‘නොසන්සුන් මොහොතක හීනයක්’ නමින් කාව්‍ය සංග්‍රහයක් ප්‍රකාශයට පත් කරමින් නිර්මාණ සාහිත්‍යයට පිවිසෙන කසුන් සමරතුංග බොහෝ දෙනාගේ අවධානයට ලක්වන්නේ 2023 වසරේදීය. ඒ ඔහු විසින් රචනා කරන ලද ‘ජාජා ඩිං’ 2023 වසරේ හොඳ ම යොවුන් නවකතාව ලෙසින් රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් සහ රජත පුස්තක සම්මානයෙන් පිදුම් ලැබීමත් සමගය. ඔහුගේ කුළුඳුල් නවකතාව ‘මන්දාකිනියක කීපදෙනෙක්’ KBOOKS ප්‍රකාශනයක් ලෙසින් නිකුත්වූයේ පසුගිය වසරේ අවසන් කාර්තුවේය. ඒ නවකතාවේ සිටින ජනිත්, කල්ප, ලවින්දි, ප්‍රසන්න, නතාෂා සුවිශේෂී චරිතයෝය. ඉදින් කසුන් සමග මා සංවාදයට එළැඹියේ ඔවුන් පිළිබඳ විමසමිනි.
#. ඔබ දකින මන්දාකිනියේ ඉන්න කීපදෙනා ඔබට හමුවුණේ කොහොම ද? විශේෂයෙන් ලවින්දි, ජනිත්, කල්ප, ප්‍රසන්න, රොෂාන් මේ ඔබ දන්න හඳුනන අය ද?
මම වෘත්තියෙන් මාධ්‍යවේදියෙක්, ගුරුවරයෙක් විදිහට වැඩ කළා. පොත් ලිවීම නිසා සාහිත්‍ය සමාජය ඇසුරු කළා. විශ්වවිද්‍යාල කාලයේ ඉඳන් වාමාංශික දේශපාලනයත් එක්ක යම් යම් වැඩකරල තියෙනව. ඒ ජීවන සැරියෙදි මට හමුවුණ චරිත ටිකක් තමයි ඒ. ඒත් නිශ්චිතව මෙයා යැයි කියන්න බැහැ. එක චරිතයක් ඇතුළෙ මට හමුවුණු කීපදෙනෙක් ඉන්න පුළුවන්.
#. ලවින්දි කේන්ද්‍රයේ තියාගෙනයි මේ කතාව ඉදිරියට යන්නෙ. හැබැයි ලවින්දිගෙ කතාව ඇගේ හඬින් ඇහෙන්නෙ නැහැ. ජනිත්, කල්ප, ප්‍රසන්න වගේ පිරිමින්ගෙ හඬින් තමයි ඇයව ඇහෙන්නෙ. ජනිත් සහ කල්ප අහිමිවීමේ වේදනාව කියන්න ලවින්දිට ඔබ ඇයි ඉඩ නොදුන්නේ?
ලවින්දිට එහෙම කතාවක් තිබුණ බව කෙනෙක්ට කියන්න පුළුවන්. නමුත් මම මේ කතාව ඉදිරිපත් කරන ආකෘතිය තෝරගත්තෙ ඉතා ම සවිඤ්ඤාණිකව. ප්‍රධාන චරිතය ලවින්දි කියල මගේ ඔළුවෙ තිබුණට, ඇගේ කෝණයෙන් කතාව කියන්න නොවෙයි මට ඕන වුණේ. ඇගේ වටපිටාවේ ඉන්න චරිත ඇසුරින් ලවින්දි ගොඩනැගීමයි කළේ. කතාව පටන්ගනිද්දි ම මගේ ඔළුවෙ තිබුණා ඒක.
#. ඔබ ජනිත් හෝ කල්ප වුණා නම් ගන්න තීරණය මොකක් වෙයි ද?
ඒක ටිකක් අමාරුවේ වැටෙන ප්‍රශ්නයක්. මම හිතන්නෙ මේ කතාව ඔය ලියා තියෙන විදිහට ම තමයි සිද්ධවෙන්නෙ. එතැනින් එහා දෙයක් ගැන මට එකපාර ම හිතාගන්න බැහැ.
#. ඒත් මේ මන්දාකිනියේ ඔබ වැඩිපුර ම ඉන්නෙ ජනිත් සහ කල්ප ළඟ නේ ද?
වෙන්න පුළුවන්. ඒකට ආකෘතිය බලපෑම් කරනවා වෙන්න පුළුවන්. මොකද කතාවේ වැඩි කොටසක් වෙන්වෙන්නෙ ඒ දෙන්නට නිසා.
#. නවකතාවකින් කතුවරයා හෙළිදරව්වීම ඒ නවකතාවට මොනවගේ බලපෑමක් ද කරන්නේ?
ලේඛකයෝ ලියද්දි ඔවුන්ගෙ ම අත්දැකීම්, තමන් ජීවත්වන සමාජයෙදි ආපහු දැකපු දේවල් අනිවාර්යයෙන් ම කතාවට එනව. එතැනදි කතුවරයගෙ කතාවෙන් ඔබ්බට පියවරක් ඉදිරියට ගිහින් ප්‍රබන්ධකරණයේ කොටස හරියට පැනගත්තොත් තමයි, ඕනෑ ම සාහිත්‍ය නිර්මාණයක් සාර්ථක වෙන්නෙ. ඒක මගෙන් වෙලා තියෙනව ද කියන එක තීරණය කිරීම පාඨකයන්ට බාරයි.
#. මේ නවකතාවේ විශේෂ ම දේ තමයි භාෂාව. එය ගලායන භාෂාවක්. ඒ ඒ චරිතවලට හරි අපූරුවට ඔබ භාෂාව ගළපනව. භාෂාව එක්ක මේ විදිහට ඔබ හරඹ කරන්න පුරුදු වුණේ පත්තර රස්සාව නිසා ද ?
පැහැදිලිව ම, පත්තරෙත් එක්ක ඉන්නකොට ලැබුණු අභ්‍යාසය සහ ආභාසය ඒකට ලොකු බලපෑමක් වුණා. ඔබත් දන්නවා පත්තරවලට ලිවීම වෙන ම කලාවක්. ඒක ඇතැම් විටක අභියෝගයක්. ඒකට දඩිබිඩි සාහිත්‍යය කියලත් කියනවනෙ. බලාපොරොත්තු තියාගෙන හිටපු පිටු භාගයක දැන්වීමක් නො ලැබුණා ම, ඒ ඉඩ පුරවන්න ක්ෂණිකව දෙයක් ලියන්න වෙන අවස්ථා එනව. ඒ නිසා ඇත්තට ම පත්තර කලාව ඇතුළෙ මම ලිවීම අභ්‍යාස කළා. එතනදි මගේ ලිවීම මුවහත් වුණා. මේ කතාවේ ජනිත්ගෙ කොටස ලියද්දි වාචික, හාස්‍යට බර භාෂාවක්, කවියෙක් වන කල්පගෙ කොටස ලියද්දි ලිඛිත, සාහිත්‍යමය භාෂාවක් සහ දේශපාලනඥයා ප්‍රසන්නගෙ කතාව කට වචනයෙන් ලිවීමටත් පුවත්පත් කලාවේදි කළ භාෂා අභ්‍යාසය ඉවහල් වුණා.
#. “ඒකිගෙ පොත මරු මචං, හැබැයි මේක ඒකිගෙ පළවෙනි පොතනෙ. ඒක නිසා අපි එයාට සම්මානෙ දෙන්නෙ නෑ. එයාට තව කල් තියෙනවනෙ.” මේ ඔබ හෙළි කරන්නෙ අපේ සාහිත්‍ය සම්මාන ක්‍රියාවලියේ එක්තරා අඳුරු පැතිකඩක්. මේක ඔබේ අත්දැකීමක් ද ?
සම්මාන ගැන ලොකු වාද විවාද හැමදා ම තිබුණනෙ. මට ඇතැම් පොත්වලට සම්මාන ලැබිල තියෙනව, ඇතැම් ඒවාට ලැබිල නැහැ. ඒ නිසා පළමු දේ තමයි මට සම්මාන නොලැබුණා කියන තැන ඉඳන් නොවෙයි මම මේක ලියන්නෙ. නමුත් මේක ප්‍රසිද්ධ රහසක්, අපේ සාහිත්‍ය ක්ෂේත්‍රයේ. සම්මාන කෙරුවාව යටින් අපිට නොපෙනෙන අඳුරු ඡායාවන් සැරිසරනව. ඒ වගේ අහන්න, දකින්න ලැබුණු සිදුවීමක් තමයි ඒ. ඒවත් සාහිත්‍ය ක්‍රියාවලියෙ ම කොටස්. මම විශ්වාස කරන්නෙ සම්මාන ලැබුණා හෝ නොලැබුණා, එක ම විදිහට හිත තියාගැනීමයි කළ යුත්තෙ. සම්මාන උත්තේජනයක් මිසක්, මම මහා නවකතාකාරයෙක්, කවියෙක් කියල ඔළුව උදුම්මා ගැනීමක් විදිහට පාවිච්චි නොකළ යුතුයි.
#. කොහොම වුණත් ඔබ ලියූ පළමු යොවුන් නවකතාවට ම රාජ්‍ය සාහිත්‍ය සම්මානය වගේ ම රජත පුස්තක සම්මානයත් හිමිවෙනව. හැබැයි ඔබ පටන් ගන්නෙ කවියෙන්. පසුව කෙටිකතා සංග්‍රහයක් පළ කරනව. නවකතාවට පෙර ඔබ නියැළුණු මේ හැම සාහිත්‍ය ශානරයක් ම ඔබේ නවකතාවට පෙර පුහුණුවක් ද?
ඔබේ ප්‍රශ්නය එක්ක මට මතක්වෙන්නෙ රත්න ශ්‍රී විජේසිංහ සම්මුඛ සාකච්ඡාවකදී කියා තිබූ දෙයක්. ඔහු කියනව ඔහුගේ පරම්පරාව ගද්‍යයෙන් පටන්ගෙන පද්‍යයට ආපු බව සහ අද පරම්පරාව පද්‍යයෙන් පටන් ගෙන ගද්‍යයට එන බව. මම හිතන්නෙ ඒක ඇත්ත. මමත් කවිය තමයි මුල් කාලයේ සමීපව ඇසුරු කළේ. හැබැයි ඒකෙන් කියැවෙන්නෙ නැහැ අනෙක් සාහිත්‍ය ශානර එක්ක ඇසුරක් තිබුණෙ නැහැ කියල. උසස් පෙළ කරන කාලයේ මම කෙටිකතා ලියා තියෙනව. ඒ වගේ ම උසස් පෙළදි අපිට තිබුණු කේවල ව්‍යාපෘතියෙදි මම කළේ යොවුන් නවකතාවක් ලිවීම. වැඩි ඇසුර කවියත් එක්ක තිබුණ නිසා තමයි කවි පොතක් මුලින් ම ප්‍රකාශයට පත්වෙන්නෙ. ඒ සාහිත්‍ය ශානර එක්ක ගැවසුණේ නවකතාවක් ලිවීම ඉලක්ක කරගෙන ම නොවෙයි.
#. ලේඛකයෙක් වෙන්න ඔබට බලපෑම් කළ විශේෂ හේතු තිබුණ ද?
මගේ පවුලෙ කිසි ම සාමාජිකයෙක් කලාවට හෝ සාහිත්‍යයට සම්බන්ධ නැහැ. ඒ වුණත් සති අන්ත පත්තර හැම එකක් ම තාත්තා ගෙදරට ගෙනාව. ඒ නිසා ඒව මම කියෙව්ව. විශේෂයෙන් චන්ද්‍රසිරි දොඩංගොඩ, කරුණාදාස සූරියආරච්චි වගේ පුවත්පත් කලාවේදීන්ගෙ ලිපිවලින් ලොකු ආස්වාදයක් ලැබුව. අනෙක පොත් කියැවීම. කුලසේන ෆොන්සේකාගෙ යොවුන් නවකතා මගේ යෞවන කාලයේ බොහොම ආසාවෙන් කියෙව්ව. මම හිතනව ඒ යොවුන් නවකතා පෙළ මට යම්කිසි බලපෑමක් වෙන්න ඇති කියල.
#. පසුකාලීනව රාජ්‍ය සම්මානයෙන් පිදුම් ලබන ‘ජාජා ඩිං’ ලියන්නත් ඔබට බලපෑම් කළේ ඒ ආස්වාදය ද?
ඔව්, අනිවාර්යයෙන් ම ඒ ආස්වාදය මට බලපාන්න ඇති. යොවුන් නවකතා ලිවීමේ වුවමනාව අවුළුවන්න කුලසේන ෆොන්සේකා ගිනි පුපුරක් වුණා කියල දැන් මට හිතෙනවා. හැබැයි මම ලිව්වෙ ඔහු ලිව්ව වගේ වික්‍රමාන්විත කතා නොවෙයි. කුලසේන ෆොන්සේකාගේ රන්සිරිගේ සංග්‍රාමය’ හැර අනෙක් පොත්වල තිබුණෙ වික්‍රමාන්විත කතා. මගේ ‘ජාජා ඩිං’ කියන්නෙ නාගරික මධ්‍යම පාන්තික පාසල් සිසුන් දෙදෙනෙක්ගෙ කතාවක්.
#. ඔව්, ඔබ සාහිත්‍ය සමාජය ඇතුළෙ යම් අවධානයකට ලක්වෙන්නත් ඒ යොවුන් නවකතාව හේතුවක් වුණා. ඒ උණුසුම එක්ක තමයි පසුගිය වසරේ කුළුඳුල් නවකතාව එළිදක්වන්නෙ. නවකතාවක් ලිවීම සහ යොවුන් නවකතාවක් ලිවීම කියන මේ දෙකේ වෙනස ඔබට කොහොම ද දැනුනේ?
ඇත්තට ම මට නම් පැහැදිලි වෙනසක් දැනුණා. සත්‍යජිත් රායි වැනි ලෝ ප්‍රකට සාහිත්‍යවේදියෙකුත් ඒ අභියෝගයට මුහුණ දීල තියෙනව. ඔහු ලියනව රහස් පරීක්ෂක යොවුන් නවකතා පෙළක් ‘ෆෙලූදා’ (Feluda) නමින්. එහි පෙරවදනෙ තියෙනව යෞවනයන් වෙනුවෙන් ලිවීම ඔහුට කොයිතරම් අභියෝගයක් වුණා ද කියල. ඒ වෙනුවෙන් කොයිතරම් නම් හෝම්වර්ක් කළාද කියල. ලියද්දි යෞවනයන්ට ගැළපෙන තැන් මොනව ද, විශේෂයෙන් ලිංගිකත්වය වැනි කාරණා, අපරාධමය කාරණා ලියද්දි සැලකිලිමත් වුණේ කොහොම ද, කියන එක. ඒක හරියට ම හරි. නවකතාවක් ලියද්දි අතදිගහැරල ලියන්න පුළුවන් වුණත් යොවුන් නවකතාවක් ලියද්දි අත ටිකක් හැකිළෙනව.
#. ඒ කියන්නෙ ඔබ ස්වයං වාරණ පනවා ගනිමින් ද යොවුන් නවකතා ලියන්නේ?
‘ජාජා ඩිං’ කියවල මට කතා කළා මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ. ඔහු කියපු දෙයක් තමයි ලංකාවෙ යොවුන් නවකතා ලියද්දි සමහරවෙලාවට රචකයා ම ස්වයං සීමා දාගන්න බව. එහෙම නැත්නම් සමාජයෙන්, සංස්කෘතියෙන් සීමා වැටෙන බව. ඔහු කියවපු ඇමරිකන් යොවුන් නවකතාවක බොහොම නිදහසේ දේවල් ගැන කතාකරනව කියල. ඒ කතාවේ ඉන්න යොවුන් දරුවගෙ මව මියගිය බව දුරකථනයෙන් දන්වන්නෙ ඔහුගෙ ගුරිවරියට. ඇය ඒ පිරිමි දරුවා තමන් ගාවට ගෙන්වාගෙන ඒ ශෝකී පණිවුඩය ඔහුට කියනව. ඒ වෙලාවේ ශෝකය දරාගන්න බැරුව ඒ දරුවා අඬද්දි ගුරුවරිය ඔහුව තමන්ගෙ තුරුලට අරගෙන අස්වස්සනව. ඒ වගේ මොහොතක වුණත් ගුරුවරිය තමන්ගෙ ශරීරයේ ස්පර්ශ වීමත් එක්ක ඒ යෞවනයාගේ හිත සහ ගත ප්‍රාණවත් වුණ බව ඒ ලේඛකයා ලියන බව මහාචාර්ය ප්‍රභාත් ජයසිංහ කිව්ව. ඔය වගේ සිදුවීමක් අපිට යොවුන් නවකතාවක ලියන්න පුළුවන් ද කියන අභියෝගය තියෙනව.
#. ඔබේ නවකතාවට ආයෙත් එමු. ‘මන්දාකිනියක කීපදෙනෙක්’ නිමවෙන්නෙ ලවින්දි ගේ ජීවිතය ඛේදවාචකයකින් අවසන්වීමත් එක්ක. ජනිත්, කල්ප, ප්‍රසන්න, නතාෂා මේ කීප දෙනා අතරින්, ඒකට වැඩියෙන් ම වගකියන්න ඕනෙ කවු ද? මේ පොත කියවන පාඨකයෙක් විදිහට මේකට ඔබේ පිළිතුර මොකක් ද?
මම හිතන්නෙ නතාෂා. ඇය තමයි අලුත් ජීවිතයක් පටන්ගන්න ලවින්දිව රොෂාන් ළඟට ආයෙත් යවන්නෙ. නතාෂා එක තැනකදි කියනවා පිරිමි හතර දෙනෙක්ගෙන් සහනයක්, විමුක්තියක් නොලැබුණු ලවින්දිට, තවත් ගැහැනියක් ළඟයි එය ලැබුණෙ කියල. එතනදි නතාෂා එක්ක සම්මුඛ සාකච්ඡාව කරන අතරමැදියා අහනවනෙ ලවින්දිගෙ විමුක්තිය, සහනය තව පිරිමියෙක්ට බාරදුන්න නේ ද කියල. මම හිතන්නෙ අන්න ඒ බාරදීම ඇතුළෙ තමයි ලවින්දිගෙ භෞතික ජීවිතය අහිමිවෙන්නෙ.
සංවාදය – ලක්මාල් බෝගහවත්ත
‘මන්දාකිනියක කීපදෙනෙක්’ නවකතාව නිමිති කරගෙන අද ‘අරුණ’ පත්තරේ පළ වුණ කතා බහක්. සංවාදය කරපු ලක්මාල් බෝගහවත්තට සහ සම්බන්ධීකරණ කටයුතු කරපු බියංකා නානායක්කාරට සහෝදරාත්මක තුති ! 💖💖💖
බදාදා ‘අරුණ’ පුවත්පත | ‘ධාරා’ සාහිත්‍ය පිටුව | 2025.01.08