උතුරේ නව ජවයක් ඇති වී තිබේ. පළාත් පාලන නිලධාරීන් පවසන්නේ, ප්‍රවේශමෙන් යමක් බලාපොරොත්තු වීමට හේතුවක් ඇති බවයි. යුද්ධය අවසන් වීමෙන් පසු සංවර්ධන කටයුතු අතීතයේ ඕනෑම අවස්ථාවකට වඩා දැන් දෘශ්‍යමාන වේ. පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අනුර කුමාර දිසානායකට යාපනය දිස්ත්‍රික්කයෙන් ඡන්ද 27,000ක් පමණ ලැබුණු නමුත් අද මැතිවරණයක් පැවැත්වුවහොත් ඔහුට ලක්ෂ 2 ක් ලබාගත හැකි බව රජයේ නිලධාරියෙක් පැවැසීය. මෙය එක් පුද්ගලයකුගේ අදහසක් පමණක් විය හැකි නමුත්, ජනාධිපතිවරයාගේ උත්සාහයන්ට ජනතාව ධනාත්මකව ප්‍රතිචාර දක්වන බව එයින් පෙන්නුම් කෙරේ. සියලු ප්‍රජාවන් පාලනයට ඇතුළත් කිරීමට සහ දිගු කලක් ප්‍රතික්ෂේප කරන ලද සේවාවන් සැපයීමට ඔහු ගත් ක්‍රියාමාර්ග විශ්වාසය ගොඩනඟයි. සමානව සැලකීම සහ වාර්ගික දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම පිළිබඳ ඔහුගේ ප්‍රතිපත්ති මගින් ජනතාවට ඔහු කෙරෙහි වැඩි විශ්වාසයක් ලබා දී ඇත.
රජය පොරොන්දු වූ පරිදි, මයිලිඩ්ඩි ධීවර වරාය සංවර්ධනය කිරීම සාමාන්‍ය ජනතාවට උපකාර කිරීමට ගත් වැදගත් පියවරක් ලෙස සැලකේ. හමුදා ආක්‍රමණය හේතුවෙන් වසර ගණනාවක් රැකියා අහිමි වූ ධීවරයන්ට දැන් නැවත ධීවර කටයුතු සඳහා පැමිණිය හැකිය. යාපනයේ විදේශ ගමන් බලපත්‍ර කාර්යාලයක් විවෘත කිරීම විසින් ද ජන ජීවිතය පහසු කර ඇත. මීට පෙර, විදේශයන්හි දරුවන් බැලීමට දෙමාපියන්ට, විදේශයන්හි රැකියා සොයන පිරිසට සහ වීසා සඳහා අයැදුම් කරන සිසුන්ට දැන් යාපනයේදීම අවශ්‍ය සේවා සපයාගත ගත හැකිය. මෙයින් පෙනීයන්නේ රජය විසින් උතුර, දුරස්ථ කලාපයක් ලෙස නොව, රටේ පරිපාලනයේ සම්පූර්ණ කොටසක් ලෙස පිළිගන්නා බවයි.
හොඳ හිත තනිවම පවතින්නේ නැත. එය පවත්වා ගතයුත්තේ ස්ථාවර ක්‍රියාමාර්ග සහ මිනිසුන්ට සවන් දීමෙනි. මණ්ඩතිව් හි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සැලැස්ම, උපදේශනය සඳහා මෙම අවශ්‍යතාව ඉස්මතු කරයි. ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලාංකිකයන් එක්කරන අතර, උතුරේ අන්තර්ජාතික තරඟ පැවැත්වීම පැහැදිලි සංකේතාත්මක වැදගත්කමක් දරයි. මණ්ඩතිව් යාපනයට සම්බන්ධ කර ඇත්තේ පාලමක් හරහා වන අතර, ප්‍රදේශයේ හෝටල්වලට අමුත්තන්ට සත්කාරකත්වය සැපයිය හැකිය. එහෙත් මණ්ඩතිව් තෝරාගැනීම මතභේදාත්මක වන්නේ, එය කඩොලාන සහ නොගැඹුරු මුහුදක් සහිත පාරිසරික වශයෙන් සංවේදී දූපතක් වන බැවිනි. ප්‍රධාන ප්රශ්නය වන්නේ, මෙම තීරණය ගැනීමට පෙර ප්‍රජාව වෙතින් නිසි ලෙස අදහස් ලබාගත්තේද යන්නයි.
සංවේදනය ප්‍රදර්ශනය කිරීම
මුලින්ම, මිනිසුන්ගෙන් විමසීමකින් තොරව සිදුකරන සංවර්ධනය, සියල්ලන් ඇතුළත් කරගත් දෙයක් නොව, බලහත්කාරයෙන් කළ දෙයක් ලෙස හැඟෙන්නට පුළුවන. ව්‍යාපෘතියකින් වැඩිපුරම පීඩාවට පත්වන ජනතාව පිළිබඳව සොයාබැලිය යුත්තේ වැඩ ආරම්භ වූ පසුව නොවේ. කච්චතිව් දූපතේ සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ සැලැස්ම සම්බන්ධයෙන් ද එවැනිම ගැටළුවක් මතු වී තිබේ. යාපනයේ කතෝලික රදගුරුතුමා එයට විරුද්ධ වී ඇති අතර, දූපත සංචාරක ව්‍යාපාරය සඳහා නොව යාච්ඤාව සහ වන්දනා ගමන සඳහා බව උන්වහන්සේ පවසති. ආගමික නායකයන්, ධීවරයන් හෝ ප්‍රාදේශීය නිලධාරීන් ගැටළු මතුකරන විට, ඒවා නොසලකා හැරීම ප්රජාතන්ත්රවාදී තීරණ ගැනීම කෙරෙහි විශ්වාසය අඩුකරයි. සංවර්ධනයට පෙර උපදේශනය පැමිණිය යුත්තේ, පසුව නොව, ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙරය.
මන්නාරමේ මෑතකදී සුළං බල ව්‍යාපෘතියට එරෙහිව පැවැති විරෝධතාව තවත් අනතුරු ඇඟවීමේ ලකුණකි. ඉදිකිරීම් වාහන අවහිර කරමින් සිටි පූජකවරුන් සහ කාන්තාවන් ඇතුළු සාමකාමී විරෝධතාකරුවන්ව පොලිසිය බලහත්කාරයෙන් ඉවත්කරන බව ප්රවෘත්ති නාලිකා ඔස්සේ හුවමාරුවන වීඩියෝවල දැක්වේ. මෙය වඩාත් බරපතල වන්නේ, ජනාධිපති අනුර කුමාර දිසානායක මීට පෙර මන්නාරමේ ජනතාවට පොරොන්දු වී තිබුණේ, ඔවුන් විරුද්ධ වුවහොත් කිසිදු ව්‍යාපෘතියක් ඉදිරියට නොයන බවයි. සාමකාමී විරෝධතාවයකට එරෙහිව බලය යෙදවීම, ඉදිකිරීම් ප්‍රමාදයට වඩා මහජන විශ්වාසයට හානිකරනු ලබයි. විරෝධතාකරුවන් පුවරු අතැතිව පාරේ වාඩි වී සිටි අතර, සාකච්ඡාවෙන් ගැටලුව විසඳාගත හැකිව තිබිණි. පොලිස් ක්රියාමාර්ගයකින් මාර්ගය පිරිසිදු කිරීම ඔස්සේ, ව්‍යාපෘතියේ වැඩ දිගටම කරගෙන යෑමට අවස්ථාව ලබාදී ඇති නමුත් එය නව අවිශ්වාසයක් ද ඇති කළේය.
ශ්‍රී ලංකාවට ඉක්මණින් පුනර්ජනනීය බලශක්තිය අවශ්‍ය බව සියලු දෙනා එකඟ වෙති. එහෙත් ආයෝජකයා විදේශීය සමාගමකින් (අදානි සමූහය) දේශීය සමාගමකට වෙනස් කිරීමෙන් ප්‍රධාන ගැටළු විසඳී නොමැත. පාරිසරික අනතුරු තවමත් එසේමය. අතීතයේ දී, රජය තම සැලසුම්වලට විරුද්ධ වූ කණ්ඩායම් සමඟ කතාකිරීමට කැමැත්තෙන් සිටියේය. උදාහරණයක් ලෙස, වැඩවර්ජනය කළ තැපැල් සේවකයන් සහ වැඩවර්ජනය කරන බවට තර්ජනය කළ විදුලිබල මණ්ඩල සේවකයන් පෙන්වාදිය හැකිය. සංවර්ධනය සාකච්ඡාවෙන් සහ එකඟතාවයෙන් සිදුවන විට, එය ප්රජාතන්ත්රවාදී ය. එහෙත් එය ජනතාව මත බලහත්කාරයෙන් පටවන විට, එය ආධිපත්‍යය බවට පත්වේ.
නොවිසඳුණු ගැටළු
උතුරේ නොවිසඳුණු ගැටළු තවමත් මහජන විශ්වාසය දුර්වල කරයි. එක් ප්‍රධාන ගැටළුවක් වන්නේ තවමත් හමුදා පාලනය යටතේ පවතින පෞද්ගලික ඉඩම් ආපසු ලබාදීමේ ප්‍රමාදයයි. පලාලි-යාපනය මාර්ගයේ කොටසක් ජාතික ආරක්ෂාවට හානියක් නොවන පරිදි නිදහස් කළ හැකි බව ප්‍රාදේශීය නිලධාරීහු පවසති. ඉඩම් ඒවායේ හිමිකරුවන්ට ආපසු ලබාදීමෙන් අවිශ්වාසයේ කාලය අවසන් වෙමින් පවතින බව පෙන්නුම් කෙරේ. තවත් ගැටළුවක් වන්නේ, ඓතිහාසික හෝ පුරාවිද්‍යාත්මක අයිතිවාසිකම් ඉල්ලා සිටින ආගමික කණ්ඩායම් විසින් ඉඩම් අත්පත් කර ගැනීමයි. හිමිකාරිත්වය තීරණය කිරීම සඳහා සාධාරණ හා විනිවිද පෙනෙන ක්‍රියාවලියක් නොමැතිව, මෙම ආරවුල් ජනවාර්ගික හෝ ආගමික ගැටුම් බවට පත්විය හැකිය. ඕනෑම සංවර්ධන සැලැස්මක් මෙම ගැටළු සමඟ කටයුතු කළයුතු අතර ඒවා නොසලකා නොහැරිය යුතුය.
යුද්ධයෙන් විපතට පත්වූවන් සඳහා වන්දි ගෙවීම තවමත් ඉටුනොවූ පොරොන්දුවකි. මෑත කාලීන ඇල්ලේ බස් ඛේදවාචකයෙන් පසු, බලපෑමට ලක්වූ සෑම පවුලකටම රුපියල් මිලියනයක් ලබාදෙන ලදී. එහෙත් යුද්ධයෙන් ආදරණීයයන් අහිමි වූ පවුල්වලට කෙටි කාලයක් සඳහා මසකට රුපියල් 6,000 ක් පමණක් ලැබිණි. මෙම වෙනස නිසා සමහර ජීවිත අනෙක් ඒවාට වඩා වටිනා බව මිනිසුන්ට හැඟේ. සංහිඳියාව සැබෑවීමට නම්, වන්දි සාධාරණ හා සමාන විය යුතුය. ඔවුන්ගේ වාර්ගිකත්වය හෝ ආගම කුමක් වුවත්, සියලු පුරවැසියන් කෙරෙහි තමන් සැලකිලිමත් වන බව රජය පෙන්විය යුතුය.
උතුරේ රජයේ නිලධාරීන් සමඟ කළ සාකච්ඡාවලින් පෙනීගියේ සංවර්ධනයට සහාය දැක්වීමට ජනතාව සූදානමින් සහ කැමැත්තෙන් සිටින බවයි. උතුර හා නැගෙනහිර ඉහළ තනතුරු සඳහා වැඩි දෙමළ සහ මුස්ලිම් නිලධාරීන් පත්කිරීම, උපකල්පන වෙනුවට අවබෝධයෙන් සහ සාධාරණත්වයෙන් තීරණ ගැනීම සහතික කිරීමට උපකාරී වනු ඇත. බලය බෙදාගැනීම වැදගත් වන්නේ මේ නිසාය. එවිට එය මිනිසුන්ට තමන්ගේම අනාගතය කෙරෙහි ක්‍රියාත්මක පාලනයක් බව හැඟේ. පාර්ලිමේන්තුවේ විශාල බහුතරයක් ඇති වත්මන් ආණ්ඩුවට, විපක්ෂය සහ සිවිල් සමාජය සමඟ වැඩ කිරීමෙන් පද්ධතිය ප්‍රතිසංස්කරණය කිරීමට අවස්ථාවක් තිබේ. එහෙත් රජය සවන්දිය යුතු අතර නායකත්වය ලබාදිය යුතුය. රජය සවන් නොදී තීරණ ගන්නේ නම්, මිනිසුන්ට බලහත්කාරයක් දැනෙනු ඇති අතර, වෙනස්කම් පවතිනු ඇත. සැබෑ ප්‍රගතිය ලැබෙන්නේ විශ්වාසය, උපදේශනය සහ සියල්ලන් ඇතුළත් කිරීමෙනි. ප්‍රගතිය ශක්තිමත්ම වන්නේ එය සාධාරණ, දෘශ්‍යමාන සහ සියලුදෙනා විසින් බෙදාගන්නා විටය.
ජෙහාන් පෙරේරා