ආණ්ඩුව විසින් දියත් කිරීම ඇරඹූ ‘සුද්ද කිරීමේ’ (Clean Sri Lanka) ව්‍යාපෘතිය ලංකාවේ සුපිරි ධනපති ස්ථරය, ඉහළ මූල්‍ය කළමණාකරණ නිලධාරි තන්ත්රය හා ඉහළ මධ්‍යම පංතිය ඉලක්ක කරනා බවක් පෙනෙන්නට නැත. එක්කෝ පෙන්නුම් කරමින් ඇත්තේ එම තලය මත මෙම ආණ්ඩුවේ වත්මන් පැවැත්ම රැදී ඇති සෙයකි.
එය එසේ වෙද්දී ‘සුද්ද කිරීමේ’ ව්‍යාපෘතිය පහල මාලයේ බහුතර ජනතාව කරා ප්‍රවේගකාරී ලෙස පැමිණීම ආණ්ඩුවට යහපතක් ගෙන එන්නේ නැත. මෙම ව්‍යාපෘතියේ සංදර්ශනාත්මක ස්වරූපය සාමාන්‍ය හා අන්තර් මධ්‍යම පාංතික තලයට ආකර්ශනීය වන බව සැබවි.එහෙත් ඉන් පහළ ජනකොටස් වලට ඇත්තේ මේ සම්බන්දයෙන් උභයවේගී ප්රතිචාරයකි. දිළිදු බව හා බැදී ඇති නිශ්ක්රීයතාවයන් විසින් මෙවැනි ‘කුමක් හෝ සිදුවීම’ මුල් වටයේ අනුමත කරන එම ජනතාව සිය දෛනික ජීවිතයේ ආර්ථික අයුක්තිය විසින් ඉක්මනින් ඇහැරී මෙවැනි ව්‍යාපෘතීන් ආණ්ඩුවේ ‘බොරු ගේම්’ ලෙස කියවා ගනු ඇත.
ඒ අනුව ආණ්ඩුවේ ‘පොලිස් ඇස’ මුලින්ම හෝ ප්රමුඛව ලුහුබැද යා යුත්තේ සුපිරි ධනපතීන්,ව්‍යාපාරික ප්‍රභූන් හා ඉහළ මධ්‍යම පාංතික කොටස් වෙතය. එසේ යන බවක් හා එහි ගොඩගැසී ඇති අධික ධනය පහල මාලයේ බහුතර ජනතාවගේ සුබසෙත වෙනුවෙන් යොමු වන බවක් එම ජනතාවට පෙනිය යුතුය. ඒ අතර ඉතාම ඉක්මනින් පොදු ජනතාවගේ දෛනික ආහාර වේල හා අනෙකුත් ජීවන කළමණා වල මිල ගණන් ඔවුනට ළගා විය හැකි මට්ටමින් පවත්වා ගැනීම අනිවාර්ය කරුණක් වෙයි.(අත්‍යවශ්‍ය ආහාර වලට යළිත් බදු ගසා ඇති ආකාරය විසින් පෙන්නුම් කෙරෙන්නේ පොදු ජනතාව ආණ්ඩුවෙන් අපේක්ෂා කළ මෙම මූලික ඕනෑකම ද ක්‍රමයෙන් ඈත්වෙමින් ඇති බවයි).
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැනි ව්‍යාපෘති ලංකාව සැබවින්ම පරිවර්තනයකට ලක් කරන වැඩපිළිවෙලක මුල්බැසගත් ආරම්භයක් වනු ඇත්තේ ඉහත ප්රමුඛතාවයන් කෙරෙහි වැඩි බරක් දීම විසින් පමණී.
එකී අත්‍යවශ්‍ය ‘සුද්ද කිරීම්’ වලින් තොරව දැන් සිදුකරමින් ඇති ආකාරයේ ‘සුද්ද කිරීම්’ වලින් මාලිමා ආණ්ඩුවේ ආයුෂ දැඩි අවදානමට ලක් කෙරෙමින් ඇති බව පමණක් කිවහැකිය.