Breaking News

ලංකාව වගේම ඉන්දියානු ආණ්ඩුවත් අසමත්කම වහන්න ජාතිවාදිය යොදා ගනියි

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය සමඟ ඉන්දියානු ආණ්ඩුව සහ මාධ්‍ය එකතුවී ඉන්දියාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහි විරෝධයක් අවුළුවමින් සිටින බව වාර්තා වේ. මාර්තු මස මුලදී ඉන්දියාවේ නවදිල්ලියේ නිසාමුදින් මධ්‍යස්ථානයේ පැවති ‘ටබ්ලි-ඉ-ජමාත්’ ආගමික මෙහෙය සඳහා ඉන්දියාවේ විවිධ ප්‍රදේශවලින් මුස්ලිම් ජනතාව සම්බන්ධ වී තිබුණි. එම ආගමික මෙහෙයෙන් පසුව එයට සහභාගී වූ කිහිප දෙනෙක්ට කොරෝනා වැළඳී ඇති බව අනාවරණය වී තිබේ.

ඉන්දියානු ආණ්ඩුව මෙම ස්ථානය කොරෝනා වෛරසයට බෝ කරන ස්ථානයක් ලෙස හඳුනා ගැනීමත් සමඟ ඉන්දියාව තුළ මුස්ලිම් ජනතාවට එරෙහිව ජාතිවාදී අදහස් ව්‍යාප්ත වෙමින් පවතියි.

කෙසේවෙතත් මෙම ජාතිවාදය මුදා හැරීමට විරුද්ධව වාමාංශික දේශපාලන කණ්ඩායම්, ශිෂ්‍යයන්, නීතිඥවරුන් නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන් වන පරිදි මෙම ආගමික මෙහෙය අනිකුත් ආගම්වල ආගමික කටයුතු මෙන් නැවැත්විය යුතුව තිබූ දෙයක් වුවත් මේ මොහොතේ ඉන්දියානු ආණ්ඩුව සහ ජනමාධ්‍ය මෙම අවස්ථාව මුස්ලිම් ජනතාවට එරෙහි වෛරයට පැතිරවීමට යොදාගනිමින් සිටියි.

මෙම නිවේදනය නිකුත් කිරීමට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ උත්තර් ප්‍රදේශයේ මහ ඇමතිවරයා ටබ්ලි-ඉ-ජමාත් ආගමික මෙහෙය සඳහා සහභාගි වීමෙන් පසු නිරෝධායන සඳහා යොමුවූ පුද්ගලයන්ට ජාතික ආරක්ෂක පනත යටතේ දඬුවම් කරන බව සහ නිරෝධායන සඳහා නොපැමිණි පුද්ගලයන් මිනි මැරීමට තැත්කිරීම යන චෝදනා යටතේ දඬුවම් ලබාදෙන බව නිවේදනයකර තිබීමයි. ඊට අමතරව මෙම ජනතාවට වෙඩි තැබිය යුතුබව කියන දේශපාලනඥයන් කිහිප දෙනෙක් ගැනද වාර්තා වේ.

එසේම මෙම ජමාත් දේව මෙහෙය සංවිධානය කළ පිරිසට එරෙහිව දිල්ලි පොලීසිය නීතිය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුනත් අනිකුත් ආගම්වලට අයත් ආගමික කටයුතු සඳහා සහභාගී වූවන්ට නීතිය ක්‍රියාත්මක නොවන බවද වාර්තා වේ.

මෙම දඬුවම් කිරීම හරහා ජනතාව තමන්ගේ ගමන් විස්තර සහ රෝග ලක්ෂණ සැඟවිය හැකි බවට ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරීන් අනතුරු අඟවයි.

එසේම ටබ්ලි-ඉ-ජමාත්’ ආගමික දේව මෙහෙය පැවැති දිනයේ සහ ඉන් පසුවත් ඉන්දියා දේශපාලනඥයන්ගේ සහභාගීත්වයෙන් ආගමික උත්සව සහ වෙනත් උත්සව පැවත්වී තිබේ. පසුගිය මාර්තු 23වනදා පැවති මාධ්‍ය ප්‍රදේශ් නව මහ ඇමතිවරයාගේ දිවුරුම් උත්සවය සඳහා භාරතීය ජනතා පක්ෂයේ නායකයන් බහුතරයක් සහභාගී වී ඇත. එසේම උත්තර් ප්‍රදේශ් මහා ඇමතිවරයා නිවේදනය කර තිබුණේ රාම් නවාමි උත්සවය සැලසුම් කරතිබූ අයුරින් පැවැත්වෙන බවයි.

මීට අමතරව මෝදි ආණ්ඩුවේ උපදෙස් පරිදි සෞඛ්‍ය සේවකයන්ට ස්තූති කිරීමට යොදාගත් දිනයේදී එම අවස්ථාවන් සඳහා ජනතාව විශාල වශයෙන් එකතුවී සිටිනු දැකිය හැකිවිය.

මෙහිදී ඉන්දියානු මාධ්‍ය ඉන්දියාව තුළ කොරෝනා වයිරසය පැතිරවීම සිදුකරන්නේ මුස්ලිම් ජනතාව බවට කරන ප්‍රකාශ දැකිය හැකිවිය. එහිදී ඔවුන් මුස්ලිම් ජනතාව හැඳින් වූවේ කොරෝනා බෝම්බ, ජාතියේ හතුරන් යන නම්වලිනි. සමහර රූපවාහිනී නාලිකා කොරොනා ජිහාඩ්යක් ගැන කතා කරනු දැකිය හැකිවිය.

කෙසේවෙතත් ඉන්දියානු දේශපාලන ක්‍රියාකාරීන් පෙන්වා දෙන්නේ කොරෝනා වසංගතය පැතිරෙමින් ඇති මේ මොහොතේ සෑම ක්ෂේත්‍රයකම දක්නට ලැබෙන ඉන්දියානු ආණ්ඩුවේ අසමත්කම වසා ගැනීමට ජාතිවාදය පාවිච්චි කරන බවයි. මෝදි ආණ්ඩුව දින 21ක ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ විශාල නගරවල ජීවත්වෙමින් එදිනෙදා අදායම් ඉපයූ බොහෝ දෙනෙක් අසරණ විය. එසේම කිසිදු පෙර දැනුම් දීමකින් තොරව ඇඳිරි නීතිය දැමීම නිසා නගරවල සිටි සංක්‍රමණික කමකරුවන්ට යන එන මං නැතිවිය. මෙම සංක්‍රමණික කම්කරුවන් ආහාර හෝ ජලය නොමැතිව පා ගමනින් තම ගම් බිම් බලා යන ආකාරය දැකිය හැකිවිය. එම ගමන්වලදී සිය ගණනක් මිය ගොස් තිබුණි. එසේම මෙසේ තම ගම්බිම් බලා යන ජනතාවට සිදුවුවේ පොලිසියේ ප්‍රචණ්ඩත්වයන්ට මුහුණ දීමටයි. ඒ සියල්ලට එරෙහිව ඉන්දියානු ආණ්ඩුවට එරෙහිව නැගෙමින් පැවති විරෝධය යටපත් කිරීමට මෝදි ආණ්ඩුව තම ජාතිවාදී තුරුම්පුව පවිච්චි කරමින් සිටින බව පැහැදිලිය.

leave a reply