නකල්ස් ලෝක උරුම වනාන්තරය වැනසීමට ඊ. එම්. බස්නායක හා ජගත් මනුවර්ණ යන පාර්ලිමේන්තු මන්ත්‍රිවරු සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් ව්‍යාපාරිකයන් හා එක් ව නීති විරෝධී සැලැසුම් අනුමත කරයි
සජීව චාමිකර – ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය
නකල්ස් සංචාරක කවය සහ නකල්ස් සෆාරි ජීප් හිමිකරුවන් කිහිපදෙනෙකු එක් ව වත්මන් ආණ්ඩුවේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. එම්. බස්නායක සහ ජගත් මනුවර්ණ සමඟ සාකච්ඡා කර නකල්ස් සංරක්ෂණ වනාන්තරය නැතහොත් නකල්ස් ලෝක උරුම වනාන්තරය තුළ පිහිටි තංගප්පුව සිට අට්ටලමෙට්ටුව, කෝබට්ස්ගැප් දක්වා විහිදී ඇති කිලෝමීටර 8 ක් පමණ දිගින් යුතු ඉතා ම සංවේදී කඳුකර වනාන්තර පද්ධතිය තුළින් විහිදී ඇති වනමංපෙත කාපට් අතුරා සකස් කිරීමට සහ සෆාරි ජීප් රථ ධාවනය කිරීම සඳහා අනුමැතිය ලබා ගෙන තිබේ.

ජගත් මනුවර්ණ මන්ත්‍රිවරයා ගේ මැදිහත්වීම මත මෙම මාර්ගය සකස් කිරීමට නීති විරෝධී අනුමැතිය පළමු ව ලබා දී ඇත්තේ නකල්ස් සංචාරක කවයේ නිලධාරීන් ගේ මැදිහත්වීම මත ය. ඉඩම් පරිහරණ සැලැසුම් දෙපාර්තමේන්තුව මගින් සංචාරක ව්‍යාපාරය පිළිබඳ ව සාකච්ඡා කිරීම සඳහා 2025 අගෝස්තු මස 22 වන දින තංගප්පුව, රංගල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ දී පැවති සාකච්ඡාවේ දී එම අනුමැතිය ලබා දී තිබේ. එම රැස්වීම සඳහා ජගත් මනුවර්ණ මන්ත්‍රිවරයාට අමතර ව සංචාරක අමාත්‍යවරයා ගේ පෞද්ගලික ලේකම්, මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් හා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහභාගී වී තිබේ. ඒ අනුව වත්මන් රජයේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” සංකල්පය යටතේ තෙල්දෙනිය – කෝබට්ස්ගැප් මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීම මධ්‍යම පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් සිදු කෙරේ. මෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට සිදු කෙරෙමින් පවතින අතර රංගල සිට තංගප්පුව දක්වා නකල්ස් සංරක්ෂණ වනාන්තරයෙන් පරිබාහිරව පිහිටි ග්‍රාමීය මාර්ග කොටස මේ වන විට සංවර්ධනය කරමින් පවතී. ඉන් පසු ව තංගප්පුව සිට කෝර්බට්ස්ගැප් දක්වා නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ පිහිටි කිලෝමීටර 8 ක් පමණ වන කඳුකර වනමංපෙතේ බෝක්කු සකස් කර, මාර්ගය පුළුල් කර, කාපට් ඇතිරීමට නියමිත ව ඇත.
ඒ අතරතුර 2025 සැප්තැම්බර් මස 30 වන දින හා ඔක්තොම්බර් මස 30 වන දින මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ දී, නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ නීති විරෝධී ඉඩම් ජාවාරම් ඇතුළු හානිකර ක්‍රියාවල අඛණ්ඩ ව නිරත වන හෝටල් හිමිකරුවන් හා සෆාරි ජීප් හිමිකරුවන් කිහිපදෙනෙකු ගේ යෝජනාවක් මත ඊ. එම්. බස්නායක මන්ත්‍රිවරයා හා මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් නුවන් සී. හේමකුමාර විසින් මෙම වනමංපෙත විවෘත කර එහි සෆාරි ජීප් රථ ධාවනයට නීති විරෝධී ව අවසර ලබා දී තිබේ. මේ සියල්ල සිදු වන්නේ නකල්ස් හෙවත් දුම්බර අඩවියේ ඉතා ම සංවේදී මෙන් ම දුම්බර අඩවියට පමණක් ආවේණික ජීවී විශේෂ රැසක ගේ ප්‍රධාන වාසස්ථානයක් තුළ වීම කණගාටුවට කරුණකි.

මෙම නීති විරෝධී ක්‍රියා සියල්ල මෙහෙයවීම සිදු කරන්නේ තංගප්පුව, රංගල, ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නායක හිමියන් වන ආචාර්ය කැන්දගොල්ලේ සුමනරංසි හිමි ගේ ප්‍රධානත්වයෙන් තංගප්පුව, නකල්ස් බේස් කෑම්ප් හෝටලයේ හිමිකරු වන ඩික්සන් තෙන්නකෝන්, තංගප්පුව, නකල්ස් සයිලන් බංග්ලෝ හි හිමිකරු වන ජී. කේ. ජී. ගුණතිලක මෙන් ම මේ ප්‍රදේශයේ හෝටල් හිමිකරුවන් සහ ව්‍යාපාරිකයන් වන ආර්. මදුරසිංහ, ආර්. ජී. ඩබ්ලිව්. ඩී. තිසේරා, ඒ. එම්. ජී. සී. බණ්ඩාර, එස්. එම්. ත්‍රිනේෂම්, ඩී. එස්. දූල්වල, ඩී. එස්. තෙන්නකෝන්, ඒ. එස්. ජයතිලක, කේ. ජී. කේ. ධර්මරත්න සහ ඩී. පී. කුරුප්පු යන අය ගේ මැදිහත්වීම තුළිනි.
මුළු ලොවින් ම දුම්බර අඩවියට නැතහොත් නකල්ස් කඳුකරයට පමණක් සීමා වී ඇති ඉතා ම දුර්ලභ සත්ත්ව විශේෂ ගණනාවක් වාර්තා වන ප්‍රදේශයක් තුළ මෙම මාර්ගය සංවර්ධනය කිරීමෙන් එම විශේෂවල ක්ෂුද්‍ර වාසස්ථාන රැසක් විනාශ වීමට නියමිත ය. වනාන්තර ඉවත් කර කාපට් අතුරා මාර්ගය විවෘත වූ විට පරිසර උෂ්ණත්වය ඉහළ යාම හා නිරන්තරයෙන් වාහන ගමනාගමනයේ දී සිදු වන බාධා හේතුවෙන් ඉතා සංවේදී ක්ෂුද්‍ර වාසස්ථාන විනාශ වී ඒ හා බැඳුණු සතුන් ගේ සීමිත ගහනයන් වඳවීම සිදු වේ. එපමණක් නොව මාර්ග සකස් කිරීමට වනාන්තර එළිපෙහෙළි කළ විට විවෘත වූ ප්‍රදේශවල දරුණු ආක්‍රමණික ශාකයක් ලෙස කටකළු බෝවිටියා ශාකය පදුරු ස්ථරයේ වර්ධනය වේ. එවිට මෙම ආවේණික ජීවීන් ගේ වාසස්ථාන තව දුරටත් බලපෑමට ලක් වේ. ඊට අමතර ව මාර්ග අනතුරු හේතුවෙන් බොහෝ සතුන් ප්‍රමාණයක් මිය යාමට ලක් විය හැකි ය. මේ නිසා ඉතා දුර්ලභ හා දුම්බර අඩවියට පමණක් ආවේණික මෙම ජීවී ගහනයන් අඩු වීමෙන් මේ සතුන් මුළු ලොවින් ම වඳවීයාම මේ වැරදි සංවර්ධන ව්‍යාපෘති නිසා සිදු වනු ඇත.

පොහොසත් රටක් ලස්සන ජීවිතයක් රටවැසියන්ට අහිමි කිරීම වත්මන් ආණ්ඩුව බලයට පත් වීමට ප්‍රථම ජනතා ව සමඟ සම්මුතිගත වූ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිරසර ජෛව ලෝකයක් – සදාහරිත ජීවිතයක් කොටසෙහි මූලධර්ම ලෙස දක්වා ඇත්තේ පාරිසරික යුක්තිය හා සාධාරණත්වය, පරිසර පද්ධති ප්‍රවේශය, පාරිසරික යහපාලනය හා පාරිසරික ආරක්ෂාව යන සංකල්පයන් ය. එපමණක් නොව සංවේදී පාරිසරික කලාප ප්‍රකාශයට පත් කර සුරක්ෂිතතාව තහවුරු කිරීම, ආර්ථික හා සමාජයීය කටයුතු සඳහා කඳුකර වනාන්තර භාවිතයට ගැනීම නියාමනය වැනි සාධනීය කරුණු ගණනාවක් සඳහන් කර තිබේ.
මීට අමතර ව ජනතාව සමඟ සම්මුතිගත වූ ජාතික ජන බලවේගයේ “මිහිකත පරිසර ප්‍රතිපත්තියේ” සඳහන් වන ආකාරයට දැනට විද්‍යානුකූල ව හඳුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති පාරිසරික ව දැඩි සංවේදී කලාප නිශ්චිත ව තහවුරු කිරීම සිදු කරන බවට ජනතාවට පොරොන්දු දී ඇත.
නමුත් ඒ සියල්ල ඊ. එම්. බස්නායක හා ජගත් මනුවර්ණ යන ආණ්ඩුපක්ෂ මන්ත්‍රිවරුන් විසින් උල්ලංඝනය කර තිබේ. වත්මන් හා අනාගත පරපුරට අයත් ස්වාභාවික සම්පත් ජාවාරම්කරුවන් කිහිපදෙනෙකුට අවශ්‍ය පරිදි හැසිරවීමට මෙම මන්ත්‍රිවරුන් උත්සාහ ගැනීමෙන් පෙනී යන්නේ වත්මන් ආණ්ඩුව ජනතාව සමඟ ඇති කර ගත් සම්මුති සම්පූර්ණයෙන් ම බිඳ දමා ඇති බව ය. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන පෙර පැවති ආණ්ඩු සකස් කළ ප්‍රතිපත්ති ප්‍රකාශන මෙන් ම ජනතාව මුලා කිරීමට සකස් කළ හුදු ලේඛණ පමණක් ම බව වත්මන් ආණ්ඩුව ද තහවුරු කර ඇත.
දුම්බර අඩවියේ සුවිශේෂී ජෛව උරුමය
දුම්බර අඩවිය ආරක්ෂා කර ගැනීමට හා එය අවභාවිතය වැළැක්වීමට පියවර ගත යුතු වන්නේ එහි පවතින අමිල වටිනාකම නිසා ය. සමස්ත දුම්බර කඳුකරය ම ලංකාවේ දිග ම ගංගාව වන මහවැලි ගඟේ ප්‍රධානත ම ජල පෝෂක ප්‍රදේශය යි. මහවැලි ගගේ ජල පෝෂක ප්‍රදේශ අතුරින් 30්‍ර ක් පමණ ආවරණය වන්නේ දුම්බර කඳුකරයෙනි. මේ කඳුකරයේ බටහිර බෑවුමෙන් පටන්ගන්නා හුළු ගඟත්, නැගෙනහිර බෑවුමේ උතුරු කොටසින් පටන් ගන්නා කළු ගඟත්, නැඟෙනහිර බෑවුමේ දකුණු කොටසින් පටන් ගන්නා හීන් ගඟත් මහවැලි ගඟේ ප්‍රධාන පෝෂක දියදහරාවන් වෙයි.
මුහුදු මට්ටමේ සිට මීටර් 760 ත් මීටර් 1900 ත් අතර උච්චත්ව පරාසයේ පිහිටි සමස්ත දුම්බර කඳුකරයේ පැහැදිලි ව හඳුනාගත හැකි කඳු මුදුන් 35 ක් සහ කඳුවැටි 17ක් පමණ වෙයි. ඒ අතුරින් උස ම කඳුශිඛරය ගොම්බානිගල කඳුශිඛරය වෙයි. එහි උස මීටර 1904 කි. මීට අමතර ව නකල්ස් (මිටර 1862), කිරිගල්පොත්ත (මීටර 1646), දුම්බානාගල (මීටර 1642), කළුපහන (මීටර 1628), වමාරපුගල (මීටර 1558), දෝතළුගල (මීටර 1553), කෙහෙල්පොත්දෝරුවගල (මීටර 1528), පතනගල (මීටර 1514), තෙලඹුගල (මීටර 1331) හා ලකේගල (මීටර 1317) වැනි කඳුශිඛර ගණනාවකි.
මෙම කඳුවැටිවලින් සමන්විත දුම්බර කඳුකරයේ විවිධ වූ ස්වාභාවික පරිසර පද්ධතීන් හි අධික විවිධත්වයක් දැකගත හැකි වේ. තෙත් කඳුකර වනාන්තර (වළාකුළු වනාන්තර), කුරු වනාන්තර, තෙත් උප කඳුකර වනාන්තර, අතරමැදි කලාපීය කඳුකර වනාන්තර, වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, ගංගාශ්‍රිත වනාන්තර, තෙත් පතන තෘණ බිම්, වියළි පතන තෘණ බිම්, ළඳු කැලෑ බිම් දුම්බර කඳුකරයේ ව්‍යාප්ත ව ඇත.
මෙම ස්වාභාවික පරිසර පද්ධතිවල අධික ශාක විවිධත්වයක් දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ, වලාකුළු වනාන්තර හෙවත් ඉහළ කඳුකර වනාන්තර ප්‍රදේශයේ මෙරටට ආවේණික කීන විශේෂ (Calophyllum trapezifolium, Calophyllum walkeri), ආවේණික ශාක විශේෂයක් වන Garcinia echinocarpa, කඳුකරයේ පමණක් වාර්තා වන මෙරටට ආවේණික දුර්ලභ නෙළු ශාක විශේෂ (Strobilanthes pulcherrima, Strobilanthes sexennis) දැකගත හැකි වේ. උප කඳුකර තෙත් වනාන්තර ආශ්‍රිත ව ලංකාවට ආවේණික මල් වෙරළු (Elaeocarpus gladulifer), මෙරටට ආවේණික මලබොඩ (Myristica dactyloides) වැනි ශාක ද, අතරමැදි කලාපීය කඳුකර වනාන්තරයන්හි මෙරටට ආවේණික මැටිදවුල (Actinodaphne stenophylla), ඇටවීර (Drypetes gardneri) වැනි ශාක ද දැකගත හැකි වේ. වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර ආශ්‍රිත ව මොර (Dimocarpus longan), ගැට බදුල්ල (Semecarpus nigroviridis), මිල්ල (Vitex altissima) වැනි ශාක වාර්තා වේ. ගංගාශ්‍රිත වනාන්තර තීරයේ තිඹිරි (Diospyros malabarica), කොටදිඹුල (Ficus hispida), අට්ටික්කා (Ficus racemosa), මෙරටට ආවේණික ඇටඹ (Mangifera zeylanica& වැනි ශාක දක්නට ලැබේ. තෙත් පතන් තෘණභූමි ආශ්‍රීත ව ඇත්අඩි (Elephantopus scaber), ආවේණික බිනර (Exacum trinervium), වැල් පත්පාඩගම් (Mollugo oppositifolia), පිටවක්කා (Phyllanthus debilis) හා නිල්මොනරැස්ස (Utricularia bifida) වැනි ශාක ද වියළි පතන් බිම්වල රුක්අත්තන (Alstonia scholaris), හීන් ඇටෝර (Cynodon dactylon), මානා (Cymbopogon nardus), ඉළුක් (Imperata cylindrica, Themeda tremula) වැනි ශාක විශේෂ ගණනාවක් දැකිය හැකි ය.
දුම්බර අඩවියේ විවිධ වූ පරිසර පද්ධතීන්හි ශාක විවිධත්වය පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් මේ වන විට සිදු කර නොමැති වුව ද ලෝක සංරක්ෂණ සංගමය මඟින් සිදු කැරුණු අධ්‍යයනයට අනුව කුල 141 කට අයත් සපුෂ්ප ශාක විශේෂ 1033 ක් මේ ප්‍රදේශයෙන් හඳුනාගෙන තිබේ. ඒ අතුරින් ශාක විශේෂ 160 ක් ලංකාවට ආවේණික වේ. මේ අතර ශාක විශේෂ 225 ක් දැවමය විශේෂ වන අතර, ඉතිරිය පඳුරු හෝ පැළෑටි වෙයි. ලංකාවේ වාර්තා වී ඇති සමස්ත ශාක විශේෂ අතුරින් සියයට 27.4 ක් පමණ සහ, ලංකාවට ආවේණික ශාක විශේෂ අතුරින් සියයට 17.3 ක් පමණ දුම්බර කඳුකරයෙන් වාර්තා වීම මේ වන අඩවියේ සුවිශේෂත්වය යි. මුළු ලොවින් ම දුම්බර අඩවියට පමණක් සීමා වූ ශාක විශේෂ හයක් වෙයි. කීන විශේෂයක් වන Calophyllum cuneifolium, දඹ විශේෂ වන Syzygium congylos, Syzygium madugodensis හා Eugenia apica යන ශාක විශේෂ හතර සහ මෑතක දී සොයා ගත් ෂකැං නබමජ්කැබිසි ශාකය දුම්බර අඩවියට ආවේණික ශාක වෙයි. දුම්බර අඩවියේ පිටවල පතන වැනි පතන් බිම්වල දක්නට ලැබෙන පතන් අල (Brachystelma lankana) ශාකය ද දුම්බර අඩවියට ආවේණික ශාක අතර වෙයි.
විශේෂයෙන් කඳුකර තෙත් වනාන්තර, උප කඳුකර තෙත් වනාන්තර හා ගංගාශ්‍රීත වනාන්තරයන්හි උඩවැඩියා හා මීවන ශාක බහුල ව දැකගත හැකි වේ. දුම්බර කඳුකරයේ දැක ගත හැකි උඩවැඩියා ශාක විශේෂ අතර Adrorhizon purpurascens, Eria bicolor, Podochilus falcatus, Malaxis purpurea, Pholidota imbricata හා රාස්සන (Vanda tessellata) වැනි ශාක වෙයි.
මෙහි මීවන ශාක විශේෂ 42 ක් හඳුනාගෙන ඇති අතර ඉන් විශේෂ 06 ක් ලංකාවට ආවේණික වෙයි. දුර්ලභ මීවන ශාක විශේෂ වන Elaphoglossum spathulatum, Botrychium daucifolium, Huperzia phyllantha හා Psilotum nudum දුම්බර අඩවියෙන් වාර්තා වේ.
දුම්බර කඳුකරයේ සත්ත්ව විවිධත්වය පිළිබඳ ව සැලැකීමේ දී පෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ පහ පිළිබඳ ව හා අපෘෂ්ඨවංශී සත්ත්ව කාණ්ඩ වන සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් ගේ විවිධත්වය පිළිබඳ ව සැලැකිය යුතු අධ්‍යයනයන් සිදු කර තිබේ. ලෝක සංරක්ෂණ සංගමය, විවිධ පර්යේෂකයන් සහ මේ ලියුම්කරු විසින් ඉහත සත්ත්ව කාණ්ඩ හත පිළිබඳ ව සිදු කළ අධ්‍යයනයන් ගේ දත්ත සම්පිණ්ඩනය කැරුණු විට මෙහි සත්ත්ව විවිධත්වය පිළිබඳ ව මනා අවබෝධයක් ලබාගත හැකි වේ.
උභයජීවීන්, උරගයන්, මත්ස්‍යයන්, පක්ෂීන්, ක්ෂීරපායින්, සමනළයන් හා ගොඩ ගොළුබෙල්ලන් යන සත්ත්ව කාණ්ඩ හතට අයත් විශේෂ 479 ක් දුම්බර කඳුකරයෙන් වාර්තා වේ.
මුළු ලොවින් ම දුම්බර කඳුකරයේ පමණක් ජීවත් වන උභයජීවී විශේෂ නවයක් වෙති. එනම් දුම්බර පඳුරු මැඬියා (Pseudophilautus fulvus), හොෆ්මාන් ගේ පඳුරු මැඬියා (Pseudophilautus hoffmanni), විශාල පාදැති පඳුරු මැඬියා (Pseudophilautus macropus), මුරි ගේ පඳුරු මැඬියා (Pseudophilautus mooreorum), ස්ටෙයිනර් ගේ පඳුරු මැඬියා (Pseudophilautus steineri), ස්ටුවර්ට් ගේ පඳුරු මැඬියා (Pseudophilautus stuarti), හැන්කේන්ගේ පඳුරු මැඬියා (Pseudophilautus hankeni), දුම්බර ගල්පර මැඬියා (Nannophrys marmorata) සහ දුම්බර වකරැලි මැඬියා (Lankanectes pera) යන විශේෂ නවයයි.
දුම්බර කඳුවැටියෙන් වාර්තා වන මත්ස්‍ය විශේෂ අතුරින් එක් විශේෂයක් දුම්බර කඳුවැටියට ආවේණික වන අතර තවත් විශේෂ දෙකක් වන ගඩයා (Labeo fisheri) හා දුම්බර පෙතියා (Systomus martenstyni) දුම්බර කඳුකරයට හා ඒ අවටින් පිහිටි මහවැලි ගඟේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වේ. දුම්බර කඳුකරයට ම පමණක් ආවේණික මත්ස්‍ය විශේෂය මල් පෙතියා හෙවත් දන්කුඩු පෙතියා (Dawkinsia srilankensis) ය. බොහෝ විට දුම්බර පෙතියා දුම්බර කඳුකරයට ආවේණික විශේෂයක් ලෙස විස්තර කළ ද ඒ විශේෂය මහවැලි ගඟේ දෙකේ ඇළ දක්වා ම වාර්තා වන බව පර්යේෂණයන් ගෙන් තහවුරු වී තිබේ. මීට අමතර ව තවත් මත්ස්‍ය විශේෂ කිහිපයක් දුම්බර කඳුකරයට ආවේණික විශේෂ බවට ඉදිරියේ දී පත් විය හැකි බව ඒ පිළිබඳ ව පර්යේෂණ සිදු කරන විද්වතුන් ගේ විශ්වාසය යි.
මෙරට වාර්තා වන සිවුපා උරගුන් අතුරින් විශේෂ හතරක් හා සර්ප විශේෂ අතුරෙන් තුනක් මුළු ලොවින් ම වාර්තා වන්නේ දුම්බර අඩවියෙන් පමණි. එනම් දුම්බර අඟ කටුස්සා හෙවත් පත්‍ර අඟ කටුස්සා (Ceratophora tennentii), දුම්බර කුරු බෝදිලිමා හෙවත් දුම්බර කුරු කටුස්සා (Cophotis dumbara), පෙතියාගොඩගේ දැතිකොණ්ඩ රහිත කටුස්සා (Calotes pethiyagodai), ස්මිත්ගේ සර්ප හීරළුවා (Nessia bipes) යන සිව්පා උරගුන් හා සර්ප විශේෂ වන ෆිලිප්සිගේ තුඩුල්ලා (Rhinophis phillipsi), ගුණසේකරගේ තුඩුල්ලා (Rhinophis gunasekarai) හා දසිල්වාගේ මැඩිල්ලා (Aspidura desilvai) ඒ අතර වේ.
මීට අමතර ව ලංකාවට ආවේණික පක්ෂි විශේෂ 35 අතුරින් 32 ක් ම දුම්බර කඳුකරයෙන් වාර්තා වේ. දුම්බර කඳුකරයේ වාර්තා නොවන්නේ සබරගමු කඳුවැටියෙන් පමණක් වාර්තා වන ආවේණික පක්ෂි විශේෂ තුන පමණකි. ලංකාවට ආවේණික දුර්ලභ පක්ෂි විශේෂ වන මයිලගොයා (Sri Lanka Woodpigeon), ගුරුකොණ්ඩයා (Yellow – eared Bulbul), ලංකා අරංගයා (Sri Lanka Whistling Thrush), ලංකා හම්බු කුරුල්ලා (Sri Lanka Warbler), අඳුරු නිල් මැසිමාරා හෙවත් කොපි කුරුල්ලා (Dusky – blue Flycatcher), කඳුකර මල් කුරුල්ලා (Hill White – eye), කැහිබෙල්ලා (Sri Lanka Blue Magpie) වැනි පක්ෂීහු රැසක් දුම්බර කඳුකරයේ විවිධ පරිසර පද්ධතීන්හි ජීවත් වෙති.
දුම්බර අඩවියේ වාර්තාවන මකුළුවන් පිළිබඳ ව පුළුල් අධ්‍යයනයක් සිදු කර නොමැති වුව ද 2000 වසරේ දී S.P. Benjamin සහ R.Jocque යන විද්‍යාඥයන් විද්‍යා ලොවට හඳුන්වාදුන් Suffasia mahasumana නම් ලංකාවට ආවේණික මකුළු විශේෂය වාර්තාවන්නේ දුම්බර අඩවියෙන් පමණි.
මීට අමතර ව දුම්බර අඩවියේ පමණක් ජීවත් වන ලංකාවට ආවේණික මිරිදිය කකුළු විශේෂ හතරක් ද වේ. එනම්, Ceylonthelphusa sanguinea, Ceylonthelphusa callista, Ceylonthelphusa cavatrix හා Perbrinkia fido ය. මේ ජීවී විශේෂ සියල්ල දුම්බර අඩවියේ අද්විතීය ජෛව උරුමයේ මහා සාධකයන් වේ. මෙම ජෛව උරුමය අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කර ගැනීමට නම් දුම්බර අඩවිය වනාන්තර පද්ධතියක් ලෙස සංරක්ෂණය කිරීම අත්‍යවශ්‍ය වේ.
දුම්බර අඩවියේ නීතිමය ආරක්ෂාව
හෙක්ටයාර 21,000 ක් පමණ ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත ව ඇති සමස්ත දුම්බර කඳුකරයෙන් ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 0.32 ක් පමණ ආවරණය වී ඇත. දුම්බර කඳුකරයේ වනාන්තරවලට පළමු ව ආරක්ෂාව ලබා දෙන ලද්දේ ඉංග්‍රීසින් විසිනි. ඒ 1873 දී දුම්බර කඳුකරයේ මීටර 1500 ට වඩා ඉහළ (අඩි 5000 ට වඩා ඉහළ) වළාකුළු වනාන්තර ප්‍රදේශ දේශගුණික රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කරමිනි. ඉන් වසර 127ක ට පසුව 2000 වසරේ දී වන සංරක්ෂණ ආඥා පනත යටතේ සංරක්ෂණ වනාන්තරයක් ලෙස ප්‍රකාශයට පත් කෙරින. පසුව 2007 වසරේ දී ජාතික පාරිසරික පනත යටතේ පරිසර ආරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් 2008 වසරේ දී පස සංරක්ෂණ පනත යටතේ පස සංරක්ෂණ ප්‍රදේශයක් ලෙසත් ප්‍රකාශයට පත් කර ඇත. මෙවන් වූ නීතිමය ආවරණයන් ගණනාවක් දුම්බර අඩවියට ලබා දී ඇත්තේ එහි ඇති මිල කළ නොහැකි භූ විද්‍යාත්මක, ජෛව විද්‍යාත්මක හා සාම්ප්‍රදායික ජන උරුමයේ වටිනාකම නිසා ය.
ඒ හේතුවෙන් ම 2010 වසරේ දී ලංකාවේ ඉහළ කඳුකරයට අයත් දුම්බර අඩවිය ලෝක උරුම ප්‍රදේශයක් ලෙස එක්සත් ජාතීන්ගේ යුනෙස්කෝ සංවිධානය (UNESCO – United Nations Educational, Scientific and Cultural Organization) මඟින් ප්‍රකාශයට පත් කර තිබේ. එසේ ප්‍රකාශයට පත් කර ඇත්තේ ප්‍රංශයේ පැරිස් නුවර දී 1972 නොවැම්බර් 16 වන දින සම්මත කර ගැණුනු ලෝකයේ ස්වාභාවික හා සංස්කෘතික උරුමයන් ආරක්ෂා කිරීමේ සම්මුතිය (Convention concerning the protection of the world cultural and naturel heritage – 1972) යටතේ ය. ශ්‍රී ලංකාව මෙම සම්මුතිය අපරානුමත කළේ 1980 ජුනි 09 වන දින ය. මෙම සම්මුතියේ අරමුණු වන්නේ ලෝකයේ විවිධ ස්ථානයන් හි සුවිශේෂී උරුමයන් හා වටිනාකම් සලකා ඒවා මානව වර්ගයා උදෙසා ආරක්ෂා කිරීමයි. මෙම සම්මුතියට අනුව එය අපරානුමත කර ඇති රාජ්‍යයන්වල ස්වාභාවික හා සංස්කෘතික උරුම ස්ථාන ලෝක උරුමයන් ලෙස නම් කෙරේ. එම ස්ථාන ආරක්ෂා කිරීම මුළුමහත් සමාජයේ ම වගකීමකි.
මධ්‍යම පළාතේ මහනුවර දිස්ත්‍රික්කයේ මිණිපේ, උඩදුම්බර, පාතදුම්බර හා පන්විල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතරේ සහ මාතලේ දිස්ත්‍රික්කයේ උකුවෙල. රත්තොට, ලග්ගල, පල්ලේගම හා විල්ගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ පහේ දුම්බර කඳුකරය ව්‍යාප්ත ව තිබේ. සංශෝධිත 1907 අංක 16 දරන වන සංරක්ෂණ ආඥා පනතේ 3අ(1) වැනි උප වගන්තිය යටතේ 2000 මැයි මස 05 වන දින අංක 1130/22 දරන ගැසට් නිවේදනය මඟින් දුම්බර කඳුකරයේ රජයට අයත් වනාන්තර හෙක්ටයාර 17825 ක භූමි ප්‍රමාණයක් ලංකාවේ ප්‍රථම සංරක්ෂණ වනාන්තරය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
නකල්ස් සංරක්ෂණ වනාන්තරය තුළ පිහිටි රජයට අයත් නොවන වනාන්තර ඉඩම් 2000 අංක 53 දරන පනතින් අවසන් වරට සංශෝධිත 1980 අංක 47 දරන ජාතික පාරිසරික පනතේ 24ඇ සහ 24ඈ වගන්තිවලට අනුව 2007 ජූලි 23 වන දින අංක 1507/9 දරන ගැසට් නිවේදනය යටතේ නකල්ස් පාරිසරික ආරක්ෂක ප්‍රදේශය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
මීට අමතර ව සමස්ත දුම්බර අඩවිය ආවරණය වන භූමි ප්‍රදේශය 1951 අංක 25 දරන පස සංරක්ෂණ පනතේ 3 වන වගන්තියට අනුව 2008 මැයි 22 වන දින අංක 1550/9 දරන ගැසට් නිවේදනය මඟින් පස සංරක්ෂණ කලාපයක් ලෙස ද ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නෛතික තත්ත්වයන් සියල්ල ම දුම්බර අඩවිය නැතහොත් නකල්ස් කඳුකරයේ අද්විතීය ජෛව උරුමය ආරක්ෂා කිරීමට වැදගත් වේ.
මාර්ග සංවර්ධනය නීති විරෝධී වන්නේ ඇයි?
වන සංරක්ෂණ ආඥාපනතේ 3අ(1) උප වගන්තියට අනුව සංරක්ෂණ වනාන්තරයක් ප්‍රකාශයට පත් කළ පසු ව පනතේ 3අ(3) හා (4) උප වගන්තිවලට අනුව සංරක්ෂණ වනාන්තරය සඳහා කළමනාකරණ සැලැසුමක් සකස් කළ යුතු අතර ඒ මත පමණක් නිශ්චිත කාර්යයන් ක්‍රියාත්මක කළ හැකි ය. එසේ නොමැතිව සංචාරක ක්ෂේත්‍රයේ ව්‍යාපාරිකයන්ට හෝ මන්ත්‍රිවරුන්ට හෝ ප්‍රාදේශීය ලේකම්වරුන්ට අවශ්‍ය සංරක්ෂණ වනයක ක්‍රියාත්මක කළ නොහැකි ය.
මෙම පනතේ 6 වන වගන්තියට අනුව නකල්ස් සංරක්ෂණ වනාන්තරයට අනවසරයෙන් ඇතුළු වීම, ශාක හෝ ශාක කොටස් කැපීම හෝ ඉවත් කිරීම හෝ ඉඩම් එළිපෙහෙළි කිරීම හෝ පාරවල් තැනීම හෝ පාරක් වෙනස් කිරීම හෝ භාවිත කිරීම යන ක්‍රියාකරකම් සියල්ල ම තහනම් වේ.

එවන් ක්‍රියාවකට මහේස්ත්‍රාත් අධිකරණයක දී වරදකරුවකු වන පුද්ගලයකු වසර 7 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ රුපියල් 20,000 ත් ලක්ෂ දෙකත් අතර දඩයකට හෝ මේ දඬුවම් දෙකට ම ලක් කළ හැකි ය. මෙම දඬුවම්වලට අතිරේකව සංරක්ෂණ වනයට කරන ලද හානිය සඳහා අධිකරණය විසින් හානියේ ස්වභාවය අනුව තීරණය කරන වන්දි මුදලක් දඩයක් ලෙස නියම කළ හැකි ය.
පනතේ 6(3) උප වගන්තියට අනුව සංරක්ෂණ වනයක තහනම් ක්‍රියාවක් සිදු කිරීම සඳහා ආධාර හෝ අනුබල ලබා දෙන තැනැත්තෙකු ද වරදකරුවකු වන අතර එම තැනැත්තා ද එම දඬුවමට ම යටත් විය යුතු ය. ඒ අනුව නකල්ස් සංචාරක කවයේ නිලධාරීන්, නකල්ස් සෆාරි ජීප් හිමිකරුවන්, පාර්ලිමේන්තු මන්ත්‍රි ඊ. එම්. බස්නායක හා ජගත් මනුවර්ණ සහ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් සංරක්ෂණ වනයක නීති විරෝධී ක්‍රියා සඳහා ආධාර හා අනුබල දීමේ වරදට වරදකරුවන් කළ හැකි ය. මෙවන් වූ ඉතා දැඩි නෛතික ආවරණයක් සහිත ව මේ වනාන්තරය පාලනය වන්නේ මෙහි පවතින අද්විතීය වූත් අමිල වූත් ජෛව විද්‍යාත්මක හා පාරිසරික වටිනාකම හේතුවෙනි. ඒ තත්ත්වයන් මෙම පුද්ගලයන් අවබෝධ කර ගෙන නොමැති වීම ජාතියේ අවාසනාවකි.
ජාතික පාරිසරික පනතේ 24ඇ හා 24 ඈ වගන්තිවලට අනුව ප්‍රකාශයට පත් කර ඇති නකල්ස් පාරිසරික ආරක්ෂක කලාපය තුළ පනතේ 24ඈ(4) උප වගන්තියට අනුව මධ්‍යම පරිසර අධිකාරියේ මැදිහත්වීමකින් තොරව කිසිදු පුද්ගලයකු විසින් සංවර්ධන සැලැසුම් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම නොකළ යුතු වේ. එවන් ක්‍රියාවක යෙදෙන පුද්ගලයකු පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්ධනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
මෙම නීති ක්‍රියාත්මක කිරීමේ බලය මධ්‍යම පරිසර අධිකාරියට ඇත.
ජාතික පාරිසරික පනතේ 23බ උප වගන්තියට අනුව ප්‍රකාශිත 1993 ජුනි 24 දින අංක 772/22 දරන ගැසට් නිවේදනයට අනුව වන සංරක්ෂණ ආඥාපනත යටතේ ප්‍රකාශිත රක්ෂිත භූමියක මායිමේ සිට මීටර 100 ක් ඇතුළත හෝ එම භූමි ප්‍රදේශය තුළ යම් සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් හෝ පස සංරක්ෂණ පනත යටතේ ප්‍රකාශිත භූමි ප්‍රදේශයක් තුළ සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන්නේ නම් ඊට ප්‍රථමයෙන් පරිසර බලපෑම් ඇගයීම් ක්‍රියාවලියට යටත් ව පූර්ව ලිඛිත පාරිසරික අනුමැතිය ලබා ගත යුතු ය. මේ ක්‍රියා පටිපාටියෙන් පරිබාහිර ව කිසිදු රාජ්‍ය ආයතනයකට සංරක්ෂණ වනාන්තරයක් තුළ හෝ මායිමේ සිට මීටර 100 ක් ඇතුළත පිහිටන ප්‍රදේශයේ සංවර්ධන කටයුතු සඳහා භාවිතා කිරීමට අවසර ලබාදිය නොහැකි ය.
ජාතික පාරිසරික පනතේ 23අඅ උප වගන්තියට අනුව නිවැරදි පරිසර බලපෑම් තක්සේරු ක්‍රියාවලියට යටත් ව අනුමැතිය ලබා ගැනීමකින් තොර ව නීති විරෝධීව ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරන අවස්ථාවක දී පනතේ 31 වගන්තියට අනුව මහේස්ත්‍රාත් අධිකරණයක් ඉදිරියේ වරදකරුවකු කරනු ලැබූ විට රුපියල් 15,000 ක් නොයික්මවන දඩයකට හෝ වසර 2 ක් දක්වා බන්දනාගාර ගත කිරීමකට හෝ මෙම දඩුවම් දෙකට ම යටත් කළ හැකි ය.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ හය වන පරිච්ඡේදය යටතේ දැක්වෙන රාජ්‍ය ප්‍රතිපත්ති, මෙහෙයවීමේ මූලධර්ම හා මූලික යුතුකම් කොටසේ 27(14) උප ව්‍යවස්ථාවට අනුව “ජනතාවගේ යහපත තකා රජය විසින් පරිසරය ආරක්ෂා කොට සුරක්ෂිත කොට වැඩිදියුණු කළ යුතු ය.” ඒ අනුව සියලූ ම රාජ්‍ය ආයතන විසින් පරිසරය ආරක්ෂා කිරීමට, වැඩිදියුණු කිරීමට, නීති හා අණ පනත් ක්‍රියාත්මක කිරීම මෙන් ම අලුත් නීති හා අණ පනත් සකස් කිරීම ද සිදු කළ යුතු ය. පරිසරයේ පැවැත්මට බලපෑම් නොවන ආකාරයේ තීන්දු තීරණ ගැනීම මෙන් ම ප්‍රතිපත්ති සකස් කර ක්‍රියාවේ යෙදවීමට ද සියලූ ම රාජ්‍ය ආයතන බැඳී සිටී.
මේ අනුව මැදදුම්බර ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු ව මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් නකල්ස් සංරක්ෂණ වනාන්තරය විනාශ කිරීමට තීන්දු තීරණ ගැනීම යනු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තුන්වන පරිච්ඡේදයේ මූලික අයිතිවාසිකම් කොටසේ 12(1) ව්‍යවස්ථාවට අනුව නීතිය පසිදලීම සහ ක්‍රියාත්මක කිරීම ද නීතියේ රැකවරණය ද සර්ව සාධාරණ විය යුතු ය යන ජනතාව ගේ මූලික අයිතිවාසිනම් ද අහිමි කර ඇත.
එපමණක් නොව මෙය නීතියේ ආධිපත්‍ය බිඳ දැමීමකි. අරාජික වූ රටක් නැවත ප්‍රජාතන්ත්‍රවාදී පාලනයකට ගෙන ඒම සඳහා ජනතාවට පොරොන්දු දී බලයට පත් වූ ජාතික ජන බලවේගයට මෙවන් දෑ සිදු කළ නොහැකි ය. මේ නිසා පසුගිය වසර පුරා ම පරිසර විනාශයන් හමුවේ නිද්‍රාශීලීව සිටින ජනාධිපතිවරයාට හා පරිසර අමාත්‍යවරයාට අවධාරණය කරන්නේ දුම්බර අඩවිය ව්‍යාපාරිකයන්, මන්ත්‍රිවරුන් හා රාජ්‍ය නිලධාරීන් එක් ව වැනසීමට ගන්නා උත්සාහයන් මැඩපැවැත්වීමට වහා ම මැදිහත් වන ලෙස ය.






