විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී නිසි ක්‍රම වේදයක් අනුගමනය නොකිරීම ඇතුළු ගැටළු සහ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය 4 වෙනිදා විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති විසින් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබේ.
ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ විධායක කමිටු සාමාජික ධනුෂ්ක පරාක්‍රමසිංහ පවසා සිටියේ ලංකා විදුලි බල මණ්ඩලය කොටස් හතරකට වෙන් කිරීමට රජය විසින් ගෙන ඇති තීරණයට විරෝධය පළ කරමින් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගය අද (16) සිට තීව්ර කරන බවයි.
ඒ අනුව හෙට (17) සහ අනිද්දා දින වල සියලු සේවකයින් කණ්ඩායම් දෙකක් ලෙස ලෙඩ නිවාඩු වාර්තා කිරීමට නියමිත අතර රජය විසින් ගනු ලැබූ මෙම ක්‍රියාමාර්ගයට එරෙහිව එම දින දෙක තුළ විරෝධතා ව්‍යාපාරයක් සංවිධානය කිරීමටද තීරණය කළ බව ඔහු සඳහන් කර ඇත. තවද ඔවුන් විසින් රැකියාවට අමතරව සම්බන්ධ වෙන ටෙන්ඩර් කමිටු සහ අනිකුත් කමිටු වලින් ඉවත් වීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කර ඇත.
අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී ද අදහස් දක්වමින් ඇමති නලින්ද ජයතිස්ස පැවසුවේ කැමති කෙනෙකුට වන්දි මුදලක් ලබාගෙන අස්වී යාහැකි අතර කැමති කෙනෙකුට සිටිය හැකි බවයි.
විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිති නගන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු ලබා දීම සඳහා වන මාධ්‍ය සාකච්චාවක් බලශක්ති ඇමැති, ඉංජිනේරු කුමාර ජයකොඩි විසින්ද ඊයේ (15) පවත්වා තිබුණි.
“ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී කිසිදු සේවකයකුට ගැටලුවක් වන්නේ නෑ.
පසුගිය මාසයේ 06 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත වූ ලංකා විදුලිබල මණ්ඩලයේ පනත සංශෝධන ඉදිරියට ක්‍රියාත්මක කිරීමට තිබෙනවා. එම පනතට අනුව ප්‍රධාන ආයතන හතරක් වෙන් කර තිබෙනවා. ජනන, සම්ප්‍රේෂණ, බෙදා හැරීම සහ පද්ධති පරිපාලනය ලෙස ආයතන වෙන් කර තිබෙනවා. 23,000කට ආසන්න සේවක පිරිසක් මේ ආයතනවල සේවයේ යෙදෙනවා. මේ සියලුම සේවකයන් මේ ආයතන හතරට අනුයුක්ත කරනවා. ප්‍රධාන ආයතන හතරම රජය සතුයි. සියයට සියයක් කොටස් හිමි මහා භාණ්ඩාගාරය සතු සමාගම් හතරක් ලෙස මේවා තිබෙනවා.
සේවකයන්ට මාස දෙකකදී කැමැත්ත මත ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගන්නා ක්‍රමයට ප්‍රතිචාර දැක්වීමට අවස්ථාව දී තිබෙනවා. දායකත්ව විශ්‍රාම වැටුප් අරමුදලක් සේවකයන්ගේ තිබෙනවා. සේවක භාරකාර අරමුදලක් තිබෙනවා. ඒ දෙක එකතු කර තවත් ආයතනයක් පිහිටුවා තිබෙනවා. මහජන උපයෝගිතා කොමිසම හරහා ෆන්ඩින් ආයතනයට අනුයුක්ත කිරීමක් ද තිබෙනවා. මෙමඟින් සේවකයන්ගේ රැකියා සුරක්ෂිතභාවයට කිසිදු හානියක් වෙන්නේ නෑ. කැමැත්ත මත සේවයෙන් ඉවත් විය හැකියි.
සේවකයන් ගෙදර යවන්න කිසිදු අවශ්‍යතාවක් ආණ්ඩුවට නෑ. නීතිමය අවශ්‍යතාවක් මත ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැනීමේ ක්‍රමවේදය සකස් කර තිබෙනවා.
රටේ පවතින වන්දි සූත්‍රයට එහා ගිය ප්රතිලාභ සහිතව සේවකයන්ට මේ විශ්‍රාම ක්‍රමය දෙනවා. ඉහළම සේවකයන්ට උපරිම රුපියල් ලක්ෂ 50ක වන්දියකුත් පහළ සේවකයන්ට උපරිම රුපියල් ලක්ෂ 25ක වන්දියකුත් ලෙස වර්ගීකරණය කර තිබුණා. එය අපි වෙනස් කරනවා. සේවකයන් හැමෝම අපට වටිනවා. ඉහළ සහ පහළ භේදයක් නොමැතිව උපරිම වන්දිය රුපියල් ලක්ෂ 50 දක්වා දෙනවා.
සේවකයන්ට ඉවත් වන ලෙසට පෙලඹවීමක් කරන්නේ නෑ. ආණ්ඩුවට මේ ආයතන කඩා බිඳ දැමීමට කිසිදු අවශ්‍යතාවක් නෑ. පනතට අනුව සියලු දේ කරනවා. අලුතින් අධ්යක්ෂ මණ්ඩල පිහිටුවා තිබෙනවා.
පසුගිය ආණ්ඩුව යටතේ අගෝස්තුවලින් පසුව සේවකයන් 12,000ක් ඉවත් කරන්න සැලසුම් කර තිබුණා. ආයතන 12කට ලංකා විදුලිබල මණ්ඩලය කැඩෙන්න තිබුණා. වෘත්තීය සමිති දකිනවාට වඩා සංයුක්ත විදියට බලා අපි වැඩ කරනවා. ලංකා විදුලිබල මණ්ඩලයට ප්‍රායෝගික නොවන ඉල්ලීම් ද සිදු කර තිබුණා. වෘත්තීය සමිති දකිනවාට වඩා සංයුක්ත විදියට අපි මේ දේවල් දෙස බලනවා. එක පැත්තක් බලලා ප්‍රශ්න විසඳුවාම ඇතැම් විට ජනතාව අපහසුතාවට පත් වෙනවා. එහෙම නොවන්න තමයි අපි වැඩ කරන්නේ. ප්‍රතිඵල ඉදිරියට ලැබේවි. සැක සංකා තිබූ ඒවා බොහෝ ප්‍රමාණයක් අපි නැති කර තිබෙනවා. ආයතන හොඳ විදියට හදලා ගොඩගැනීමට අපි කටයුතු කරනවා.”