ගෝලීය වෙළෙඳපොළෙන් ඉන්ධන මිලදී ගැනීමේ තරඟකාරිත්වය වැඩි දියුණු කිරීමේ උත්සාහයක් ලෙස, ලංකා ඛනිජ තෙල් සංස්ථාව (CPC) රුසියානු රජය සතු සමාගම් දෙකක් ලියාපදිංචි කර ඇති අතර එමඟින් ඔවුන්ට තෙල් මිලදී ගැනීමේ ටෙන්ඩර් ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව ලබා දී ඇති බව වාර්තා වේ.
රුසියාවට එරෙහි ඇමෙරිකානු (U.S.) මූල්‍ය සහ වෙළඳ සම්බාධක තාවකාලිකව ඉවත් කර පවතින තාක් කල් පමණක් මෙම සමාගම්වලට ලංකාවේ තරඟකාරී ටෙන්ඩර් ක්‍රියාවලියට ඍජුවම දායක විය හැකිය.
තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර පවසා ඇත්තේ රුසියානු සමාගම් ලියාපදිංචිය පසුගිය සතියේ සිදු කරන ලද බවයි. මේම සමාගම් වන්නේ රුසියානු රාජ්‍ය සතු ලොව ප්‍රමුඛතම බලශක්ති සමාගමක් වන “රොස්නෙෆ්ට්” (Rosneft) ඇතුළු එරට රාජ්‍ය සමාගම් දෙකකි.
මීට පෙර, ශ්‍රී ලංකා බලධාරීන් ඇමරිකානු තෙල් – බටහිර ටෙක්සාස් අතරමැදි (WTI) බොරතෙල් මිලදී ගැනීමට එකඟ වී තිබුණි. ඒ අනුව ඇමරිකානු තෙල් තොගයක් මෑතකදී රටට පැමිණ තිබේ. මේ අතර, තෙල් සංස්ථාවේ සභාපති D.J.රාජකරුණා පවසන්නේ ලංකාව මෑතකදී ඇමෙරිකානු WTI බොරතෙල් මිලදී ගැනීමට අනුමැතිය දී පළමු නැව්ගත කිරීම ගෙන්වා ගත්තද, ඉහළ නැව් ගාස්තු (Freight Cost) සහ මාසයකට අධික දිගු ප්‍රවාහන කාලය නිසා එය ආර්ථික වශයෙන් ලාභදායී නොවන බවයි.
ඉන්ධන සහනාධාරය පිළිබඳව විමසූ විට, ඔහු පැවසුවේ ඒ සඳහා රුපියල් බිලියන 57ක් වෙන් කර ඇති බවත්, තවදුරටත් ඒ සඳහා තීරණයක් ගෙන නොමැති බවත්ය.
ඉරානය සහ ඇමරිකාව අතර සාකච්ඡා ආරම්භ වීමත් සමඟ තෙල් මිල තවත් පහළ බැස තිබේ. පසුගිය කාල සීමාවේ දිගින් දිගටම තෙල් මිල පහළ බැස තිබියදීත් අපේ රටේ තෙල් මිල අඩුකිරීම වෙනුවට මිල වැඩිකිරීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබුණි. ඒ සඳහා ආණ්ඩුව විවිධ හේතු ඉදිරිපත් කර තිබේ. එහිදී ආණ්ඩුව පැවසුවේ තෙල් මිල පහුගිය සමයේ ඉහළ දැමීමේදී වෙනත් රටවලට සාපේක්ෂව ලංකාවේ තෙල් මිල ඉහල ගියේ අඩු අගයකින් බවයි. ඒ තෙල් ලබාදෙන්නේ පාඩුවට බැවින් මිල ඉහළ දැමීමට සිදුවන බවයි. තෙල් මිලට ලබාදෙන සහනය ගැනත් ආණ්ඩුව කියයි. දැන් තෙල් මිල නොවෙනස්ව තබා ගැනීමට ආණ්ඩුවට තවත් හේතුවක් ලැබී තිබේ. රුසියාවෙන් තෙල් මිලදී ගන්නා තුරු තෙල් මිල ඉහළ දැමිය නොහැකි බව ආණ්ඩුව කියනු ඇත. මේ මොහොතේ ගෝලීය බල තුලනයේ සිදුවන වෙනස්කම් අපේ රටේ වාසිය සඳහා යොදාගැනීම හොඳ දෙයක් වන නමුත් ජනතාවට බොරු කරමින් යන ගමන බයානක එකකි. රුසියාව ලංකාවට තෙල් දීමට ඉදිරිපත් වූවේ නව ආණ්ඩුවේ ආරම්භයේ සිටයි. එයට ලංකවේ ආණ්ඩුව මැදිහත් වූවේ නැත. ඇමරිකාවෙන් තෙල් මිලදී ගැනීම අපේ රටට අවාසි සහගත බව දැනී තිබෙන්නේ ප්‍රමාද වීමෙන් පසුවයි.






