Breaking News

ජන අරගල සන්ධානයෙන් ඩිජිටල් ඇමතිට අභියෝගයක්!

ඩිජිටල්කරණය මුවාවෙන් ලංකාවේ ජනතාවගේ ජෛවමිතික දත්ත එකතු කර ඒවා මර්දන උවමනාවන් වෙනුවෙන් පාවිච්චි කිරීමත්, එම දත්ත ඉන්දියාව සතු කිරීමත් සම්බන්ධයෙන් ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජන අරගල සන්ධානය ඩිජිටල් අමාත්‍යවරයා සහ ඩිජිටල් නියෝජ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජයට අභියෝග කරයි. ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික හා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙම අභියෝගය කලේ පෙබරවාරි 5 දින නුගේගොඩ, කන්දවත්ත පාරේ පිහිටි එම සන්ධාන කාර්යාලයේ පැවැත්වුණු මාධ්‍ය හමුවකදීය. එම මාධ්‍ය හමුවට ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික රාජ්කුමාර් රජීව්කාන්ත් ද සහභාගී විය.

එහිදී පුබුදු ජයගොඩ පහත කරුණු ඉදිරිපත් කළේය.
“ජනතාවගේ ජෛවමිතික දත්ත එකතු කිරීම ගැන මේ ප්‍රශ්න වලට ආණ්ඩුව පිළිතුරු දිය යුතුයි. රට ඩිජිටල්කරණයේදී සහ ඩිජිටල් හැඳුනුම්පතක් හදුන්වා දීමේදී ජෛවමිතික දත්ත අවශ්‍ය වන්නේ කුමක් සඳහාද? ඩිජිටල්කරණය එකක්, ජෛවමිතික දත්ත කියන්නේ වෙන එකක්. ඒ දෙක පටලන්න එපා. නිදසුනක් ලෙස ඉතාලියේ ඩිජිටල් හැඳුනුම්පතක් තියෙනවා, ඒත් ජෛවමිතික දත්ත එකතු කරන්නේ නෑ. දෙවන ප්‍රශ්නය මේ දත්ත රජය පාවිච්චි කරන්න අපේක්ෂා කරන්නේ කුමන අවස්ථා වලදීද? තුන්වන ප්‍රශ්නය මේ දත්ත සොරකම් කිරීමක් හෝ කාන්දු වීමක් වළක්වන බවට සහතික දෙන්නේ කොහොමද? දියුණු තාක්ෂණයක් තිබෙන බව කියන ඇමරිකා එක්සත් ජනපදයේ, දකුණු කොරියාවේ සහ අපට තාක්ෂණය දෙන බව කියන ඉන්දියාවේත් මහා දත්ත මංකොල්ලයන් සිදුවුණා. ලංකාවේ රජයේ දත්ත ගබඩාවට ඇතුළු වී ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මැකීමට හැකි වන තරම් එහි ආරක්ෂාව දුර්වලයි. ගිය මාසයේ රජයේ මුද්‍රණාලයාධිපතිගේ වෙබ් අඩවිය සහ පොලීසියේ සමාජ මාධ්‍ය පිටු පවා හැක් කර තිබුණා. පොලීසියේ ෆෙස්බුක් එකවත් රැක ගන්න බෑ, අපිට කියනවා විශ්වාසය තබන්නලු.
හතරවන ප්‍රශ්නය මේ සඳහා මැදිහත් වෙන්නේ කවර ඉන්දියානු සමාගමද? එය තෝරා ගත්තේ කොහොමද? පස්වන ප්‍රශ්නය ඒ සමාගම ගැන තාක්ෂණික ඇගයුම් කමිටු වාර්තාව කෝ? හයවන ප්‍රශ්නය ඉන්දියානු සමාගම මේ ක්‍රියාවලියේ මොන මට්ටම දක්වාද මැදිහත් වෙන්නේ? හත්වන ප්‍රශ්නය ඔවුන් දත්ත ගබඩාවට විකල්ප ප්‍රවේශ මාර්ග තබා ගැනීම වැළැක්වීමට ඇති ප්‍රතිපාදන මොනවාද? අටවන ප්‍රශ්නය එම මට්ටමෙන් පසු ක්‍රියාවලියේ ඉතිරි කොටසට සම්බන්ධ වන ලංකාවේ සමාගම කුමක්ද? එය තෝරා ගත්තේ කවර ක්‍රමවේදයකින්ද? නමවන ප්‍රශ්නය මේ දත්ත ගබඩාව අවසන් කිරීමෙන් පසු තාක්ෂණික ප්‍රශ්න වලදී ඉන්දියානු සමාගම නැවත කැඳවනවාද? ඔවුන් දත්ත මංකොල්ලයක් නොකරන බවට ඇති සහතිකය කුමක්ද?
මෙවැනි ප්‍රශ්න ගණනාවක් ගැන ජනතාවට තොරතුරු හෙළිදරව් කළ යුතුයි. ඒ ගැන ප්‍රසිද්ධ විවාදයකට අපි ඩිජිටල් ආර්ථික ඇමතිවරයා වන ජනාධිපතිවරයාට සහ ඩිජිටල් නියෝජ්‍ය ඇමතිවරයාට අභියෝග කරනවා. දෙදෙනාම හෝ එක් අයෙක් හෝ එන්න. මේ ගැන කටමැත දොඩවන අනෙක් මන්ත්‍රීවරුන්වත් අරන් එන්න. විශේෂඥයෝ කියන අයයි, බුද්ධිමතුන් කියන අයයි, ජනාධිපති ඩිජිටල් උපදේශකයෝයි, තව ඉන්න තරමක් ඔක්කොම අරන් එන්න. අපි සූදානම්. මේ විවාදයෙන් පැනලා යන්න එපා කියලා අපි ආණ්ඩුවට කියනවා. ජනතාවට කරුණු කියන්න. හොරෙන් සහ කරුණු වසන් කරලා මෙවැනි බරපතළ තීරණ ගන්න දෙන්න බෑ. ආණ්ඩුව දිගටම කරුණු වසන් කරන, විවාද මග හරින තත්වයකනම් ඉන්නේ ජනතාව තමන්ගේ ජෛවමිතික දත්ත රජයට ලබා දෙන එකක් නැහැ. මේ විවාදයට වේදිකාව සකස් කර දෙන්නැයි අපි රූපවාහිනී නාලිකා ඇතුළු මාධ්‍ය වලින් ඉල්ලීමක් කරනවා.”

leave a reply