Breaking News

පුද්ගලයෙකු වදහිංසාවලට ලක් කිරීමේ සිද්ධියකට දේශබන්ධුට වන්දි ගෙවන්න වෙයි

2010 වසරේ දී, හිටපු හමුදා සෙබළෙකු නීතිවිරෝධී ලෙස අත්අඩංගුවට ගෙන රඳවා තබා වදහිංසාවලට ලක් කිරීම තුළින්, වත්මන් වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සිව්දෙනකු මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කර ඇතැ යි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ ය.

අදාළ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම හේතුවෙන් එවක නුගේගොඩ ප්‍රදේශයේ භාරව සිටි පොලිස් අධිකාරීවරයා වූ පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති භාතිය ජයසිංහ, පොලිස් නිලධාරී බණ්ඩාර සහ සිවිල් පුද්ගලයකු වන අජිත් වනසුන්දර යන අය ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂ පහ බැගින් පෙත්සම්කරුට වන්දි ගෙවිය යුතු බවත් තීන්දුවේ සඳහන් විය.

එම වන්දි මුදල් අද දින සිට මාස හයක් තුළ ගෙවා අවසන් කළ යුතු බවට, කුමුදුනී වික්‍රමසිංහ, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෛරාජා විසින් නියෝග කෙරිණි.

එමෙන්ම, දේශබන්දු තෙන්නකෝන් ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සඳහා මෙම නඩු තීන්දුවේ පිටපත් ජාතික පොලිස් කොමිසම සහ නීතිපතිවරයා වෙත යොමු කරන ලෙස ද නියෝගයේ සඳහන් විය.

මිල්ලව ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්. රංජිත් සුමංගල නමැති හිටපු හමුදා සෙබලෙකු විසින් පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

2010 වසරේ දෙසැම්බර් මස 18 වනදා ත්‍රීරෝද රථයකින් පැමිණි අජිත් වනසුන්දර නමැති සිවිල් පුද්ගලයා සමග ආ මිරිහාන පොලිසියේ සේවය කළ බණ්ඩාර සහ භාතිය ජයසිංහ යන නිලධාරීන් දෙදෙනා ඔහු අත්අඩංගුවට ගෙන දඹර ප්‍රදේශයේ පිහිටි සුසාන භූමියකට රැගෙන ගිය බව, පෙත්සම්කරු කියා සිටියි.

එම සුසාන භූමියේ තුළ දී වගඋත්තරකාර පොලිස් නිලධාරින් ඔහුට අමානුෂික ලෙස පහරදුන් බවත්, එසේ පහර දෙමින් ප්‍රදේශයේ සිදුවන මංකොල්ලකෑම් හා යුද හමුදාවේ සිටිය දී භාවිත කළ ගිනි අවිය පිළිබඳව ප්‍රශ්න කළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ඉන් අනතුරුව මිරිස් කුඩු තැවරූ ප්ලාස්ටික් මලු දෙකක් ඔහුගේ හිසට බහා හුස්ම ගන්නා ලෙස වගඋත්තරකාර පොලිස් නිලධාරීන් ඔහුට බලකළ බවත් පෙත්සම්කරු සඳහන් කළේ ය.

ඉන්පසු ඔහුගේ කටින් ලේ ගැලීමට පටන්ගත් බවත්, අවසානයේ දී භීතියට පත් ඔහු වගඋත්තරකාර පොලිස් නිලධාරීන් එල්ල කළ චෝදනාවලට වරද පිළිගත් බවත් ඔහු පැවසීය.

මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින මිරිහාන පොලිසියේ හදිසි ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක භාතිය ජයසිංහ සහ පොලිස් නිලධාරී බණ්ඩාර යන නිලධාරීන් පෙත්සම්කරු වධහිංසනයට ලක්කර තිබෙන ආකාරය මනාව තහවුරු වන බව අධිකරණ විනිසුරුවරුන් පවසා තිබේ.

එම සිද්ධිය වූ අවස්ථාවේ දී ප්‍රදේශය භාරව කටයුතු කළ පොලිස් අධිකාරි දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ද තුරෛරාජා විනිසුරුවරයා ඔහුගේ තීන්දුවේ කරුණු පහදා තිබේ.

“මෙම පෙත්සම්කරු රඳවා සිටි ස්ථානයට වගඋත්තරකාර දේශබන්දු තෙන්නකෝන් පැමිණ තිබෙන බව නඩු විභාගයේ දී කරුණු අනාවරණය වුණා. ඔහු ත්‍රිරෝද රථ රබර් පටියකින් පෙත්සම්කරුට පහර දී තිබෙනවා. පසුව පෙත්සම්කරුව නිරුවත් කරන ලෙස අණකර තිබෙනවා. පෙත්සම්කරුගේ ලිංගේන්ද්‍රිය ප්‍රදේශයට සිද්ධාලේප ආලේප කරන ලෙස ඔහු අණකළ බවත් නඩු විභාගයේ දී කරුණු ඉදිරිපත් වුණා. පොලිසියේ පහළ නිලධාරීන් තමන්ට ලැබී තිබෙන බලය අවභාවිතා කිරීම වැළැක්වීමට ඉහළ නිලධාරීන් වග බලාගත යුතු යි. තමන් යටතේ සිටින නිලධාරීන්ගේ හැසිරීම සුපරීක්ෂණයට ලක් කළ යුතු යි. පොලිස් නිලධාරීන්ට ලැබී තිබෙන තරු, බලය පෙන්වන ආභරණ නොවේ. ඒවා හුදු වගකීමේ සංකේත බව සිහි තබාගත යුතු යි.”

උපුටා ගැනීම – BBC සිංහල

leave a reply