Breaking News

ධනේෂ්වර විරෝධී දේශපාලනයේ අවසන් ලිපිය

රෙඩ්ලි සිල්වා

රෙඩ්ලි සිල්වා විසින් පරිවර්තනය කළ ඩේවිඩ් හාවිගේ ලිපියේ තුන්වන සහ අවසන් කොටස මෙම කොටසයි “කොවිඩ් 19 සහ ධනේෂ්වර විරෝධී දේශපාලනය” සහ “කඩා වැටෙන බව නොපෙනෙන ධනේෂ්වරයේ අර්බුදය” ලිපියේ සමග බැදී පවතින්නකි .මුල් කොටස් කියවීමට පහත පිවිසුම් වලින් යා හැකිය .

පෙරමුණු

බෝවන රෝග පන්තිය හෝ සමාජ බාධාවන් සහ සීමාවන් හෝ නොසලකන බවට ලෙහෙසි පහසු මිත්‍යාවක් පවතිනවා. එවැනි කියමන් බොහොමයක් වගේම, මෙහි යම් සත්‍යතාවක් ද තියෙනවා. දහනව වන ශත වර්ෂයේ කොලරා වසන්ගතයේදී පංති බාධා ඉක්මවමින්, අද දක්වාම පවතින පොදු සනීපාරක්ෂක හා සෞඛ්‍ය ව්‍යාපාරයක් (වෘත්තිමය මට්ටමට පත්ව ඇත) ජනිත කිරීමට තරම් ප්‍රමාණවත් අයුරින් සිත්ගන්නා සුළු විය. මෙම ව්‍යාපාරය සැලසුම් කරනු ලැබුයේ සෑම දෙනෙකුම ආරක්ෂා කර ගැනීමටද, එහෙම නැත්නම් ඉහළ පන්තීන්ගේ ආරක්ෂාවට පමණක්ද යන්න හැම විටකම පැහැදිලි වුනේ නැත. නමුත් , අද පන්ති ප්‍රභේදයන් (The differential class) හා සමාජ ඵල විපාකයන් සහ බලපෑම් කියන්නේ වෙනස් කතාවකි. ආර්ථික සහ සමාජ බලපෑම් සෑම තැනකම දකින්න තියෙන ‘චාරිත්‍රානුකූල’ අඩු සැලකීම් දැක්වීම් තුලින් පෙරනු ලබනවා. මුලින්ම, ආසාදිතයින් බලාගැනීමට අපේක්ෂිත ශ්‍රම බලකාය ලෝකයේ බොහෝ තැන්වල සාමාන්‍යයෙන් ඉහළ ලිංග-බේදකරණය, වාර්ගික කරණය සහ ජනවාර්ගික කරණය වී ඇත. ඉන් පිළිබිඹු කරන්නේ, උදාහරණ වශයෙන් ගුවන් තොටුපළවල් සහ වෙනත් සැපයුම් හා ප්‍රවාහන අංශ වල ශ්‍රම බලකායේ පංති පදනමයි.

මෙම නව කම්කරු පංතිය ඉදිරියෙන්ම සිටිනවා ඔවුන් කරන රැකියාතුලින් වයිරසය වැළදීමේ අධික අවදානම් හෝ වෛරසය බලාත්මක කරනු ලබන ආර්ථික කප්පාදුව නිසා සම්පත් නොවෙනස්ව රැකියාවලින් පහකරනු ලැබීම් වලට මුහුණපායි. මෙහිදී නිදසුන් වශයෙන් ඇති ප්‍රශ්නය නම්, නිවසේ සිට වැඩකරන්න පුළුවන් කව්රුන්ටද සහ වැඩ කරන්න බැරි කව්රුන්ටද යන්නයි. මින් සමාජ බෙදීම වගේම ස්පර්ශ වීම හෝ බෝවීම නිසා ( වැටුප ඇතුව හෝ නැතුව ) තමන් හුදෙකලා වී හෝ නිරෝධායනය වී සිටිය හැකි කව්රුන්ටද යන ප්‍රශ්නයද තියුණු වෙනවා.

නිකරගුවාවේ (1973) සහ මෙක්සිකෝ නගරයේ (1995) භූමිකම්පා ” පන්ති භූමිකම්පා” යනුවෙන් නම් කරන්න මා ඉගෙන ගත්තේ මේ ආකාරයටමයි. එබැවින් COVID – 19 ප්‍රගමනය මගිනුත් පන්තිමය, ලිංගභේදමය, වාර්ගිකමය වසංගතයක සියලු ලක්ෂණ ප්‍රදර්ශනය කරනවා. අවම කරගැනීමේ උත්සාහයන් “අපි ඔක්කොම මේකේ එකටයි” වාග්ලංකාර කතාව තුල ලෙහෙසියෙන්ම වසා ගත්තද, විශේෂයෙන්ම ජාතික ආණ්ඩුවල භාවිතාවන් මගින් පෙන්නුම් කරන්නේ වඩා දුෂ්ට චේතනාවන්ය. එක්සත් ජනපදයේ තත්කාලීන කම්කරු පන්තිය (වැඩි වශයෙන් සමන්විත වන්නේ අප්‍රිකානු ඇමෙරිකානුවන් , ලතින් සහ වැටුප් ලබන ස්ත්‍රීන් ගෙනි) ප්‍රශ්නකාරී තෝරා ගැනීමකට මුහුණ දී සිටි. එනම් ඇප-උපස්ථාන කිරීම සහ මුලික සැපයුම් මාර්ග (සිල්ලර කඩ සාප්පු ) විවෘතව පවත්වා ගැනීම නාමයෙන් ඔවුන්ට වෛරසය වැළදීම හෝ එහෙමත් නැත්නම්, සුභසාදන (ප්‍රමාණවත් සෞඛ්‍යාරක්ෂාව වැනි) නොමැති විරැකියාවයි. වැටුපට වැඩකරන මා වැනි අය නිවසේ සිට වැඩ කරමින් වෙනදා මෙන්ම වැටුප් ලබන අතර ප්‍රධාන විධායක නිලධාරීන් පුද්ගලික ජෙට් යානා සහ හෙලිකොප්ටර මගින් සැරිසරති. ලෝකයේ බොහෝ තැන්වල ශ්‍රමිකයන් යහපත් නව ලිබරල් යටත් වැසියන් හැටියට හැසිරෙන්න දිගුකාලයක සිට පුරුදු වී සිටිනවා ( ඒ කියන්නේ ඕනෑම දෙයක් වැරදුනොත් ඔවුන් තමන්ටම හෝ දෙවියන්ට දොස් පවරනවා, සත්‍ය ගැටලුව ධනවාදය බව යෝජනා කරන්න කොහෙත්ම එඩිතර වෙන්නේ නැහැ ). නමුත් මෙම වසංගතයට ප්‍රතිකාර දක්වන ආකාරයේ යම් වැරැද්දක් ඇති බව යහපත් නව ලිබරල් යටත් වැසියන්ට පවා පෙනෙනවා.

ලොකුම ප්‍රශ්නය නම්, මෙය කොපමණ කාලයක් පවතිනු ඇතිද යන්නයි ? එය වසරකට වඩා හෝ ඊට වඩා වැඩි වුවහොත් ශ්‍රම බලකාය අවප්‍රමාණය විය හැකිය. නව ලිබරල් වාදයේ සාමාන්‍ය ස්වභාවයට ප්‍රතිවිරුද්ධව දැවැන්ත ජනතා මැදිහත්වීමක් සිදු නොවුනහොත් විරැකියා මට්ටම් 1930 ගණන් සමග සංසන්දනය කළ හැකි මට්ටමට ඉහළ යනු ඇත. මින් ආර්ථිකය සහ ජන ජීවිතය කෙරෙහි සිදුවිය හැකි ක්ෂණික බලපෑම් බහුවිධය. නමුත් ඒ සෑම දෙයක්ම නරක ඒවා නොවේ. මේ වකවානුවේ සමකාලීන පරිභෝජනවාදය අධික මට්ටමකට පැමිණෙමින් තිබුණි. මාක්ස් ගේ විග්‍රහය අනුව බිහිසුණු මෙන්ම විකාර පියවර ගැනීම මගින් සමස්ත ක්‍රමයේම කඩා වැටීම සනිටුහන් කරමින් අධි-පරිභෝජනය සහ උමතු පරිභෝජනය විනාශය අද්දරටම පැමිණෙමින් තිබුණා. මෙම ඉවක් බවක් නැති අධි-පරිභෝජනය පාරිසරික විනාශයට ප්‍රධාන වශයෙන් හේතු වුනා. ගුවන් ගමන් අවලංගු කිරීම සහ ප්‍රවාහනය හා සංචරණය, රැඩිකල් මුල්‍ය සීමා කිරීම, හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් සාධනීය ආදීනවයන්ටද තුඩු දී ඇත.

වුහාන් වල වායු ගුණය එක්සත් ජනපදයේ බොහෝ නගර වල මෙන්ම වැඩි දියුණු වී ඇත. සංචාරකයෙන්ගේ පාද වලින් නොකඩවා පිරි මදින ලැබූ පාරිසරික සංචාරක අඩවි වලට යථා තත්වයට පත් වීමට කාලය ලැබෙනු ඇත. හංසයින් වැනීසියේ ඇල මාර්ගවලට යළි පැමිණෙනු ඇත. ඉවක් බවක් සහ තේරුමක් නැති අධි පරිභෝජනවාදය සදහා ගිජුකම මැඩ පවත්වන ප්‍රමාණයට යම් දිගු කාලීන ප්‍රති ලාභයන් ඇති විය හැකිය. එමෙන්ම, හිමාලය කන්දේ මරණ සංඛ්‍යාව අඩුවීම හොද දෙයක් විය හැක. මෙය කව්රුවත් මහා හඬින් නොකියන අතර වෛරසයේ ජනවිකාශන නැඹුරුව, සමාජ ආරක්ෂණ බර සහ ‘සෞඛ්‍ය සත්කාර කර්මාන්තයේ’ අනාගතය කෙරෙහි දිගුකාලීන විපාකයන් ඇති කරමින් වයස් කාංඩවලට බලපෑ හැකිය. එදිනෙදා ජීවිතය මන්දගාමී වන අතර එය සමහරක් ජනතාවට ආශිර්වාදයක් වනු ඇත. සමාජ දුරස්ථ භාවය පිලිබඳ යෝජිත රෙගුලාසි සහ හදිසි තත්වය දිගු කාලයක් පැවතුනහොත් සංස්කෘතික මාරුවීම් වලට තුඩුදිය හැක. සත්තකින්ම, මින් බොහෝ දුරට වාසි ලැබීමේ පරිභෝජනවාදී ස්වරුපය වන්නේ මා ‘නෙට්ෆ්ලික්ස්’ ආර්ථිකය යනුවෙන් හඳුන්වන, ‘පෙරේත ප්‍රේක්ෂකයන්’ට සේවය කරන ආර්ථිකයයි.

ආර්ථික තලයේ ප්‍රතිචාරයන් 2007-8 කඩාවැටී‍මෙන් ගොඩ ආ ආකාරය අනුව සකස් වී ඇත. අන්ත ලිහිල් මුල්‍ය ප්‍රතිපත්තියක් සමග බැංකු බේරාගැනීමත් එකට බැදී තිබිණි. මිට චීනයේ යටිතල පහසුකම් ආයෝජනයේ දැවැන්ත ප්‍රසාරණයක් මගින් එලදායි පාරිභෝජනයේ හදිසි දියුණුව අතිරේකයක් සැපයුවා. මෙම පසු කාරණය අවශ්‍ය පරිමාණයෙන් නැවත කළ නොහැකිය. 2008 දී පිහිටවනු ලැබූ ඇපවීම් පැකේජයේ අවධානය බැංකු වලට පමණක් සිමා විය. එනමුත් ජෙනරල් මෝටර්ස් සමාගම තථ්‍ය වශයෙන් ජනසතු කිරීමද ඊට ඇතුලත් විය. සේවක අසහනය සහ වෙලදපොලේ ඉල්ලුම බිද වැටීම හමුවේ විශාල ඩීට්‍රොයිට් මෝටර් රථ සමාගම් තුනම අවම වශයෙන් තාවකාලිකව වසා දැමීම සැලකිල්ලට ගත යුතුය. චීනයට සිය 2007-8 භූමිකාව පුනාවර්තනය කළ නොහැකි නම්, වර්තමාන ආර්ථික අර්බුදයෙන් පිටමං වීමේ බර එක්සත් ජනපදය වෙත මාරුවනු ඇත. අවසන් උත්සාහය ඇත්තේ මෙතැනයි. ආර්ථික සහ දේශපාලන වශයෙන් ප්‍රයෝගික වන්නේ, බර්නි සෑන්ඩර්ස් යෝජනා කරන ප්‍රතිපත්තීන් පවා ඉක්මවන වඩා සමාජවාදී ප්‍රතිපත්තින්ය. මෙම බේරාගැනීමේ වැඩපිලිවෙල් ඩොනල්ඩ් ට්‍රම්ගේ අනුබලය යටතේ ආරම්භ කිරීමට සිදුවෙනු ඇත. එය‍ අනුමාන වශයෙන්, ‘ඇමරිකාව නැවත බලවත් කරමු’ යන වෙසින් වෙන්නත් පුළුවන්.

වසර 2008 ඇපවීම් පැකේජයට දැඩි ලෙස විරුද්ධවූ සියලුම ඇමරිකානුවන්ට නින්දාවට පත් වෙන්න හෝ ඩොනල්ඩ් ට්‍රම්ප්ට අභියෝග කිරීමට සිදු වෙනු ඇත. ඔහු හදිසි අවස්ථාව පදනම් කරගෙන මැතිවරණය කල් දමා ප්‍රාග්ධනය සහ ලෝකය “කැරලි කෝලාහල සහ විප්ලවයෙන්” බේරා ගැනීමට අධිරාජ්‍ය ජනාධිපති ධූරයක ආරම්භයක් ප්‍රකාශයට පත් කරන්න පුළුවනි. ප්‍රායෝගිකව ක්‍රියාවට නැගිය හැකි ප්‍රතිපත්තීන් විය හැකි වන්නේ සමාජවාදී ප්‍රතිපත්තීන් පමණක්ම නම්, පාලක ප්‍රභූ කල්ලිය විසින් ඒ්වා ජනතා සමාජවාදී නොව ජාතික සමාජවාදී බවට වග බලාගනු ඇත. මෙය සිදුවීමෙන් වලක්වා ගැනීම ධනේශ්වර විරෝධී දේශපාලනයේ කාර්යභාරය වනු ඇත.

 

රෙඩ්ලි සිල්වා

 

 

 

                         පළමු කොටස “කොවිඩ් 19 සහ ධනේෂ්වර විරෝධී දේශපාලනය”

                                              දෙවන කොටස “කඩා වැටෙන බව නොපෙනෙන ධනේෂ්වරයේ අර්බුදය”

leave a reply