Breaking News

දේශබන්ධු ඉවත්කිරීම ගැන නීති ක්ෂේත්‍රයේ මතය

වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම සම්බන්ධයෙන් අගමැතිවරයා ඊයේ (26) පාර්ලිමේන්තුවේ දී සිදුකළ ප්‍රකාශයේ කිසිදු වලංගුතාවයක් නොමැති බව නීතීඥ සාමූහිකයේ ජනාධිපති නීතීඥ සාලිය පීරිස් පවසයි.

ඒ පොලිස්පති ධූරය සම්බන්ධයෙන් මේ වන පත්වී ඇති දේශපාලන තත්ත්වය ගැන නීතීඥ සාමූහිකය විසින් ඊයේ(26) පවත්වනු ලබන ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

ඔහු පවසන්නේ ව්‍යවස්ථාදායක සභාව අධිකරණයේ අභියෝගයට ලක්කළ නොහැකි බවට වන ප්‍රකාශය පදනම් විරහිත බවයි.

“අද දින තුළ අගමැතිවරයා, දක්වා සිටියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තීරණ ප්‍රශ්න කරන්න බෑ කියලා අධිකරණයට. ඒ කාරණාව සම්පූර්ණයෙන් සාවාද්‍යයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 (ඕ) යන්න කියන වගන්තිය අගමැතිතුමා කියවන්න ඕනේ. එහෙම වුණානම් ඒකෙන් පේනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ තීරණ ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට යටත්. අද ජනාධිපතිවරයා කියනවා නම් ඔහුට ධුරයේ කාර්යයන් කරන්න බෑ කියලා එහෙම නම් ඔහු තාවකාලිකව අයින් වෙලා කරන්න පුළුවන් කෙනෙකුට භාරදෙන්න ඕනේ. ඒකටත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන තියෙනවා. වැඩබලන පොලිස්පතිවරයා පත්කරන්න ඕනේ ජනාධිපතිවරයා. ඒක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබුණ වගකීමක්. ඒකෙන් ඔහුට මඟ හැරයන්න බෑ”

මේ අතර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පොලිස්පතිගේ පත් වීමට අදාළව මෑතකදී නිකුත් කරන ලද අතුරු නියෝගය සම්බන්ධයෙන් වන රජයේ ස්ථාවරය පිළිබඳව තම මතය ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් පැහැදිලි කර තිබෙනවා.

ඒ අනුව නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙන්නේ, දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පතිධුරයට පත් කිරීම අභියෝගයට ලක් කරමින් පවරා ඇති නඩුකරයන්හි ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු නියෝග සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාවලිය හෑල්ලුවට ලක් කරමින් රජය විසින් ගෙන ඇති ස්ථාවරය තරයේ හෙළා දකින බවයි.

එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුකරයන්හි ත්‍රි පුද්ගල විනිසුරු මඩුල්ල විසින් නීතිපති සහ දේශබන්ද තෙන්නකෝන් මහතාගේ නීතිඥවරුන් ඇතුලු සියලු පාර්ශවකරුවන්ගේ නීතිඥවරුන්ගේ තර්ක සලකා බලා එම නඩුකර ඉදිරියට පවත්වාගෙන යෑමට අවසර ලබා දෙන ලද අතර, එම අවස්ථාවේ දී ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තෙන්නකෝන් මහතා පොලිස්පති ධුරයේ වගකීම්, කාර්යයන් සහ බලතල මත රාජකාරි කටයුතුවල යෙදී සිටීම වලක්වාලමින් එකී නඩුකර අවසන් වශයෙන් අසා තීන්දු කරන තෙක් අතුරු නියෝගයක් ද නිකුත් කරන බව මෙහි සඳහන් වනවා.

ශ්‍රේෂ්ඨාධිකරණට ව්‍යාවස්ථාදායක සභාවේ අනුමැතිය මත ජනාධිපතිවරයා විසින් සිදු කර ඇති පත් කිරීම පිළිබඳව විමසා බැලීමට අධිකරණ බලයක් නොමැති බවට වන රජයේ ස්ථාවරය අර්ථශුන්‍ය ස්ථාවරයක් බව නීතිඥ සංගමයේ මතය වනවා.

ඒ අනුව ඔවුන් සඳහන් කරන්නේ, ව්‍යවස්ථාදායක සභාවේ තීරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 410 ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණයේ මුලික අයිතිවාසිකම් අධිකරණ යට යටත් වන අතර 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව ජනාධිපතිවරයාට යුද්ධය හා සාමය ප්‍රකාශ කිරීමට ඇති ඵලය හැර අනෙක් සියලූ ජනාධිපති බලතල ක්‍රියාත්මක කිරීම ශ්‍රේෂ්ඨාධිකරණ මුලික අයිතිවාසිකම් අධිකරණ බලයට (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 35වන ව්‍යවස්ථාව අනුව) යටත් වන බවයි.

ජනරජයේ අගමැතිවරයා, කථානායකවරයා හෝ වෙනත් කිසිදු බලධරයකු හට ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අවලංගු කිරිමට බලයක් නොමැති අතර විධායකය සහ ව්‍යවස්ථාදායකය විසින් අධිකරණ තීන්දුවලට ගරු කිරීම නීතියේ ආධිපාතය හා අධිකරණයේ ස්වාධීනත්වය උදෙසා අත්‍යවශ්‍ය කාරණයක් බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසනවා.

රජය විසින් අධිකරණ තීන්දුවලට අවනත නොවෙමින් කටයුතු කිරීම මගින් යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය කෙරෙහි මහජන විශ්වාසය පලුදු වන අතර එය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට ද බරපතල ලෙස හානිකර බවයි ඔවුන්ගේ මතය වී ඇත්තේ.

එමෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය පූර්ණ විශ්වාසය සපථ කරන අතර මෙම තීරණාත්මක අවස්ථාව දී ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධීකරණය ඇතුල ශ්‍රී ලංකාවේ අධිකරණ පද්ධතිය කෙරෙහි ඇති විශ්වාසය රැකගැනීම සඳහා ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගනු ලබන බව සපථ කරන බව මෙම නිවේදයෙන් අවධාරණය කරනවා.

leave a reply