බටලන්ද කොමිසමේ නිර්දේශවලට අනුකුලව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න ලෙස ජන අරගල සන්ධානය, ආණ්ඩුවට බලකර සිටියි.
ජන අරගල සන්ධානයේ විධායක සභික දුමින්ද නාගමුව එම කාරණය අවධාරණය කර සිටියේ, “ජන අරගල සන්ධානය” විසින් ඊයේ (07) කැඳවා තිබු විශේෂ මාධ්‍ය හමුව අමතමිනි.
මාර්තු 7 සිකුරාදා නුගේගොඩ, කන්දවත්ත පාරේ (වැලිපාක් අසල), අංක 30/1* දරණ ස්ථානයේ පිහිටි කම්කරු කාර්යාලයේදී පැවති එම මාධ්‍ය හමුවේදී තවදුරටත් අදහස් දැක්වූ දුමින්ද නාගමුව, දහස් ගණනක් වද බන්ධනයට ලක් කර මරා දැමූ බටලන්ද වධකාගාරය පිළිබඳව ඉදිරිපත් වුන බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර එම කොමිෂන් සභාවේ නිර්දේශ කර ඇති ආකාරයට රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය හෝ අහෝසි කිරීම සිදුකිරීමට මේ ආණ්ඩුවට හැකිදැයි තමන් දැඩි අවධාරණයකින් යුතුව බලා සිටින බව ප්‍රකාශ කළේය.
ජාත්‍යාන්තර මාධ්‍ය හමුවට ගොස් දාම ඝාතකයෙක් කරන මේ උසුලු විසුළුවලට වින්දිත ජනතා විමුක්ති පෙරමුණයට නෛතිකව පිළිතුරු දීමට ඉතිහාසයේ හොඳම අවස්ථාව ලැබී ඇති බව කී දුමින්ද නාගමුව, මරා දැමූ විජේදාස ලියනආරච්චි ඇතුළු සිය ගණනක් සහෝදරවරුන්ගේ ජීවිත සම්බන්ධව ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධව ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය කුමක්දැයි රටේම අවධානයට ලක්වන මොහොතක් පැමිණ ඇති බව ද අවධාරණය කළේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව,
සමස්ත රටේම ජනතාව ජාත්‍යන්තරය ඉදිරිපිට අවඥාවට ලක් කළා…
” හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග මිහිත් හසන් පැවැත්වූ සම්මුඛ සාකච්ඡාවක් ඊයේ අල් ජසීරා නාලිකාව ඔස්සේ විකාශනය වුණා. මේ සාකාච්ඡාව කියන්නේ රටේ ජනතාව වෙත මේ රටේ දේශපාලනයේ ඉතාම දරුණු සහ ඛේදජනක පැතිකඩක නිරාවරණය වීමක්. අපි හිතනවා මේ සමස්ත සම්මුඛ සාකච්ඡාව මේ රටේ සියලු ජනතාව නැරඹිය යුතුයි කියලා. මේ රාජ්‍යයේ නිර්ලජ්ජිත හැසිරීම සහ බලයට මුවා වෙලා මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන විදිහ ජනතාවට යම් තරමකින් තේරුම් ගන්න පුලුවන් මේ සාකච්ඡාවෙන්.
බලයට මුවා වෙලා දහස් ගණනක් අමු අමුවේ ඝාතනය කරමින් රට පුරා භීතිය සහ වෛරය් වපුරපු දාම ඝාතකයෙක් ගේ විසුළු සහගත ප්‍රකාශනය තමයි ඊයේ අල් ජසීරා නාලිකාව විකාශනය කලේ. සමාජයක් ඉදිරිපිට කිසිඳු බියක් නැතුව සිනහමුසු මුහුණින් ඒ කරපු ප්‍රකාශයෙන් තේරුම් ගන්න පුලුවන් මේ දාම ඝාතකයාගේ මෙලෙච්ඡ මානසිකත්වයේ තරම.
ඒ වගේම තමයි ඔහු සමස්ත රටේම ජනතාව තමයි ඒ ජාත්‍යන්තරය ඉදිරිපිට අවඥාවට ලක් කලේ.
මුළු වීඩියෝ පටය පුරාම දිව යන ප්‍රධාන දේශපාලන වියමනක් තියනවා…
මේ එක්කෙනෙක් විතරයි. මෙවැනිම මෙලෙච්ඡ දාම ඝාතකයෝ තව ප්‍රමාණයක් ඉන්නවා. ඒ සියලු දෙනා මේ විදිහට ගෙන්නනවනං අපිට දැනගන්න පුලුවන් ඔවුන්ගේ නින්දිත හැසිරීමේ ස්වරූපය. මේ මුළු වීඩියෝ පටය පුරාම දිව යන ප්‍රධාන දේශපාලන වියමනක් තියනවා. ඒ තමයි මේ ඝාතකයෝ රැල හැමවෙලාවෙම එකිනෙකාව ආරක්ෂා කරගන්න මැදිහත් වුණා කියන එක.
නිවේදකයා රනිල්ගෙන් අහනවා බටලන්ද කොමිසමේ වාර්තාව පෙන්නලා ඒ ගැන. ඒ වෙලාවෙ රනිල් අහන්නේ ඕක පාර්ලිමේන්තුවේ සභාගතකළා ද කියලා. මේ රනිල් කියන්නේ බටලන්ද කොමිසමේ වාර්තාව මේ රාජ්‍යයෙන් අනුමත වෙලා නැති නිසා පිළිගන්න බෑ කියලා. හැබැයි අපි පැහැදිලිව දන්නවා බටලන්ද කොමිසම ජනාධිපතිවරයෙකු විසින් පත් කළ කොමිසමක්. ඒ කමිටුවේ අවසන් නිර්දේශ එවකට හිටපු ජනාධිපති වෙත බාරදීලා තියෙන්නේ. එහෙනම් ඇයි මේ වාර්තාව පාර්ලිමේන්තුවට නොගෙනාවේ. හේතුව තමයි එවකට ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට අවශ්‍ය වුණා රනිල්ගේ දේශපාලන අනාගතය ආරක්ෂා කරන්න.
ඊලඟට 2015 රාජපක්ෂලා හොරු හොරු කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු යහපාලන ආණ්ඩුව බලයට ආවා. ඒ වෙලාවේ FCID එක හදලා රාජපක්ෂලාගේ වංචා දූෂණ විශාල ප්‍රමාණයක් හොයන්න අදාළ පරීක්ෂණ ආරම්භ වුනා. හැබැයි මොකද වුනේ මගදි නඩු එකින් එක ගැලවිලා විසි වුණා.
මේ සාකච්ඡාවෙදි රනිල්ගෙන් අහනවා ඒ නඩුවලට මොකද වුණේ කියලා. ඒ වෙලාවේ ඔහු කියනවා මම නඩු දැම්මා හැබැයි ලංකාවේ නීතිපති දෙපාර්තමේන්තුව ඒ නඩු ඉදිරියට පවත්වාගෙන යන්න බෑ කියලා ඉවත් කරගත්ත කියලා. මේකද ඇත්ත ? මේක නෙවෙයි ඇත්ත අපි පිළිවෙළට කියන්න වෙච්ච දේවල්. පැහැදිලිව මේ නඩු අතරමගදි නවත්තන්න දේශපාලන මැදිහත් වීම් වුණා. සමහර නඩු නීතිපති ඉල්ලා අස්කරගත්තා. ඇතැම් නඩුවලට කරුණු ගොනු නොකර මගහැරියා. රනිල් මේවා කලේ නීතිපති දෙපාර්තමේන්තුවට ඍජුව මැදිහත් වෙලා.
”නීතිපති බැසිල්ට එරෙහිව තිබුණු ලිත් නඩුව ඉවත් කරගත්තා”
2022 සංජය රාජරත්නම් නීතිපති බැසිල්ට එරෙහිව තිබුණු ලිත් නඩුව ඉවත් කරගත්තා. 2021 ඔක්තෝබර් මාසෙදි කෝටි 299ක වංචාවලට අදාලව බැසිල්ට එරෙහිව තිබුණ දිවිනැගුම නඩුව ඉවත් කරගත්තා. 2021 මාර්තු ප්‍රේමලාල්ට එරෙහිව තිබුණ නඩුව ඉවත් කලා. මිලියන පහක වංචාවලට අදාළව තිබුණු සතොස නඩුව 2021 ඉවත් කරගත්තා. ලක්ෂ 412ක අයථා දේපළ නඩුවක් තිබුනා රෝහිතට විරුද්ධව මේකත් ඉල්ලා අස් කරගත්තා. මේ විදිහට තමයි මේ රාජ්‍යය එකිනෙකාව ආරක්ෂා කරගත්තේ. චන්ද්‍රිකා රනිල්ව ආරක්ෂා කලා. රනිල් රාජපක්ෂලාවා ආරක්ෂා කලා. ඒ වගේම තමයි පෙරළා රාජපක්ෂලා රනිල්ව රැක්කා.
රනිල් මේ සාකච්ඡාවෙදි කියනවා ගෝඨාභයට මහින්දට නඩු දාන්න චෝදනා නෑ ඒ නිසා නඩු දැම්මෙ නැතිලු. හැබැයි අපි කියනවා ගෝඨාභය රාජපක්ෂ ලලිත් කුගන් ඝාතන නඩුවේ ප්‍රධාන චූදිතයෙක්. ඒ වගේම ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් තියනවා මහින්දලා ආර්ථික ඝාතකයින් විදිහට නම් කරලා. ඒ ආර්ථික ඝාතනයේම තව පරිච්ඡේදයක් තමයි රනිල් පහුගිය කාලේ ලිව්වේ. සේවක අර්ථසාධක අරමුදලට දැවැන්ත ප්‍රාහරයක් එල්ල කරමින් ගජමිතුරන්ට දැවැන්ත ලාභයක් අත් කර දෙමින් දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කරනන්න රනිල් මැදිහත් වෙච්ච විදිහ අපි දැක්කා. දැන් ඒ කතාව තලු මර මාරා ඔහු රස විඳිනවා.
හැබැයි අද මේ දූෂිත දේශපාන තන්ත්‍රයම ඉන්නේ බලය අහිමි වෙලා. අද ඓතිහාසිකව දේශපාලන බලය අරගෙන ඉන්නේ මේ දාම ඝාතකයන්ගෙන් අසාධාරණයට සහ පීඩාවට ලක් වුණු ජනතා විමුක්ති පෙරමුණ. එහෙනම් බටලන්ද කොමිසන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න අද පාර්ලිමේන්තුවේ ඉන්නවා 159ක් මන්ත්‍රීවරු. ඒ අතරින් බහුතරයක් අර යුක්තිය ඉල්ලා කෑ ගහන ජනතා විමුක්ති පෙරමුණේ උරුමකරුවන්. දැන් ඔව්න්ට ඓතිහාසික අවස්ථාවක් ඇවිත් තියෙන්නේ එදා චන්ද්‍රිකාලා මගහැරපු බටලන්ද කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. කොමිසමේ නිර්දේශවල තියනවා රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න කියලා. ඒ වගේම රනිල් වික්‍රමසිංහව අධිකරණය හමුවට ඉදිරිපත් කරන්න කියලා. ඒ නිර්දේශ ක්‍රියාත්මක කරලා බටලන්ද කොමිසමේ වාර්තාවට යුක්තිය ඉෂ්ට කිරීම මේ ආණ්ඩුවේ වගකීමක්.
දැන් රනිල් කොලේ ඇදලා තියෙන්නේ. අමුතුවෙන් නීති හදන්න පරීක්ෂණ කරන්න දෙයක් නෑ. කොමිසම විසින් සම්පූර්ණ කළ වාර්තාවක් තියනවා. දැන් තියෙන්නේ ඒ වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න. අපි කියන්නේ අඩුම තරමින් රනිල්ගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න. මොකද ඉතාම නිර්ල්ලජිත විදිහට ඔහු ජාත්‍යන්තරය ඉස්සරහ තමන්ගේ මිනීමැරු දේශපාලනය සාධාරණීකරණය කලේ. නින්දිත විදිහට කොමිසමේ වාර්තාවට විසුලුවට ලක් කලේ. අදටත් බටලන්දේ දී අපා දුක් විඳලා මිය ගියහ.
උතුරේ වෙච්ච ජන ඝාතන ගැන ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව…
ඊලඟට උතුරේ වෙච්ච ජන ඝාතන ගැන ලැජ්ජාවක් හිරිකිතයක් නැතුව මේ සාකච්ඡාවෙදි ඔහු කියනවා. මේ රට පුරාම තිබුණේ මේ වගේ ඝාතන පැහැරගැනීම් දූෂණ වංචා රැලක්. එකක් පසුපස එකක් බැගින් වුනේ අපරාධ. ඒ අපරාධකරුවන්ගේ ලයිස්තුවේ එක්කෙනෙක් ඊයේ පාපොච්ඡාරණයක් කලා. දැන් තියෙන්නේ ආණ්ඩුවේ අවස්ථාව.
හැබැයි මේ නීතිය ක්‍රියාත්මක කිරීම තවත් නාට්‍යකට සීම නොකර මේ දාම ඝාතක වියරු දේශපාලන පැලැන්තියම නීතිය ඉස්සරහට ගේන්න. අතුරේ ජනතාවට වගේම දකුණේ ජනතාවට යුක්තිය ඉෂ්ට කරන්න. ඒ වගේම තමයි අපි රටේ ජනතාවටත් කියනවා තවදුරටත් මේ රාජ්‍යයට මේ විදිහට ඉස්සරහට යන්න ඉඩ දෙන්න එපා. මොකද මේ පාලකයෝ දශක ගණනාවක් මේ සෙල්ලම් කරල තියෙන්නේ ඔබේ ජීවිත එක්ක. ඒ නිසා මේ සෙල්ලම තවත් කරන්න ඉඩ දෙන්න එපා. මේ මිනීමරු කල්ලියට නැවත බලය ගන්න ඉඩ තියන්න එපා. අපි හිතනවා රටේ ජනතාව මේ ප්‍රශ්නය ගැන සුලුවෙන් නොහිතා කටයුතු කරයි කියලා. “