දයාපාල තිරානගම
රෝසා ලක්සේම්බර්ග් දක්ෂිණාංශික පරා මිලිටරි කල්ලියක් විසින් සහාසික ලෙස ඝාතනය කරනු ලැබුවේ මෙයට වසර 107 කට පෙර අද වැනි දිනකය. මෙය රෝසා විසින් විප්ලවීය මාක්ස්වාදයේ න්‍යාය සහ භාවිතයට ඇය විසින් එක් කල දායාදය ඇගයීම් වස් කරන කෙටි සටහනක් මෙන්ම ලෝක සමාජවාදී ව්‍යාපාරයේ නොමැකෙන පිය සටහන් තැබූ ඒ නිර්භීත අයෝමය ස්ත්‍රියට උපහාරයකි .
රෝසා ලක්සෙම්බර්ග් ‘පෝලන්තයේ කාර්මික සංවර්ධනය’නම් නිබන්ධනයට 1897 දී ස්විස්ටේර්ලන්තයේ සුරිච් විශ්වවිද්‍යාලයෙන් අචාර්ය උපාධිය ලබා ගත්තාය.
ඝාතනයේ දේශපාලන පසු බිම
පලමු ලෝක සංග්‍රාමය තුල දෙවැනි ජාත්‍යන්තරයේ පක්ෂ දෙකට බෙදුණි.එහි ප්‍රධාන පක්ෂයක් වූ කෞට්සිකි ලා විසින් නායකත්වය දුන් ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය මාක්ස්වාදය ප්‍රතිසන්කරණය කරමින් තම රටේ ධනපති පංතිය පෙරලා දැමීම වෙනුවට පිතෘ භුමිය යුධයේදී ආරක්ෂා කරමින් දේශප්‍රේමය සමග ඇඳෙමින් සමාජවාදී විප්ලවය පාවා දුන්හ.ලෙනින් ඇතුළු බෝල්ෂෙවික් පක්ෂය මෙයට ප්‍රති විරුද්ධ ස්ථාවරයක් ගනිමින් රුසියාව තුල තම රටේ ධනපති පංතිය පෙරලා දැමීමේ විප්ලවීය මාවතට අවතීරණය විය.රෝසා ලක්සේම්බර්ග් එකල ජර්මනිය තුල පෙනී සිටියේ මේ විප්ලවාදී ස්ථාවරය සමගිනි.කලින් විප්ලවාදී ලෙස පෙනී සිටි ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය විප්ලවය අත හැරීමෙන් පසුව කලින් පක්ෂයේ ප්‍රධාන න්‍යාය ධාරිනියක් ව සිටි රෝසා විසින් ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ‘දුගඳ හමන මල මිනියක්’ ලෙස හඳුන් වා දෙන ලදී. විප්ලවය සහ ප්‍රතිසන්ස්කරනවාදය අතර ඇති වූ මේ ඛණ්ඩනය රෝසා සහ කාල් ලිබ්නෙක් පසුව ජර්මානු කොමියුනිස්ට් පක්ෂය බවට පත් වූ ‘ස්පාටකස් ලීගය’ පිහිටුවීමට මුල් විය.ස්පාටකස් ලීගය දියත් කල සන්නද්ධ නැගිටීම පරාජය වීමත් සමග ප්‍රතිගාමී සන්නද්ධ කල්ලි රෝසා ලක්සේම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ලුහුබැන්දේය.රෝසා සහ කාල් ලිබ්නෙක්ට් අල්ලා ගෙන එදිනම (1919 ජනවාරි 16 දින) නඩු විභාගයක් නොමැතිව ඝාතනය කරනු ලැබිණ.මේ ඝාතනයට කරනු ලැබුවේ මේ දක්ෂිණාංශික සන්නද්ධ කණ්ඩායම හඳුන්වනු ලැබුවේ Freikops නමිනි.ඔවුහු ඇයට ශාරීරිකව පහර දී වෙඩි තබා මර දමන ලදී.ඇයගේ දේහය බර්ලිනයේ Landerwher ඇලට විසි කර දමන ලදී.රෝසාගේ මෘත ශරීරය සොයා ගනු ලැබුවේ ඇය ඝාතනය කොට මාස 4 කට පසුව වයි. රෝසා ගේ දේහය 1919 ජුනි 13 දින ලක්ෂයකට අධික මහා ජනකායක් සහභාගී වූ අවමගුල් උත්සවයක් පවත්වමින්Friedrichsfelde සුසාන භූමියේදී මිහිදන් කරනු ලැබිණ.
සෝවියට් සංගමය කම්පනයට පත් වීම
රෝසා ගේ ඝාතනය පිලිබඳ පුවත මොස්කව් වලට ලඟා වුයේ ජනවාරි 18 වැනි දිනයි.
රෝසා ගේ සහ කාල් ගේ ඝාතනයන් ගෙන් කෝපයට සහ කම්පාවට පත් ලෙනින් ජනවාරි 19 දින මොස්කව්හි සොවෙට්ස්කයා චතුර්ශයයයේදී විශාල රැළියක් පවත්වමින් සඳහන් කලේ රෝසා ලක්සේම්බර්ග් සහ කාල් ලිබ්නෙක්ට් ‘විප්ලවීය නිර්ධන පංතියේ විශිෂ්ට නියෝජිතයන් ‘ සහ ‘ලෝක නිර්ධන පංති ජාත්‍යන්තරයේ මාහැඟි නියෝජිතයන්’ ලෙසය.ලෙනින් තව දුරටත් ප්‍රකාශ කර සිටියේ ඔවුන් දැක් වූ වීරත්වය කොමියුනිස්ට් වාදයේ පුර්ණ ජයග්‍රහණය උදෙසා ධෛර්ය සහ විශ්වාසාහය ව්‍යාපාරයට දුන් බවය.මේ ඝාතනයන්ට උදව් කල ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය(SPD)ට ලෙනින් ඔහුගේ දැඩි කෝපය ප්‍රකාශ කළේය.ඔවුන්ගේ මේ ක්‍රියාව ‘ඊනියා සමාජවාදීන් විසින් කල ඝාතනයක්’ ලෙස විස්තර කරමින් මෙයට වග කිව යුත්තන් ‘අලුගෝසුවන් ‘ සහ ‘ධනේශ්වර පංතියේ කම්කරු ලුතිනන් ලා ‘ ලෙස විස්තර කළේය.එමෙන්ම ලෙනින් සහ රෝසා අතර දේශපාලන න්‍යාය සහ භාවිතාව පිලිබ්ද වෙනස් කම් තිබුණි.’මධ්‍යගත පක්ෂය’ සහ පෝලන්ත නිදහස සහ ස්වයං තීරණය පිලිබදව රෝසා වෙනස් මතයන් දැරුවද ලෙනින් පෙන්වා දුන්නේ ‘කිකිලියකට වඩා පහලින් සමහර විට රාජලියෙකුට පියාසර කල හැකි වුවද කිකිලියකට කිසිදා රාජලියෙකුට වඩා ඉහලින් පියාසර කල නොහැකිය.රෝසා ගේ ‘වැරදි’ තිබියදීත් ඇය අපට රාජලියෙකි’. රෝසාගේ කෘතීන් අනාගත ‘කොමියුනිස්ට් පරම්පරාවන් සඳහා අත් පොත් විය යුතු බව ලෙනින් කියා සිටියේය.
ප්‍රතිසන්ස්කරනවාදයද නැත්නම් විප්ලවයද?
අපේ සංවාදය සහ අවබෝධය පිණිස රෝසා ලක්සේම්බර්ග් විසින් රචිත ‘ප්‍රතිසංස්කරණද නැත්නම් විප්ලවයද'(Social Reform or Revolution)යන කෘතියේ ප්‍රධාන කරුණු කිහිපයක් ගෙන හැර පෑම උචිත බව මම විශ්වාස කරමි.මෙය වර්තමාන දේශපාලන සන්දර්භයට ද ඍජු ලෙස අදාලය.
(1) අනුක්රමිකවාදය(ප්‍රතිසන්ස්කරනවාදය) ප්‍රතික්ෂේප කිරීම:ධනපතික්‍රමය තුල ක්‍රමානුකුලව ප්‍රතිසංස්කරණ මගින් සමාජවාදයට යා හැකිය යන එඩ්වර්ඩ් බර්නස්ටී න්ගේ මතයට එරෙහිව රෝසා ලක්සේම්බර්ග් තර්ක කරයි.රෝසා ප්‍රකාශ කරන ආකාරයට ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය සහ විප්ලවය සඳහා වූ ව්‍යාපාරය එකිනෙකට වෙනස් වූ ඉලක්කයන් තෝරා ගනියි.’ප්‍රතිසංස්කරණ සඳහා වූ වැඩසටහන සමාජවාදය සාක්ෂාත් කර ගැනීම සඳහා නොව ධනපති ක්‍රමය ප්‍රතිසංස්කරණය අරමුණු කර ගනී.වැටුප් ශ්‍රමික ක්‍රමය නැති කර දැමීම නොව සුරාකෑම අඩු කිරීම ඉලක්ක කර ගනී.’
(2) ධනපති ක්‍රමය අසීමිතව වෙනස්කම් වලට අනුගත වෙමින් නය ක්‍රමයන් කාටලයන් වැනි යාන්ත්‍රණයන් ක්‍රියාත්මක කිරීම සහ ප්‍රජාත්නත්‍රවාදය පුළුල් කිරීම මගින් එහි කඩා වැටීම වලකා ගත හැකි බවට බර්න්ස්ටින්ගේ කියා පෑම රෝසා ලක්සේම්බර්ග් ප්‍රතික්ෂේප කරයි.මේ සාධකයන් ධනපති ක්‍රමයේ අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන් නැති නොකරනවා පමණක් නොව ඒවා තව දුරටත් උත්සන්න කරන බව රෝසා කියා සිටි.එම හේතුන් නිසා මහා අරාජිකත්වයකට මග පාදමින් අනිවාරණිය ලෙස ඇතිවන අර්බුදය ධනපති ක්‍රමයේ අවසානය ලං කරනු ලබයි.
(3) රෝසා පෙන්වාදෙන අයුරු නුතන රාජ්‍ය මුලික වශයෙන් පාලක පංතියේ (ධනපති පංතියේ) සංවිධානය බව පෙන්වා දෙයි.මේ රාජ්‍ය මගින් ඇති කරන ප්‍රතිසංස්කරණ අවසානවශයෙන් ධනපති පංතියේ පාලන වුවමනාවන් සහ සුරාකෑම පවත්වා ගැනීම පිණිස සේවය කරන අතර කම්කරු පංතියේ අව්‍යාජ වුවමනාවන් මුදුන් පමුණුවා ගැනීමට හේතු නොවේ.
(4) රෝසා ප්‍රතිසංස්කරණ සඳහා කරන අරගලයේ නියුක්ත වීම ප්‍රතික්ෂේප නොකරයි.ඉහල වැටුප්,වඩා හොඳ වැඩ කිරීමේ තත්වයන් සහ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කරන සටනින් ඇති වාසි සහගත තත්වයන් පිලි ගනියි.නමුත් දෛනික අරගලය තුලින් නිර්ධන පංතියේ පංති විඥානය සංවිධානය සහ විප්ලවය සඳහා වන සුදානම ඇති කල හැකි බව පෙන්වා දෙයි.
(5) ඉලක්කය වන්නේ සමාජ විප්ලවයයි.කම්කරු පංතිය දේශපලන බලය අල්වාගෙන නිෂ්පාදන මාධ්‍යන්ගේ පෞද්ගලික හිමිකාරත්වය අහෝසි කොට සාමූහික හිමිකාරත්වය ඇති කිරීම මගින් පවත්නා දේපල සම්බන්ධකම් පරිවර්තනය කිරීම සඳහා අත්‍යවාශයක දේශපලන නිර්මාණයක් අවශ්‍ය වෙයි.
(6) සමාජ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ දියකර හැරිය නොහැකි සම්බන්ධය වන්නේ සමාජයීය ප්‍රතිසංස්කරණ සහ විප්ලවය අතර ඇති සම්බන්ධයයි.ප්‍රතිසංස්කරණ සඳහා වූ අරගලය කම්කරු පංතිය දේශපාලන බලය ජයග්‍රහණය කිරීම පිනිස සුදානම් කරන නමුත් ධනපති සමාජයේ සිට සමාජවාදී සමාජයට ගුණාත්මක වශයෙන් මාරුවන විප්ලවීය ක්‍රියාව ට එය හුවමාරු කල නොහැකිය.
(7) කම්කරු පංතිය මාක්ස්වාදී න්‍යායයෙන් සන්නද්ධ වීමේ අවශ්‍යතාවය ගැන රෝසා අවධාරණය කරයි.ප්‍රතිසන්ස්කරනවාදී ප්‍රායෝගික දේශපාලනයට පක්ෂපාතිව විද්‍යාත්මක සමාජවාදයේ න්‍යායික පදනම අතහැර දැමීම කම්කරු පංතියට එහි විප්ලවාදී නිර්ධන පංතික ස්වභාවය අහෝසික කර සුළු ධනේශ්වර වුවමනා එපාකම්වලට එය යටපත් කිරීමට එරෙහිව රෝසා කරුණු දක්වයි.
(8) කුඩා පෙරටු බල ඇණි මධ්‍ය ගත පක්ෂයක් කරනු ලබන පැටවිමකට වඩා පංතිවීඥානය විප්ලවාදී අරගලය ඓන්ද්‍රිය ලෙස පන නගින්නේ බහු ජන ක්‍රියාවන්ගේ (වැඩ වර්ජන,විරෝධය පෑම් වැනි) ඍජු බහු ජන ක්‍රියාවන් බවට රෝසා තර්ක කරයි.
ලෝක සමාජවාදී ව්‍යාපාරය තුල විප්ලවය සහ අවස්ථාවාදය අතර අරගලය නිරතුරුවම පවතියි.එමනිසා රෝසා පෙන්වාදෙන කරුණුවල අදාලත්වය අවස්ථාවාදය දේශපාලන ක්‍රියාමාර්ගයක් වශයෙන් හඳුනා ගැනීමේදී ඉමහත් වැදගත් කමක් දරයි.පළමු ලෝක සංග්‍රාමය තුල මෙන්ම 1962 සෝවියට් සංගමය සහ චීනය අතර ඇති වූ මහා විවාදය මෙහිදී කැපී පෙනෙන සන්ධිස්ථානයන් වෙයි.
සමාජවාදයද නැත්නම් ම්ලේචත්වයද ?
රෝසා ලක්සේම්බර්ග් විසින් 1915 දී රචිත Junius Pamphlet හි ධනේශ්වර සමාජය තීරණාත්මක මන් සන්ධියකට පැමිණ ඇති බවත් එක්කෝ එය සමාජවාදය දෙසට ගමන් කල යුතු බවත් නැත්නම් ම්ලේචත්වයට අපගත විය යුතු බවත් පෙන්වාදුන්නේය.රෝසා විසින් මේ රාමුව පාවිච්චි කරනු ලැබුවේ පළමු ලෝක සංග්‍රාමයෙන් සිදුව ඇති විනාශය විවේචනය කිරීම, ම්ලේච්චත්වයේ සැබෑ ස්වරුපය පෙන්වීම පිණිසය.1918 ජර්මානු කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමට පවතී රැස්වීම අමතමින් ඇය අවධාරණය කලේ ලෝකය මුහුණ දෙමින් සිටින මහා අනතුර වන්නේ එක්කෝ සමාජවාදය නැත්නම් ම්ලේච්ච්තාවය දක්වා පහලට වැටීමයි.රෝසා මෙහිදී ෆ්‍රෙඩ්රික් එංගල්ස් විසින් එයට පරම්පරාවකට පමණ පෙර මෙය දැක තිබුණු බව කියා සිටියාය.1878 Anti -During හි එංගල්ස් ප්‍රකාශ කලේ ‘එක්කෝ විනාශය නැත්නම් විප්ලවය’යි.
රෝසා ලක්සේම්බර්ග්ට මේ ම්ලේචත්වය වියුක්ත සංකල්පයක් නොව ඇය ජිවත් වූ කාලයේ සංයුක්ත යථාර්තය විය.එම යථාර්තය සම්න්විත් වුයේ එක්කෝ අධ්රජ්‍යවාදයේ ජයග්‍රහණය සහ ශිෂ්ටාචාරයේ බිඳ වැටීමයි. එනම් මහා විශාල ජනහරනයක්,ජන ශුන්‍යතාව සහ ලෝක ගැටුමින් ඇති වූ මහා සුසාන භූමියක් නිර්මාණය වෙයි. මෙය සංස්කෘතික විනාශය සහ ධනපති අරාජිකත්වයේ නිරුවත් බව පෙන්වීමකි.
අද ඇමරිකානු අධිරාජ්‍යවාදය රටවල් ආක්‍රමණය කිරීම සහ එයට දක්වන නිරන්තර සුදානම ද පෙන්වන්නේ රෝසා පෙන්වාදුන් මේ ම්ලේච්චත්වයයි.
රෝසාගේ උරුමය
රෝසා ලක්සේම්බර්ගේ දේශපාලන උරුමය ඇයගේ මරණයෙන් පසුව ලෙනින් ඉල්ලා සිටි පරිදිදෙන්ම අනාගත කොමියුනිස්ට්වරු පුහුණු කිරීම උදෙසා සිදු වුයේ නැත.රෝසා විසින් පිහිටවූ ජර්මානු කොමියුනිස්ට් පක්ෂය මෙන්ම සෝවියට් රුසියාවේ බෝල්ෂෙවික් පක්ෂය ද ලෙනින්ගේ ඉල්ලීම සහ අපේක්ෂාව ඉටු කලේ නැත.එනමුදු පෝලන්ත ජාතිකයන් රෝසාගේ දායාදය කිසිම වෙනසක් නොකොට ලෙනින්ගේ මරණයෙන් පසුව එය බහාලා තිබු මංජුසාවෙන් එලියට ගත් බවසුප්‍රසිද්ධ යුරෝපිය දේශපාලන විචාරිකාවක් සහ දාර්ශනිකාවක් වන හැනා අරන්ට් Men in Dark Times නම් කෘතියේ පෙන්වා දෙයි.හැනා තවදුරටත් පෙන්වා දෙන්නේ රෝසා යනු කව්ද සහ ඇය කල දේ කුමක්ද යන්න ප්‍රමාද වී හෝ පිළිගැනිම රෝසා අවසාන වශයෙන් බටහිර රටවල දේශපාලන විද්‍යාඥයන්ගේ අධ්‍යාපනයෙහි අවසානයේ ඇයට හිමි හිමිවන ස්ථානය ලැබෙන බවට විශ්වාස කල හැකි බවය.
හනා ගේ පැහැදිලි කිරීම අගය කරමින් ප්‍රකාශ කල හැක්කේ රෝසා ලක්සේම්බර්ග් ගේ දේශපාලන ලියකියවලි සහ ඇයගේ භාවිතාව යුරෝපිය දේශපාලනයට පමණක් නොව ලොව පුරා නිර්ධන පාංතික දේශපාලන සම්ප්‍රදායන් ට අයත් වන බව මෙන්ම ලෙනින් අපේක්ෂා කල පරිදිම කොමියුනිස්ට් වරු ගේ පංතිවිඥානය ඉහල එසවීමට අයගේ දායාදයන් ඉවහල් වන බවයි.
රෝසා එදා රාත්‍රියේ දී දක්ෂිණාංශික පරා මිලිටරි කරුවන්ගේ පහර දීම් වලින් ලැබූ පීඩාව සහ දැඩි වේදනාව අපේ රටේ දහස් ගණන් තරුණ තරුණියන් සිය අවසාන මොහොත එළඹීමට කලින් අත් විඳ ඇති නිසා ඒ ගැන මෙනෙහි කිරීම අතිශයින්ම දුෂ්කරය.නමුත් අපි එය හොඳින් අත් දැක ඇත්තෙමු.ඔබ පැතු ලොවට මිනිස් සංහතිය ඔබගේ ධෛර්ය,නිර්භීතකම සහ කැපවීම නොඅඩුව ගෙනයන දවසක් එළඹෙනු ඇත.
රෝසා ඔබට සුභ ගමන්!!!






