Breaking News

මොකක්ද මේ, “Blackmail”සහ “Emotional Blackmail”  කියන්නේ?

තක්ෂිලා වීරසේකර

“Blackmail” හෙවත් “බියවැද්දීම” සහ “Emotional Blackmail” හෙවත් “චිත්තවේගීය බිය වැද්දීම” කියන්නේ?

Blackmail කියන වචනයේ ඉංගිරිසි නිර්වචනය මෙන්න මෙහෙමයි.

“The action treated as a criminal offence of demanding payment or another benefit from someone in return for not revealing compromising or damaging information about them.”

ඒ කතන්දරේ අර්ථය පුළුවන් තරම් සරල කරලා තේරෙන සිංහලෙන් කියතොත්,

“යම් ගෙවීමක් හෝ වෙනත් ඵල ප්‍රයෝජනයක් පදනම් කර ගනිමින්, යම් හානිකර තොරතුරක් හෙළිදරව් නොකරන බවට, හානියක් නොකිරීමේ සම්මුතියකට එළැඹෙන බවට, හෝ හානියක් සිදු නොකරන බවට කියාපාමින් සහ එකී හානිකර ප්‍රතිඵලය තම අධිකාරය යටතේ රඳවා තබා ගනිමින්, වෙනත් පාර්ශවයක් වෙත කරනු ලබන, අපරාධ නීතිය යටතේ වරදක් වන, බලපෑමක්…” කියලා තමයි,
කියන්න තියෙන්නේ.

ඒ වගේම,

“චිත්තවේගී බියවැද්දීම” සම්බන්ධ ඉංගිරිසි නිර්වචනය මෙන්න මේකයි.

“Using another party’s fear, guilt, or sense of obligation to pressure them to comply with a demand. Signs may include withholding affection or threatening retaliation to get compliance.”

“බිය, වරද හෝ විරුද්ධත්වයේ දැනීම අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා බව, සෘජුව, වක්‍රව හෝ ව්‍යංගව හඟවමින්, යම් හානිකර තොරතුරක් හෙළිදරව් කරන බවට කියාපාමින් සහ එහි හානිකර ප්‍රතිඵලය රඳවා තබා ගනිමින්, වෙනත් පාර්ශවයක් පීඩනට පත්කිරීම…” තමයි, තේරෙන භාසාවෙන් කියනවා නම්, ඔය “චිත්තවේගී බියවැද්දීම” කියන එකේ අර්ථය.

මේ, ටක්කෙටම ලියපු නෛතික අර්ථ නිරූපණය නම් නෙවෙයි. ඔයැයිලට සරලව සිංහලෙන් පැහැදිලි කරන්ඩ ඕනෙ නිසයි මේ මට්ටමින් කිව්වේ…

කොහොමද ? හරි සරලයි වගේ පෙනුනා වුණාට, බියවැද්දීමයි, චිත්තවේගී බියවැද්දීමයි කියන දෙක සෑහෙන්න බරපතල කතන්දර දෙකක් නේද?

ඔව්, ඒක අපරාධ වරදක්! Criminal Offence එකක්! ඒකට ව්‍යවහාර වෙන නෛතික වචනය තමයි, “සාපරාධී බියවැද්දීම”. වර්තමාන ජනප්‍රිය ව්‍යවහාරයෙන් කියතොත්, ‘ඩොටේ ඉන්න කිරිහාමිට අනුව නම්, “මේක කිරිමේල් වරදක් ආයිබොවන්ඩ.”

හොඳයි,
දැන් ඉතිං කියමුකො බලන්ඩ කොහොමද මේ බියවැද්දිල්ල කියන එක කෙරෙන්නේ කියලා….

වාචිකව, ලිඛිතව හෝ ඇඟවීමෙන් හෙවත් ව්‍යංගයෙන් තමයි මේ අපරාධ වරද කරන්ඩ කෙනෙක් අත්පොත් තියන්නේ… ඒක සෘජු දැඩි තර්ජනයක් වෙන්ඩත් පුළුවන් නැත්නම්, හීතල ඇඟවීමක් වෙන්ඩත් පුළුවන්. ඒ කොහොම කළත්, බ්ලැක්මේල් කියන්නේ බ්ලැක්මේල්ම තමයි.

හතුරෙක් ගාවට යද්දි, අතේ තියන චූටි ජංගමයාගෙ රෙකෝඩරේ දාන් යන්ඩ වත්මන් පරපුරේ ඔයාලට අමුතුවෙන් කියල දෙන්ඩ ඕනි නැති නිසා, බොහෝවිට හීන් නූලෙන් කෙරෙන හීතල තර්ජන පවා, වාසනාවට, පොලිස් කූඩුවෙ කූරු අතරින් අවසන් කරන්ඩ හැකි වෙලා තියනවා…

ඒ වගේම,
පටිගත කර ගත් දුරකතන ඇමතුම්, ස්ක්‍රීන්ශොට්ස්, චැට් හිස්ට්‍රි, වීඩියෝස්, ලිපි ලේඛන, ෆොටෝස් වගේ දේවල් මඟින් ඔබේ පෞද්ගලික තොරතුරු හෙළිදරව් කරන බවට ඉඟි කරමින් යමෙක් බියවැද්දීමක් ව්‍යංගව හෝ සිදු කරනවා නම්,
හයියෝ… ඔයා බයවෙන්ඩ, අඬන්ඩ එහෙම ගතකරන කාලෙත් හරි අපරාදේ…, අයිස්ක්‍රීම් එකක් කාලා, හිනාවෙවී, කෙළින්ම යන්ඩ පොලිසියට. ඔව්, නීතිය ඉන්නේ ඔබේ පැත්තේ.

PENAL CODE (Amended) Act No. 22 of 1995,

ONLINE SAFTY ACT, No 9 of 2024,

COMPUTER CRIMES ACT No. 24 of 2007,
වගේ පනත් වලින් ඔබ සුරක්ෂිත කරලා තියෙන්නෙත්,

Computer Crime Investigation Division,
Police HeadQuarters
Colombo.
T.P.
0112381045,
වගේ විශේෂ ඒකක ස්ථාපිත කරලා තියෙන්නෙත්, අන්තර් ජාල තාක්සනේ එක්ක බද්ධ වෙච්ච බියවැද්දම් සහ අළුත් අළුත් ජංගම ටිරිකිස් ඔලින් ඔයාලව ආරස්සා කරන්ටමයි.

මෙතෙක්, ඔයා කාගේ හෝ ඔවැනි කාඩ්බෝඩ් තිර පිටපතකට බය උනා නම් හෝ දුක් උනා නම් හෝ, ආයෙ එහෙම වෙන්ඩ අවශ්‍ය නෑ… කෙළින්ම ගිහින්, නීතියේ උදව් ඉල්ලන්ඩ.

විශ්වය කියන්නේ, අති පවිත්‍ර නෙළුම් විලක්. ඒක අපවිත්‍ර කරන මිනිස්සුන්ට දිනුම දෙන්ඩ තරම් කවදාවත් මෝඩ වෙන්ඩ එපා.

 

leave a reply