව අත් දැක්කෙමු සහ එය ඉතිහාසයේ සඳහන් විනි. නමුත් ත්‍රස්තවාදී නොඑසේනම් ත්‍රාසය (terror)භාවිතා කරමින් පාලනය ගෙන යාමේ යුගය අවසන් වීම 2009 දී නිශ්චිතව ම සිදු වුයේ ද යන්න නැවත සිතා බැලිය යුතුය. මන්දයත් එම සිතා බැලීම සමඟ මේ මොහොතේ ශ්‍රී ලංකා  දේශපාලනයේ ස්භාවය වටහා ගැනීමට හැකිවන බැවිණි .

    2019 පාසුකු ඉරුදින සිදුවන ත්‍රාසය හරහා දේශපාලනය කිරීම හෙවත් අන්තවාදී  ආගමික සාමුහිකය නියෝජනයක් විසින් කතෝලික දේවස්ථාන වෙත මරාගෙන මැරෙන ප්‍රහාර  මාලාවක් එල්ල කරන ලදී. මෙම ප්‍රහාර වෙත ප්‍රතිචාර දක්වමින්, සංවිධානාත්මක කණ්ඩයාම් කිහිපයක් විසින් පශ්චාත් පාසුකු ප්‍රහාර මාලාවක් ද සිදුකරන ලදී. මුස්ලිම් වීම හේතුවෙන් ම මෙම ප්‍රහාර මාලාවේ වින්දිතයන් බවට බොහෝ දෙනෙකු පත් විය. ඒ වන විට ද ත්‍රාසය සමඟ මුසු වූ මුස්ලිම් විරෝධී වාර්ගික දේශපාලන දෘෂ්ටිවාදය දෛනික ජීවිතය තුල මුණ ගැසුණි. වඳ පෙති, වඳ ඇඳුම් , පිළබඳ විද්‍යාත්මක ව සනාථ නොකරන ලද ප්‍රකාශන හරහා මෙරට දෛනික ජීවිතයේ සහජිවන පැවැත්ම තර්ජනයකට ලක්විය. එහිදී රාජ්‍ය හෝ  අධ්‍යපන, සෞඛ්‍ය හෝ මාධ්‍ය වැනි එහි අනුබද්ධ ආයතන ද නිහඬ භූමිකාවක් පවත්වා ගනිමින් මෙම ත්‍රාසය සමඟ වූ දේශපාලනය තවදුරටත් වර්ධනය වීමට අවකාශය සලසන ලදී. මෙහි දැඩිම අවස්තාවක් නම් සිංහල -බෞද්ධ මවුවරුන් වන්ද්‍යකරණය කිරීම නැමති  පදනම් විරහිත චෝදනාවක් එල්ලවන අවස්ථාවේදී ද සෞඛ්‍ය සේවා වෘත්තීයවේදීන්  ඒකීය ස්ථාවර පැහැදිලි කිරීමක් සිදු නොකිරීමය .

    මෙවැනි පසුබිමික දේශපාලනය වර්ධනය වීම මා විසින්  හදුන්වා දෙනු ලබන්නේ ත්‍රාසය මතුකර එයින් ස්ත්‍රී / පුරුෂ පුරවැසියා ආරක්ෂා කිරීමේ පරම හැකියාව සහිත වන ශක්තිමත්, බලය කේන්ද්‍රිය ආණ්ඩුවක් බිහිවීමත් , එම ආණ්ඩුව විසින් නම් කරන ඕනෑම අවස්ථාවක් , සිදුවීමක් ‘අනාරක්ෂණයෙන් ආරක්ෂාවීම’ යන ලේබලය තුලට ගෙන ඒමත් සමඟ පුරවැසියා ගේ නිදහස සහ අයිතීන් රාජ්‍ය ආරක්ෂාව නමැති මකර කට තුල ගිලියාමේ ගැටළුවයි. මේ අනුව මේහොතේ ශ්‍රී ලංකාවේ දේශපාලනය රාජ්‍ය ආරක්ෂාව නමැති ‘වේලය’ (veil) තුල සැඟවෙන අතර  එම වේලය මගින් ව්‍යුහාත්මකව සහ සංකේතාත්මකව සිදුවන ප්‍රචණ්ඩත්වයන් වසා දමා තිබෙන බව මගේ යෝජනාව වේ.  එදා ත්‍රාසයෙන් තොරව ජිවත් වීමක් අපේක්ෂා කරමින් විදි බටව තම සතුට ප්‍රකාශ කළ පුරවැසියා ගේ (ස්ත්‍රී / පුරුෂ ) සිට,මුස්ලිම් වර්ජනය සිදුකරමින් සිංහල -බෞද්ධ රාජ්‍යක් වෙනුවෙන් සිහින මැවූ සියලු පාර්ශව රාජ්‍ය ආරක්ෂාව නමැති වේලය තුල සිදුවන ප්‍රචණ්ඩකාරී මර්ධනය ට මුහුණ දෙමින් සිටි.

    එහි එක් අඛ්යානයක් නම් හෙජාස් හිස්බුල්ලාය. හිස්බුල්ලා යන නාමය ශ්‍රවණය වූ විට ත්‍රාසයෙන් ආරක්ෂා වීම වෙනුවෙන් වේලයෙන් වසා මර්ධනය පවත්වා ගනු ලබන ආණ්ඩුව වෙත සහයෝගය දීමට රුචි බවට වූ ජන විඥානයක් ගොඩ නැගීමේ ඛේදවාචකය තව දුරටත් පැහැදිලි කිරීම වෙනුවෙන් මෙය ලියාතබමි.

    “ශ්‍රී ලංකා නීතිවේදීන් ගේ සංගමයේ නිලවරණය වෙත සාලිය පිරිස් ඉදිපත් වන විට එල්ල වූ ප්‍රධාන චෝදනාව නම්, හෙජාස් හිස්බුල්ලා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමය. සාලිය කලේ ඔහුගේ වෘත්තීය. හැබැයි එම වෘත්තීය පෙනී සිටීම පවා වාර්ගික ප්‍රවේශයකින් පෙන්වා දෙමින් නීති වේදීන් ගේ මැතිවරණයේ දී සාලිය වෙත ද්‍රෝහිත්වයක් ආරෝපණය කර තිබුණා  ” යැයි මාගේ මිතුරෙකු වූ දුලාන් දසනායක පැවසුවේ හෙජාස් පිලිබඳ කරන ලද කරුණු සොයා බැලීමකදීය.  මෙම අඛ්යානය හරහා පැහැදිලි වූ කරුණ නම් , හෙජාස් වෙනුවෙන් නීතිවෙදී සහය ලබා දීමද රාජ්‍ය ආරක්ෂාව තර්ජනයකට ලක් කිරීමක් ලෙස අර්ථ කථනය කරමින් යම් සමුහයක් දේශපාලන බලය ලබා ගැනීම වෙනුවෙන් ප්‍රයන්තන දැරීම ම  ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරා දේශපාලනයේ කෙන්ද්රියම සාධකයක් වීමය.

    වාර්ගික අනෙකා රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් වීම යන දේශපාලන විඥානය තව දුරටත් තේරුම් ගත හැකිවන්නේ , හෙජාස්ව අත්අඩංගුවට ගැනීමේ දී අනුගමන කරන ලද අශිෂ්ටචාර ක්‍රියා පටිපාටිය විමර්ශනයන කිරීමෙනි . එය පුනර් ප්‍රකාශනයක් කල යුතුවන්නේ , එයින් නිරුපණය වන ව්‍යුහාත්මක ප්‍රචණ්ඩත්වය වටහාගැනීම උදෙසාය.

    “ ගෝලීය covid 19 මාරාන්තික වසංගතය තුල ද ඒ වන විට ශ්‍රී ලංකික සිංහල සහ දෙමළ ප්‍රජාව අළුත් අවුරුදු සැමරුම් වෙනුවෙන් සුදානම් වෙමින් සිටියෝය.  මෙම කාලයේ ජේෂ්ඨ නීතිවේදියකු සහ සිවිල් අයිතිවාසිකම් ක්‍රියාදරයකු වූ හෙජාස් හිස්බුල්ලා වෙත අසාමාන්‍ය දුරකථන ඇමතුමක් ලැබුණි. ඒ සෞඛ්‍ය අමාත්‍යංශය ලෙස සඳහන් කරමිනි. එම ඇමතුමට අනුව හෙජාස් covid 19 ආසධිතයකු ගේ ආශ්‍රිතයකු ලෙස ඇමතුම ලබාදුන් පුද්ගලා හදුන්වා දී ඇති අතර, ඒ හේතුවෙන් නිවසේ රැඳී සිටින ලෙසට උපදෙස් ලබාදී තිබේ.  මෙම ඇමතුම ලැබෙන අවස්ථාව වන විට ඔහු ගේ ද දායකත්වයෙන් ,  covid 19 ආසධිතව මිය යන මුස්ලිම් ජනයා භූමදානය කරන ලෙස ශ්‍රී ලංකා ආණ්ඩුව වෙතින්  ඉල්ලා තිබුණි. එම ඉල්ලීම විස්තර වුයේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරමින් මුස්ලිම් ප්‍රජාවගේ ආගමික අයිතිය සුරක්ෂණය කරන ලෙසය.  මේ වන විට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද මාර්ගෝපදේශනය වුයේ covid 19 අසාධිත්ව සිදුවන මරණ භූමදානය හෝ ආදානය කිරීම ගැටලුවක් නොවන බවය” (Amnesty International, 2020).

    “සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලඳ පණිවිඩයට අනුව හෙජාස් වෙත පැමිණිය යුතු අදාළ නිලධාරින් වෙනුවට අපාරාධ පර්යේෂණ දෙපාර්තමේන්තු වේ  කණ්ඩයමක් පැමිණ, හේතු දැක්වීමකින් තොරව හෙතෙම අත්අඩංගුවට ගෙන තිබුණි.  මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම පිලිබඳ විමසිලිමත් වූ ඔහුගේ ඥාති න් වෙත අනතුරු හැඟීමක් ද සිදු කර තිබුණි. කිසිදු නීතිමය ලේඛනයක් නොමැතිව පැමිණි එම පුද්ගලයන් විසින් හෙජාස් ගේ කාර්යාලයේ තිබු පෞද්ගලික උපාංග වූ ලිපිගොනු, laptop පරිගණක එකඟත්වයකින් තොරව  අවුස්සා තිබු අතර ඔහුගේ දුරකථනයේ වූ අංක වෙත ඇමතුම් ලබා ගන්නා ලෙසට බල කර තිබුණි. දිස්ත්‍රික්ක අධිකරණයේ  ඒ වන විට ද විභාග වෙමින් පැවති යුසෆ් මොහොමඩ් ඉබ්‍රහම් ගේ නෛතික ලිපි ගොනු හෙජාස් ගේ කාර්යාලයෙන් ලබාගත් පසුව , හෙජාස් ද කැටුව මෙම නිලධාරින් පිටව ගොස් තිබුණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීමෙන් පසු රඳවා තබාගැනීමේ නියෝගය මත හෙජාස් මේ වන විට ද බන්ධනාගාරගත කර ඇත. (Amnesty International, 2020).

    හෙජාස්ව අත් අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියම ව්‍යුහාත්මක සහ සංකේතාත්මක ප්‍රචණ්ඩත්වයේ රාජ්‍ය භාවිතාවකි. මේ ගෙවෙන මොහොතේ පාසුකු ප්‍රහාරය වෙනුවෙන් නඩු පැවරීමට කටයුතු කලද හෙජාස් එම නඩු ක්‍රියාවලිය තුල චෝදනාකරුවකු කර නොතිබේ. ඒ වෙනුවෙන් වූ චෝදනා ඔහු වෙත ලබා දීමට කටයුතු කර නැත. එසේම මෙම අත් අඩංගුවට ගැනීමේ දී කිසිදු නීතිමය ලියවිල්ලක් නොමැතිව අත්තනෝමතිකව රාජ්‍ය යාන්ත්‍රණය හැසිරී ඇත. තමාව අත් අඩංගුවට ගනු ලබන හේතු සාධකය හෝ පැහැදිලි කර නොමැති අතර හෙජාස් ව නොමඟ යවමින් , මාරාන්තික වසංගතයක ආශ්‍රිතයකු ලෙස හගවමින් කටයුතු කිරීම සිහි කැඳවනුයේ , යුද්ධයේ දී මෙම රාජ්‍ය හැසිරුණු අශිලාචාරබවමය.

    එහිදී , පහාර නොදිය යුතු කලාප ලෙස මෙම රාජ්‍ය විසින්ම නම් කරමින් පසුව එම  කලාප එල්ල කර ප්‍රහාර එල්ල කිරීම සිදුකළ රාජ්‍යක් මෙසේ හැසිරීම පිලිබඳ ව පුදුම විය යුතුද නැත. එහෙත් එසේ හැසිරීමේ දේශපාලනික අයිතියක් රාජ්‍ය වෙත ලබා නොදිය යුතුය. හෙට දින පැමිණ, ඔබගේ නිවස, රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකමින් , සෝදසි කර, මෙය කියවන ඔබව අත් අඩංගුව ට නොගනී යනුවෙන් කිසිදු සහතිකයක් මෙම රාජ්‍ය විසින් සපයා දී නොමැත. නන්දිකඩාල් හිදී මෙන්ම දේවස්ථාන තුලදී ද ඔබගේ ජීවිතය අනාරක්ෂිත කිරීමේ හැකියාව, විශාල බලයක් ලබාගත් වාර්ගික ආණ්ඩුවවලට හැකිබව මතකයේ තබාගත යුතුය. එසේම එම ජිවිත විනාශ, ත්‍රස්තවාදය ට එරෙහි යුද්ධක් ලෙස හෝ, රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් වූ ක්‍රියාවලියක් ලෙසද යුක්ත යුක්ත කිරීමට මෙම රාජ්‍ය කටයුතු කරනු ඇත.

    එසේම හෙජාස් ගේ අඛ්යානය සමඟ එළිදරව් වන තවත් කරුණක් නම්, අත්අඩංගුවේ සිටින රැඳවියන් වෙත රාජ්‍ය, මාරාන්තික වසංගතයක් අවස්ථාවකදී දක්වන ලද ප්‍රචණ්ඩත්වය වේ. එහිදී රැදවියන් සමඟ සම්බන්ද වීමට ඇති නිදහස අවම කරමින් ද , ඔවුන් වෙත අවශ්‍ය වන වෛද්‍ය උපදේශන ලබාදීම සිමා කරමින්ද ඉතාම අමානුෂික මර්ධනයක් සිදුවීමට රාජ්‍ය විසින් ඉඩ ලබා දෙන ලදී. හෙජාස් ද එම මර්ධනයේ එක් වින්දිතයෙක් විය.

    මෙම ලිපිය අවසන් කරමින්, මා පවසා සිටින්නේ, මේ මොහොතේ පවතින වාර්ගික දේශපාලන සමඟ බැදෙන රාජ්‍ය ආරක්ෂාව ශ්‍රී ලාංකික සියලු පුරවැසියන් ගේ ජිවිත අනාරක්ෂිත කරතිබෙන බවය. එසේම එම ආරක්ෂාව විසින් පුරවැසියන් ගේ මුලික අයිතිවාසිකම් ඉතා දැඩිව උල්ලංඝනය කර තිබෙන අතර එම පුරවැසි කාණ්ඩය ට අයත් රැදවියන් ගේ ඉරණම සහ අයිතීන් වර්ගවාදය සහ රාජ්‍ය ආරක්ෂාව විසින් තීරණය කිරීම බරපතල ඛේදවාචකයකි. එසේම රාජ්‍ය ආරකෂාව යටතේ ව්‍යුහාත්මක සහ සංකේතාත්මක ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට ඉඩ ලැබීම සහ එය රාජ්‍ය ආරක්ෂාව වේලයෙන් වසා තැබීම වෙත ද අප සැලකිලිමත් විය යුතුය. මෙම මර්ධනයේ දී හෙජාස් යනු හුදෙක්ම එක් පුද්ගලයකු නොව ශ්‍රී ලාංකිකයන් සැමගේම නියෝජනයක්වන බව ද තේරුම් ගැනීම වැදගත් වේ.

    අරුණි සමරකොන්