Breaking News

දිට්වා ව්‍යසනයෙන් පසු සහනයක් ලබාගැනීම වෙනුවට ඉලක්ක කල් දමයි

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ බලපෑම් හේතුවෙන් ශ්‍රී ලංකාව සමග ඇති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ඉලක්කවල සංශෝධනයක් සිදු වීමට නියමිතය.

ඒ සම්බන්ධයෙන් වන සාකච්ඡා ඉදිරි කාලයේ දී රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වීමට නියමිතය.

දිට්වා සුළි කුණාටුවෙන් මෙරටට සිදු වූ අහිතකර බලපෑම් හේතුවෙන් මෙරට ආර්ථික තත්ත්වයට හා ආර්ථික ඉලක්කවලට සිදුව ඇති වෙනස්කම් මෙයට හේතු වී ඇත.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග වැඩසටහන්වලදී හැමවිටම ක්‍රියාත්මක වෙන්නේ යම් රටක සාකච්ඡා පවත්වන අවස්ථාවේ පවතින ආර්ථික තත්ත්වයයි.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ බලපෑම් හේතුවෙන් ආර්ථිකයේ සිදුව ඇති වෙනස නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ ඉලක්ක ද වෙනස් විය යුතු අතර ඒ ගැන රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරි හමුවේ දී සාකච්ඡා පැවැත්වීමට නියමිතය.

මෙය බලාපොරොත්තු නොවූ අනපේක්ෂිත තත්ත්වයක් නිසා ඇතිවෙන අමතර වියදම් අවශ්‍යතා හේතුවෙන්, මේ වසරේ (2026) අයවැයේ ද වෙනස්කම් සිදුවේ.

2025 දෙසැම්බර් 15 වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය වැඩසටහනේ පස්වැනි සමාලෝචනය සම්පූර්ණ කිරීමට නියමිතව පැවතිය ද එය කල් ගියේය.

සුළි කුණාටුව නිසා ආර්ථිකයට සිදු වූ බලපෑම සම්බන්ධයෙන් ඇස්තමේන්තුවක් සිදුකර ඒ සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා තෙක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පස්වන සමාලෝචනය කල්දැමීමට එම අරමුදල තීරණය කර ඇත. ඒ වෙනුවට ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 206 ක හදිසි ණය පහසුකමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කරනු ලැබිණි.

දැන් අවශ්‍ය වන්නේ නැවත සාකච්ඡා කර මීට පෙර එකඟ වූ ණය ගිවිසුම් නැවත වෙනස් කර ගැනීමයි. ඒ හරහා අපට අහිමි වූ සහනය නැවත ලබාගැනීමට උත්සහ කිරීමයි. ණය ගෙවීමේ සමාලෝචනය කල් දැමීම සහ තවත් ණය පහසුකමක් හරහා අපේ ගැටළු උග්‍රවීම මිස විසඳීමක් සිදු නොවේ. ආණ්ඩුව මෙම ව්‍යසනයෙන් පසු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකමට අමතරව ඉන්දියාවෙන් ද ණය මුදලක් ලබාගෙන තිබේ. අප ආර්ථික අර්බුදයත් සමඟ පැටලුනු උගුලෙන් ගොඩ ඒම වෙනුවට නැවත නැවතත් ණය උගුල්වල පැටලෙන බව ප,පමණක් පෙනෙන්නට තිබේ.

leave a reply