Breaking News

වසන්තට එරෙහිව තවත් නඩුවක් පටලයි

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (ජනවාරි 05) යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, එළඹෙන ජනවාරි 13 වැනිදා දක්වායි. බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ වසන්ත මුදලිගේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ හමුවට ඉදිරිපත් කරන ලදි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාරව අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටීමෙන් පසු වසන්ත මුදලිගේ දැනට මෙම මස 17වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි. නමුත් තවත් චෝදනාවක් සම්බන්ධයෙන් විභාගයට ඔහු අද කොටුව අලුත්කඩේ අධිකරණය වෙත ගෙන එන ලදී.

එම චෝදනාව වන්නේ පසුගිය වසරේ මැයි මාසයේ කොටුව බැංකු මාවතේ පැවති උද්ඝෝෂණයකිදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම හා ඔවුන්ට අයුතු අවහිරයන් කළ බවයි.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ නිහඬ විරෝධතාවක් අලුත්කඩේ උසවි සංකීර්ණය අසල දී අද (5) පැවැත්විණි.

‘සිරගත කර දින 140යි, ත්‍රස්ත පනතින් සිර කර සිටින වසන්ත මුදලිගේ වහා නිදහස් කරනු’ ආදී සටන්පාඨ ප්‍රදර්ශනය කරමින් පිරිස විරෝධතාවයේ නිරත වී තිබේ.

විශ්ව විද්‍යාල සිසුන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති නියෝජිතයන් ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිට ඇත.

පොලිස් මාර්ග බාධක කඩා බිඳ දමා ඊට දැඩි අලාභ හානි කර ඇති බව පොලීසිය අධිකරණය හමුවේ කරුණු දක්වන ලදි.

ඒ අනුව ඔහුට ඇප ලබා දෙන ලෙස කළ ඉල්ලීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීය.

මේ අතර පුජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි සහ පුජ්‍ය ටැම්පිටියේ සුගතානන්ද හිමි වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොටුව මහේස්ත්‍රාත්වරයා අද වරෙන්තු නිකුත් කළේය.

ඒ, නඩුවකට අදාළව අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.

පසුගිය වසරේ ජුනි මාසයේ කොළඹ කොටුවේ පැවති උද්ඝෝෂණයකදී කළහකාරී ලෙස හැසිරීම ඇතුලු චෝදනා මත එම නඩුව පවරා තිබේ.

leave a reply