Breaking News

බන්ධනාගාර අධිකාරිවරුන් 28ක් ගැන පරීක්ෂණ

බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා ගැන පමණක් නොව බන්ධනාගාර 28ක අධිකාරිවරුන් පිළිබඳවද විමර්ශනය කරන බව අතිරේක සොලිසිටර් ජනරාල් දීලීප පීරිස් අධිකරණයේදී පවසා තිබේ.

ජනාධිපති පොදු සමාව අනීතිකව භාවිතා කරමින් අනුරාධපුරය බන්ධනාගාරයේ එක් සිරකරුවෙකු නොව සිරකරුවන් තිදෙනෙකු නිදහස් කර ඇති බව පෙරේදා අනාවරණය වූ බවද ඔහු පැවසීය.

බන්ධනාගාර කොමසාරිස්වරයා අනිසි බලයක් හදාගෙන, වෙනම රාජ්‍යයක් ගොඩනගා, සර්ව බලධාරීන් වෙලා, අධිකරණ වලින් දඬුවම් ලබා දෙන පුද්ගලයින්ට සමාව දීමේ ක්‍රියා පිළිවෙත තුළ පසුගිය පොහොය දිනයේදී මෙම අනිතික ක්‍රියාවලිය සිදු කළ ඇති බවද, මෙය දැවැන්ත වංචනික ක්‍රියාවලියක් බැවින්, බූවල්ලෙක් වගේ පැතිරිලා තියෙන මේ ක්‍රියාවලිය නතර කිරීමට ප්‍රයත්න දරන මේ මොහොතේ සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසද අතිරේක සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා තිබේ.

වැඩතහනමට ලක්ව සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර කර සිටි බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජනරාල්වරයා මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

පසුගිය වෙසක් පුන් පොහෝ දිනයේදී ජනාධිපති පොදු සමාව යටතේ සිරකරුවන් 388 දෙනෙකුට නිදහස ලබා දුන් අතර අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි සිරකරුවකු වන විජයකෝන් මුදියාන්සේලාගේ අතුල තිලකරත්න නමැතත්තාට අනීතිකව නිදහස දීම සම්බන්ධයෙන් විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කර ඇත.

නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කර සිටියේ 2024 නත්තල් දිනයේ හා පසුගිය පෙබරවාරි 04 නිදහස් දිනයේදී මෙලෙස අනීතිකව සැකකරුවන් 68 දෙනකු නිදහස් කර ඇති බවය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නලින්ද ඉන්දතිස්ස කරුණු දක්වමින් සැකකරු විසින් ඉදිරිපත් කර ඇති අසත්‍ය ලේඛන කුමක්දැයි බී වාර්තාවේ නිසි පරිදි සාක්ෂි ඉදිරිපත් කර නොමැති බවය. බී වාර්තාවේ සඳහන් වන අන්දමට සත්‍ය ලේඛන කුමක්දැයි අසත්‍ය ලේඛන කුමක්දැයි යන්න පිළිබඳව සාක්ෂි ඉදිරිපත් වන නොමැති බවත් බී වාර්තාවේ සඳහන් වන අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් හා අතිරේක ලේකම්වරයකු වන ගාමිණී දිසානායක යන අයගේ සාක්ෂි සම්පින්ඩන වාර්තාව අනුව නිසි කරුණක් අධිකරණයට ඉදිරිපත් වී නොමැති බවය. ඒ අනුව ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව සැකකරුට ඇප ප්‍රධානය කරන ලෙසද ඉල්ලා තිබේ.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය බන්ධනාගාර කොමසාරිස්වරයාට ඇප දීම ප්‍රතික්ෂේප කරමින් ලබන 25 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ අතර ඇප සම්බන්ධයෙන් වන නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බවද සඳහන් කර තිබේ.

leave a reply