Breaking News

පාසල් පෙළපොතක් හරහා ලිංගික අපයෝජන සංස්කෘතිය ප්‍රවර්ධනය කරන බවට චෝදනාවක්

පාසල් විෂයය නිර්දේශය හරහා ස්ත්‍රීන් ඉලක්ක කර ගත් ලිංගික අපයෝජන සංස්කෘතිය ප්‍රවර්ධනය කරන බවට අධ්‍යාපන අමාත්‍යංශයට චෝදනා එල්ල වී තිබේ.

මෙම චෝදනාවට හේතුව 11 ශ්‍රේණියේ අ.පො.ස සාමාන්‍ය පෙළ සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය පෙළපොත හරහා ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් ඉතාම සාවද්‍ය මතවාදයක් ප්‍රවර්ධනය කිරීමයි.

මානව හිමිකම් ක්‍රියාකරුවකු වන නීතීඥ අරිත වික්‍රමසිංහ පෙන්වා දෙන්නේ ලිංගික අපයෝජනයේ වින්දිත පාර්ශවයන් වරදකරුවන් කිරීමට අදාළ පෙළපොත හරහා කටයුතු කර ඇති බවයි.

මෙම පෙළපොතේ එක් පිටුවක ලිංගික අපයෝජනයට ලක්වන ස්ත්‍රියකගේ වගකීම් විරහිත හැසිරීම ද ලිංගික අපයෝජනයට හේතුවන බව සඳහන් වාක්‍යයක් ඇතුලත් වේ.

එමෙන්ම ලිංගික අපයෝජන සිදුකිරීමට පෙළඹෙන පුද්ගලයින් හුදෙක් මානසික රෝගී තත්ත්වයන් ගෙන් පෙළෙන හෝ වගකීම් විරහිතව කටයුතු කරන පුද්ගලයින් බවද එම පෙළපොතේ දැක්වේ.

මෙමඟින් ලිංගික අපයෝජනය සාධාරිණීකරණය කිරීම පිළිබඳ අදහසක් ගම්‍ය වන බව පෙන්වා දෙන නීතීඥ අරිත වික්‍රමසිංහ අවධාරණය කරනු ලබන්නේ එකඟතාවය (consent) පිළිබඳව, සහ ලිංගික අපයෝජන සිදුනොකිරීම පිළිබඳව පාසල් දරුවන් හට ඉගැන්වීම වෙනුවට අපයෝජනයේ වින්දිත පාර්ශවය වරද භාරගත යුතු (victim blaming) බවක් අදාළ පෙළපොත හරහා ප්‍රකාශ වන බවයි.

ඒ අනුව, අධ්‍යාපන අමාත්‍යංශය මෙම වැරදි මතවාදය සහ රට තුළ ලිංගික අපයෝජන සංස්කෘතිය වර්ධනය වීමට තුඩු දෙන මෙවන් මිත්‍යා මත ප්‍රවර්ධනය කිරීම වහා නතර කළ යුතු බව හෙතෙම පෙන්වා දෙයි.

leave a reply