ලංකා මුහුදේදී ගිල්වා දැමුණු ඉරාන නැව ගැන ට්‍රම්ප්ගෙන් ප්‍රකාශයක්

ශ්‍රී ලංකා වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ඉරාන යුද නෞකාවක් ගිල්වා දැමීමට හමුදා නිලධාරීන් ගත් තීරණය තමන් ප්‍රශ්න කළ බවත්, එම යාත්‍රාව අත්පත් කර ගැනීමට වඩා එය විනාශ කිරීම “වඩා විනෝදජනක” සහ “ආරක්ෂිත” බව ජෙනරාල්වරු තමන්ට පැවසූ බවත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබේ.

මියගිය සංඛ්‍යාව පිළිබඳ වාර්තා එකිනෙකට වෙනස් වුවද, ඉරාන රාජ්‍ය මාධ්‍ය ආයතනයක් වන ඉස්ලාමීය ජනරජ ප්‍රවෘත්ති සංවිධානය (IRNA) ඉරිදා වාර්තා කළේ පසුගිය මාර්තු 4 වන දින ඉන්දියාවේ පැවැති ‘මිලාන් පීස් 2026’ (Milan Peace 2026) නාවික අභ්‍යාසයෙන් පසු ආපසු එමින් සිටියදී ඇමරිකානු සබ්මැරීනයක් එල්ල කළ ටෝපිඩෝ ප්‍රහාරයකින් IRIS Dena නම් ඉරාන නෞකාව ඉන්දියන් සාගරයේදී ගිලී ගිය බවයි. මෙම ප්‍රහාරයෙන් කාර්ය මණ්ඩලයේ 104 දෙනෙකු මියගොස් තවත් 32 දෙනෙකු තුවාල ලබා ඇත.

කෙන්ටකි හි හෙබ්‍රොන් (Hebron) හි පැවති රැලියකදී අදහස් දක්වමින් ට්‍රම්ප්, ඉරානයට එරෙහිව දියත් කෙරෙන පුළුල් ඇමරිකානු-ඊශ්‍රායල මිලිටරි මෙහෙයුමක කොටසක් ලෙස සිදු වූ මෙම සිදුවීම පිළිබඳව හමුදා ප්‍රධානීන් සමඟ කළ සංවාදය ඉතා සැහැල්ලුවෙන් විස්තර කර තිබේ.

“මම ඇහුවා ඇයි අපි ඔවුන්ව මරා දැමුවේ කියලා? ඇයි අපිට ඔවුන්ව අල්ලාගෙන අපේ නාවික හමුදාවට යොදාගන්න බැරි වුණේ?” යැයි ට්‍රම්ප් සිය ආධාරකරුවන් හමුවේ පැවසීය. එහිදී හමුදාව IRIS Dena නෞකාව ඉහළම මට්ටමේ (top-of-the-line) යාත්‍රාවක් ලෙස හැඳින්වූ බවද ඔහු සඳහන් කර ඇත.

ජනාධිපතිවරයාට අනුව, නම සඳහන් නොකළ හමුදා නිලධාරියෙකු ඔහුගේ ප්‍රශ්නයට පිළිතුරු දෙමින් පවසා ඇත්තේ නෞකාව විනාශ කිරීම වඩාත් සුදුසු බවයි. “ඔවුන් කිව්වා ඒවා ගිල්වා දැමීම වඩා විනෝදජනකයි කියලා,” ට්‍රම්ප් එසේ පවසද්දී රැස්ව සිටි පිරිස සිනාසුණහ. “ඔවුන් ඒවා ගිලෙනවාට වැඩිය කැමතියි. ඔවුන් කියනවා ගිල්වා දැමීම වඩා ආරක්ෂිතයි කියලා — මම හිතනවා ඒක ඇත්ත වෙන්න ඇති කියලා.”

මෙම ප්‍රකාශයන් ජාත්‍යන්තර වශයෙන් දැඩි විවේචනයට හා විරෝධයට ලක්ව ඇත. විචාරකයින් සහ ජාත්‍යන්තර නීති විශ්ලේෂකයින් මෙම අදහස් දැක්වීම් හෙළා දැක ඇත්තේ මාරාන්තික ප්‍රහාරයක් සාධාරණීකරණය කිරීම සඳහා කරන ලද නිර්ලජ්ජිත සහ අමානුෂික ප්‍රකාශයන් ලෙසයි.

නියෝජ්‍ය විදේශ අමාත්‍ය සයීඩ් ඛතිබ්සාදේ ඇතුළු ඉරාන නිලධාරීන් අවධාරණය කර සිටින්නේ, බෙංගාල බොක්කේ ඉන්දියාව විසින් පවත්වන ලද බහුපාර්ශ්වික නාවික අභ්‍යාසයකින් පසු ආපසු පැමිණෙමින් තිබූ මෙම ප්‍රහාරක නෞකාව නිරායුධව, භාණ්ඩ රහිතව (“unloaded”) සහ හුදෙක් චාරිත්‍රානුකූල මට්ටමින් ක්‍රියාත්මක වූවක් බවයි. ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි මීට පෙර මෙම ප්‍රකෝපකාරී ගිල්වා දැමීම “මුහුදේ සිදුකළ කුරිරු ක්‍රියාවක්” ලෙස හැඳින්වූ අතර, එක්සත් ජනපදය විසින් ඇති කරන ලද මෙම පූර්වාදර්ශය පිළිබඳව ඔවුන්ට “තදින්ම පසුතැවිලි වීමට” සිදුවනු ඇති බවට අනතුරු ඇඟවීය.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...