දේපොළ තිබීම දේශපාලනයට ප්‍රශ්නයක් නොවන බවත් ප්රශ්නය වන්නේ අයථාලෙස උපයාගත් දේපොළ හෝ වත්කම් තිබීම බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස පවසා තිබේ.
ඔහු මේ බව පවසා සිටියේ අද දින කැබිනට් මාධ්‍ය හමුවේදී වසන්ත සමරසිංහගේ වත්කම් සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය ගැන මාධ්‍යවේදියෙක් නැගූ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.
සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් දක්වන බොහෝ පිරිසක් පවසන්නේ වසන්ත සමරසිංහට දේපොළ තිබීම ප්‍රශ්නයක් නොවන නමුත් LOLC වැනි මූල්‍ය සමාගම්වල සහ ක්‍රිප්ටො කරන්සිවල ආයෝජනය ප්‍රශ්නයක් මතුකරන බවයි.
වසන්ත සමරසිංහ වත්මන් ආණ්ඩුවේ සමූපකාර ඇමතිවරයායි. සමුපකාර ක්‍රමය හරහා එක්තරා දුරකට අපේක්ෂා කරන්නේ ග්රාමීයව ජිවත්වන ජනතාවට විකල්ප, සහනදායි සහ සාමූහික විකල්ප ආර්ථික ක්‍රම හඳුන්වා දෙන ක්රමයකි. LOLC යනු ඉතාමත් විනාශකාරී ආකාරයට ජනතාවගේ රීරි මාංශ හූරා කමින් තම මඩිය තරකරගත් සමාගමකි. එපමණක් නොව විනාශකාරී ක්ෂුද්‍ර මූල්‍ය ණය ලබාදෙන ප්‍රධානතම ආයතනයක් වන්නේ LOLC ආයතනයයි. එම ණය ක්‍රමය නිසා අපේ රටේ ග්‍රාමීය කාන්තාවන් විශාල ණය උගුලක පැටලී සිටියි. එම ණය ක්‍රමයට එරෙහිව කටයුතු කරන බවට ජාතික ජන බලවේගය ආණ්ඩුව මැතිවරණ සමයේ පොරොන්දු විය. එසේනම් එවැනි ණය ක්‍රමයක් ඉතා මංකොල්ලකාරී ලෙස පවත්වාගෙන යන ආයතනයක ආයෝජනය ඇමතිවරයෙකුට කොතරම් දුරට ගැලපේද?
එපමණක් නොව වසන්ත සමරසිංහ අමාත්‍යවරයා තමන්ගේ පුතා සමඟ ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාමේ යෙදී ආදායම් උපයා ගත් බවත් පැවසීය. ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාම ශ්‍රී ලංකාවේ නීති ගත වෙළෙඳාමක් නොවේ. එය අනීතික යැයි නීතියක් නැතත් නීතියක් නැති නිසා අළු, නියාමනයෙන් තොරව කෙරෙන වෙළෙඳාමකි.
අනිත් කාරණේ නියාමනයකින් තොරව සිදුවන ව්‍යාපාරයක් ලෙස ක්‍රිප්ටෝකරන්සි වෙළෙඳාමෙන් උපයන ලාභයට බදු අයකරගන්නට ආණ්ඩුවට හැකියාවක් නැත. රටේ භාණ්ඩ හා සේවා සඳහා අයකරන වැට් බදු ඉතා විශාල ප්‍රමාණයෙන් වැඩිවීම නිසා ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් 2.2% අලුතෙන් දුප්පත් භාවයට වැටී ඇති බව ලෝක බැංකු වාර්තාවක් පවසයි. තත්වය එසේ තිබියදී ආණ්ඩුවේ ප්‍රධාන ඇමති වරයෙක් පවුල් පිටින් බදු නොගෙවන ව්‍යාපාරයක් හරහා ධනය ඉපැයීම කොතරම් සදාචාරාත්මකද?
කෙනෙකුට ධනය තිබීම ගැටළුවක් නොවේ. ධනය ඇත්තෝ දේශපාලනය කිරීමත් ගැටළුවක් නොවේ. අපි සිහියේ තබා ගත යුත්තේ ධනය ගොඩ ගැසීමේදී ඒ තුල නොකියවෙන කතාවයි – කෙනෙක් ධනය ගොඩ ගසද්දී ඒ සඳහා තවත් කොතරම් මිනිසුන් වන්දි ගෙව්වේද? පොදු ජනතාවගේ ආර්ථිකයට කොතරම් හානියක් සිදුවුවේද යන්නයි.