“අරමානිස් බලසේක්කු” යන අනවර්ත නමින් රැස පුවත් පතට ඩයොනීසියානු සටහන් තීරුව ලියූ රචකයාව හඳුනා ගන්න.”
කටමැත කියවන්නන් මිස පොතපත කියවන්නන් බහුල නොවූ වර්තමානයේ, බොහෝ විෂයන් පිළිබඳ ගැඹුරු කියවීමක් සහිතව, ගම්පහ ආසියානු සාහිත්‍ය නිවහනේදී සෙනසුරාදා දිනවල පැවැත්වෙන ලේඛක පාඨක හමුවේ සාහිත්‍ය සංවාදයේ පූරක ලෙස අපූරු වූ මෙහෙවරකෙ යෙදෙන පැතුම් පුංචිහේවා නම් ලොකු මිනිසා විසින් රචිත “ඩයොනීසියානු සටහන්” තීරු ලිපි සංග්‍රහය මෙවර ලිට් රූම් සූම් සංවාදය සඳහා පාදක කරගනු ලැබෙයි.
Logophile කෙනෙකු ලෙස තමාව හඳුන්වා දීමට කැමති පැතුම්, තමා දැඩි ලෙස කියවීමට සහ අකුරුවලට ප්‍රේමකරන්නෙකු බවට පත් වූයේ කුඩා කළ සිටම, රීඩර්ස් ඩයිජෙස්ට් (Reader’s Digest) මාදිලියේ සඟරා කියවන්නට හුරු වීමත් නිසා බව පවසයි. 1980 / 1990 දශක වලදී ශ්‍රී ලංකාවේ පාඨකයන් අතර මහත් සේ ජනප්‍රිය වූ මුතුහර, මනහර, සිව්දෙස, නවයුගය ආදී සඟරා කියවීම එවකට කුඩා පාසල් සිසුවකු වූ පැතුම්ගේ චින්තන පරාසය පුළුල් කරන්නට සමත්විය. වයසින් වැඩෙත්ම ලියන්නට වඩා කියවන්නට නැඹුරු වූ ඔහු පසු කාලීනව ගැඹුරු කියවීමකින් යුතු වැඩ සටහන් පූරකයුකු ලෙස අපට හමුවන්නේ එහි ප්‍රතිඵළයක් ලෙසිණි.


පැතුම්ගේ ලේඛන ජීවිතය ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසි බසින් ලේඛනයේ යෙදෙන තවත් කිහිප දෙනෙක් සමඟ එක්ව කළ සාමූහික නිර්මාණයක් වන ‘Write to Reconcile’ ප්‍රකාශයට පත්වීමත් සමඟය. ඉංග්‍රීසි සහ සිංහල ද්විභාෂා ලේඛකයෙකු සහ පරිවර්තකයෙකු වන ඔහු ‘The People of the Lion’ යන ශාස්ත්‍රීය පරිවර්තනයේ සම-කර්තෘවරයෙකු වන අතර, ‘100 Drabbles’ විද්‍යා ප්‍රබන්ධ සංග්‍රහයට ද දායක වී ඇත.
පැතුම් රැස පුවත්පත ආරම්භයේදී ඒ වෙනුවෙන් සම්පාදනය කළ “ඩයොනීසියානු සටහන්” නම් තීරු ලිපි පෙල 2025 වසරේදී මුද්‍රිත පොතක් ලෙස ප්‍රකාශයට පත් කෙරුණි. පුවත්පත් තීරුව තුළ “අරමානිස් බලසේක්කු” යන අන්වර්ත නමින් පෙනී සිටී රචකයා වෙන කිසිවෙකුත් නොව පැතුම් පුංචිහේවා බව එතැන් සිට කාහටවත් රහසක් නොවීය.
ඩයොනීසියානු සටහන් සියල්ල එක් මිටකට ගෙන කියවන විට සම්ප්‍රදායික දැනුම් පද්ධති ප්‍රශ්න කිරීම හෝ අලුතින් අරුත් දැක්වීම් බහුලව දක්නට ලැබෙයි.
• ඔබේ දෙවියන් මට ද දෙවියන් විය යුතු ද යි ඔහු වරෙක කියවන්නාගෙන් ප්‍රශ්න කරමින් අධිපතිවාදී හෙජමොනික ආගමික සංසථා පිළිබඳව සිය අකමැත්ත දක්වයි.
• තවත් තැනක යහපත සහ අයහපත යන සංකල්ප දෙක පිළිබඳ අදහස් දක්වමින් ” ඔබේ යක්ෂයන්ට මුහුණ නොදී ඔබට දෙවියන් සොයාගන්නට නොහැකි” බව සටහන් කරයි
• හතුරාට ප්‍රේම කරනවාට වඩා, හතුරෝ ඇති කර නොගෙන ජීවත් වීය නොහැකිද යන පැනය තවත් තැනෙක ඔහු මතු කරයි.
ඩයොනීසියානු සටහන්, එකිනෙකට නොවෙනස් කතා රසයක් ද, දැනුම් පැසක් ද සහිතව විවිධ තේමා යටතේ දිග හැරෙන තීරු රචනා තිහක එකතුවකි. එහිදි කතුවරයාගේ ගීතවත් බස් වහර එම තීරු කියවීමට උත්තේජනය සපයයි. එම ලිපි පෙල තුළ සම්භාව්‍ය සාහිත්‍යයෙන් කරනා උපුටා ගැනීම් ද විශ්වීය තලයේ කලා නිර්මාණ හා ආගමික දේශපාලනික සංකල්ප කෙරෙහිද තබන සමුද්දේශ රචකයාගේ ගැඹුරු කියවීම ප්‍රකට කරනවාට වඩා කරන්නේ කියවන්නාගේ දැනුම් පැසට අගනා මුතු මැණික් එකතු කිරීමකි. විවිධ විෂයන් යටතේ ලියැවී ඇති එම සටහන් පෙළ කියවන්නාගේ සිතිවිළි ක්ෂිතජය විසල් කරන අතර ඔහුගේ දැනුම් පරාසය ද පුළුල් කරන්නට සමත් ය.
“ඩයොනීසියානු සටහන්” පිළිබඳ ලිට් රූම් සූම් සංවාදය, සඳහා සම්පත්දායකත්වය, භූෂණ් ප්‍රදීප් සහ ජනිත රුක්මාල් විසිනි. “ඩයොනීසියානු සටහන්” ග්‍රන්ථ ප්‍රකාශනයක් වන අතර grantha.lk වෙතින් මිලදී ගැනීමට ඔබට පුළුවන.
සිරිත් පරිදි, ලිට් රූම් සූම් සංවාදය “සාහිත සංවාද” යු ටියුබ් චැනලය හා “ලිට් රූම් ෆේස් බුක් පිටුව” හරහා සජීවීව විකාශනය කෙරෙනු ඇත.
ජුනි 21 ඉරු දින රාත්‍රි 7 ට පැවැත්වෙන ලිට් රූම් සූම් සංවාද මාලාවේ 23 වන සංවාද වාරය සඳහා, සම්බන්ධ වන ලෙස ඔබ සැමට “ලිට් රූම් සාමුහිකය” ගෞරවයෙන් ආරාධනා කර සිටියි. (Meeting ID: 845 8577 1133 Passcode: 805451)







