ලංකාව කිසිදු පාර්ශවකට පක්ෂපාති නොවී සිටීමට {neutrality} සහ ජාත්‍යන්තර නීතියට දැඩි ලෙස අනුකූල වීමට කැපවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්, දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් එස්. පෝල් කපූර් සමඟ පැවැති සාකච්ඡා අතරතුරදී පවසා තිබේ.
විදේශ කටයුතු අමාත්‍යාංශයේදී පැවැති මෙම හමුවේදී දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සහ සහයෝගීතාව වර්ධනය කරගත හැකි ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු විය.
මැදපෙරදිග පවතින උණුසුම් තත්ත්වය හමුවේ ඉන්ධන සැපයුම් සුරක්ෂිත කර ගැනීම සඳහා ලබාදුන් සහය ඇතුළුව, එක්සත් ජනපදය විසින් ශ්‍රී ලංකාව වෙත අඛණ්ඩව ලබාදෙන සහයෝගය පිළිබඳව අමාත්‍ය හේරත් සිය ඇගයීම පළ කර ඇත. ශ්‍රී ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලද මුහුදු යාත්‍රා සහ ගුවන් යානා වෙනුවෙන් ද ඇමතිවරයා ඇමෙරිකානු රජයට ස්තුතිය පුද කර ඇත.
ශ්‍රී ලංකාවේ ආයෝජන පරිසරය යහපත් වෙමින් පවතින බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රට තුළ ආරක්ෂිත මෙන්ම ආයෝජකයින්ට හිතකර වටපිටාවක් නිර්මාණය කර ඇති බවත්, ආයෝජන අවස්ථා ගවේෂණය කිරීම සඳහා ඇමෙරිකානු ව්‍යාපාරිකයන්ට ආරාධනා කරන බවත් පැවසීය. ආයෝජකයින් සඳහා අවශ්‍ය සියලු සහය සහ පහසුකම් සැලසීමට රජය කැපවී සිටින බවට ද ඔහු සහතික විය.
ඊට ප්‍රතිචාර දක්වමින් කපූර් ප්‍රකාශ කර ඇත්තේ එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ පවතින සබඳතාව ඉහළින්ම අගය කරන බවත්, ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වන බවත්ය.
මෑතකදී ආරම්භ කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම පිළිබඳව ද දෙපාර්ශවය අදහස් හුවමාරු කර ගත් අතර, එහි සාර්ථකත්වය වෙනුවෙන් අමාත්‍ය හේරත් සිය සුබ පැතුම් එක් කළ බව වාර්තාවේ. මීට අමතරව, ජූලි 4 වැනිදාට යෙදෙන ඇමෙරිකා එක්සත් ජනපදයේ 250 වැනි නිදහස් දින සැමරුම නිමිත්තෙන් එම රටට සහ එහි පුරවැසියන්ට ද ඔහු සිය සුබ පැතුම් පිරිනැමීය.






