Breaking News

හකීම්ගේ හක්ක පන්නන්න ඔබත් එනවද

කොරෝනා, ආගම සහ ජාතිය

කොරෝනා වසංගතය සමග අප ඉදිරියේ විවර වී ඇත්තේ නව ලෝකයකි. කොරෝනා වසංගතය කුමන හෝ මොහොතක පහව යනු ඇති අතර ඉන් පසු අප ඉදිරියේ පවතින ලෝකය ඊට පෙර පැවතුනු ලෝකයේ බොහෝ ස්ථාපිතයන් ප්‍රතික්ෂේප කෙරුණු ලෝකයක් වනු ඇත. නමුත් පැරණි ලෝකය එලෙස පහසුවෙන් පසුබැස නොයන අතර මේ කාලය යනු එම පැරණි ලෝකය හා නව ලෝකය අතර අරගලයයි. මේ පැරණි ස්ථාපිතයන් අසාර්ථකභාවය ප්‍රදර්ශනය කරන අතරම ඒවා යළි පණගසා ප්‍රතිසංවිධානය වීමට යත්න දරන කාලයයි. එය දේශපාලනය, ජාතිවාදය, ආගමික භක්තිය, මිත්‍යා විශ්වාස ආදී විවිධ වැඩබිම් තුළ ක්‍රියාකාරීව ප්‍රදර්ශනය වේ. මාධ්‍ය විසින් රෝගීන්ගේ ජාතිය හා ආගම වෙනම අවධාරණය කිරීම, සිංහල දේශපාලඥයන් කිරි කොරහේ යාගය නැටීම – ගුවනින් පිරිත් පැන් ඉසීම ආදියට මැදිහත්වීම සහ මුස්ලිම් දේශපාලඥයන් මියයන රෝගීන්ගේ අවමංගල කටයුතු සඳහා ආගමික විශ්වාසයන් පැත්තෙන් මැදිහත්වීම ආදී සියල්ල වටහා ගත යුත්තේ මේ සන්දර්භය තුළය.

මිනිසුන් අසරණ වූ විට, බියෙන් තැතිගත් විට හා ජීවිතය අවිනිශ්චිත වී මරණය සඳහා සම්භාවිතාව වැඩිවන විට වඩ වඩාත් සමීප වන්නේ ආගමික විශ්වාසයන් වෙතය. ඒ සඳහා බලපාන ඓතිහාසික හා සංස්කෘතික හේතු ගණනාවක් ඇති අතර මෙවන් වසංගතයක් හමුවේ සිදු වන්නේ ඒවා වඩාත් උත්තේජනය වීම මිස ඇතමුන් විශ්වාස කරන පරිදි විද්‍යාව තහවුරු වීම නොවේ. මිනිසුන් සිතන ආකාරය ඔවුන්ගේ සැබෑ ජීවිතයෙන් උත්පාදනය වන බව පිලිගන්නා අපට එය වටහා ගැනීම එතරම් අසීරු නොවේ. එනිසා රෝග බිය වර්ධනය වනවිට බෞද්ධයන් රතන සූත්‍රය දේශනා කිරීමට සිතන්නේ මන්ද, කතෝලිකයන් වෛද්‍ය උපදෙස් වලට පිටින් යමින් දේව මෙහෙයන් කරන්නේ මන්ද, ඉස්ලාම් භක්‍තිකයන් තමා මියගියහොත් අවසන් කටයුතු කරන ආකාරය ගැන මෙතරම් වද වන්නේ මන්ද, ආදිවාසී ජනයා කිරි කොරහේ යාගය නටන්නේ මන්ද යන ප්‍රශ්න වලට පිළිතුර ඒ ජන කොටස් වල විද්‍යාත්මක දැනුම තුළ සෙවිය නොහැක. අප සැලකිලිමත් වන්නේ එම ජන කොටස් මෙවන් වසංගතයකදි යළි පැරණි ලෝකයේ විශ්වාසයන් වෙත ආකර්ෂණය වීමේ සමාජ – ආර්ථික – දේශපාලන ගතිකයන් පිළිබඳවය. ආගම් අදහන්නන් මෝඩයන් බව කියන රැඩිකල්වාදීන් සහ මාක්ස්වාදය අතර සම්බන්ධයක් නැත. අප කරන්නේ ආගම වෙනුවට විද්‍යාව ආදේශ කිරීම නොව ඒ දෙකේම දේශපාලන පදනම් නිරාවරණය කිරීම හා ඒ දෙකෙන්ම ආවරණය වන, නොවන සමාජ ජීවිතයේ කලාප සඳහා දේශපාලනමය විසඳුම් සෙවීමයි.

මේ අතර කොරෝනා වසංගතය විසින් මෙතෙක් පැවතුණු ක්‍රමය අභියෝගයට ලක්කර ඇත. වෙළඳපල සියල්ලට ඉහලින්, සියල්ල දකිමින් හා හසුරුවමින් ඉන්නා සර්ව බලධාරී දෙවියෙකු ලෙස දුටු නව ලිබරල් න්‍යායවේදීන් අද වෙළඳපල නීතිය යනු කැළෑ නීතියම බව ඔප්පු වන විට නිරුත්තරව සිටී. මියගිය රාජ්‍ය සුභසාධන ධනවාදයට උත්ථානය ලබා දීමට සැරසෙන ජාතිකවාදීන් මේ ගෝලීය වසංගතය හමුවේ කුරු කුහුඹුවන් පමණක් බව තහවුරු වෙමින් තිබේ. පැරණි ලෝකයේ ස්ථාපිතයන් සියල්ල අසමත්‍ නිසා කොරෝනා විසින් විවර කර ඇත්තේ නව ලෝකයකි. නමුත් කොරෝනා වසංගතය අවසන් වූ පසුවද පැරණි ස්ථාපිතයම ඉතිරි වීමේ ඉඩ කඩ වැඩිය. ඒ එක පැත්තකින් වාමාංශයේ අසමත්කම නිසාය. එමෙන්ම පැරණි ලෝකය ප්‍රතිනිර්මාණය කිරීමේ ප්‍රතිගාමී ව්‍යාපෘතිය නිසාය. වෛරසය ව්‍යාප්ත වීමේ අවදානම නොතකා ශ්‍රී පාදස්ථානයට, කතෝලික දේවස්ථානවලට, මුස්ලිම් පල්ලි වලට බැතිමතුන් කැඳවන ආගමික පූජකයන් නිරතව සිටින්නේ ඒ ව්‍යාපෘතියේය. ආදිවාසීන් සමග කිරි කොරහේ යාගය නටන චාමරගේ සිට මුස්ලිම් රෝගීන් ආදාහනය නොකර භූමිදානය කළයුතු බව කියන හකීම් දක්වා දේශපාලඥයන් කරන්නේ මේ ව්‍යසනයෙන් පසුව එන මැතිවරණයට සූදානම් වීමය. මේ මොහොතේ සමාජය මුහුණ දෙන සැබෑ අභියෝගය පසෙක තිබියදී ජාතිවාදය, ආගම්වාදය කර පින්නාගෙන දුවන්නන් උත්සාහ කරන්නේද එයටය. ධනවාදයේ සියළු මොඩලයන් අසාර්ථක වී බිඳ වැටුණු පසු ඒ හිස් තැනට ආදේශකය වන්නේ එවන් අගතින් බවට අපට අත්දැකීම් ඇත්තේ එකක්, දෙකක් නොවේ. මේ හැම දෙනාම උත්සාහ කරන්නේ ජාතිවාදය, ආගම්වාදය, රැවටිලිකාරී දක්ෂිණාංශික දේශපාලනය, සමාජය අන්දවන මාධ්‍ය, විවිධ මිත්‍යාවන්, වෙළඳපල මූලික කරගත් පරිභෝජන උන්මාදය ආදී සියල්ල කලින් තිබුණු ආකාරයටම පවතින පැරණි ලෝකය ප්‍රතිසංවිධානය කිරීමයි. අලුත් ලෝකයක් සඳහා අවකාශ විවරව තිබියදී පැරණි ලොකයම ප්‍රතිස්ථාපනය වූ යථාර්තය වනාහී විනාශකාරී, භයානක හා ඛේදවාචී එකක් බව පමණක් දැනට සටහන් කර තැබිය හැකිය. නව ලෝකයක් අපේක්ෂා කරන හැම දෙනා විචාරය, එලඹගත් සිහිය, ප්‍රඥාව සහිතව මේ කලබැගෑනියට අභිමුඛ වෙන්න. අපේ ඉල්ලීම එයයි.

පුබුදු ජයගොඩ

 

leave a reply