Breaking News

වින්දිතයන් ගණන් නොගැනීමේ සංස්කෘතිය

අම්ශිකා නම් දරුවෙක් අපයෝජනයට ලක්වීම සහ එම දැරිය සියදිවි නසාගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් පාසල් බලධාරීන්ට එරෙහිව පියවර ගන්නා ලෙස ඉල්ලමින් අද බම්බලපිටිය ප්‍රදේශයේ පැවති උද්ඝෝෂණය සම්බන්ධයෙන් මාධ්‍ය වාර්තා කර ඇති ආකාරය සිත්ගන්නා සුළු වේ. සෑම මාධ්‍යක්ම පාහේ එය වාර්තා කර ඇත්තේ බම්බලපිටිය ප්‍රදේශයේ වාහන තදබදයක් නිර්මාණය වී ඇති බවයි. එම පුවතේ අම්ශිකා නම් දැරියට සිදුවූ අසාධාරණය සඳහා වෙන් වී ඇත්තේ ඉතා කුඩා ඉඩකි. බොහෝ මාධ්‍ය ආයතන උනන්දුවක් දක්වන්නේ පැවති විරෝධතාවයේ උණුසුම සහ පැවති තදබදය වාර්තා කිරීමට බව පෙනේ.

අද බම්බලපිටිය හින්දු කාන්තා විද්‍යාලය අසළ මෙම උද්ඝෝෂණය පැවතියේ අම්ශිකා නම් දරුවෙක් අපයෝජනය කිරීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති ගුරුවරයෙකුට එරෙහිව දඬුවම් ලබාදෙන ලෙස ඉල්ලමිනි. දෙමව්පියන් විසින් පිරිසක් විසින් සංවිධානය කර තිබූ මෙම උද්ඝෝෂණය මගින් අදාළ ගුරුවරයා ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් විදුහල්පතිවරයාට ද විරෝධය එල්ල වී තිබුණි.

අම්ශිකා නම් මෙම දැරිය හින්දු කාන්තා විද්‍යාලයේ ඉගෙනගනිමින් සිටියදී අදාළ ගුරුවරයා විසින් අපයෝජනයට ලක්කර ඇති අතර පසුව දෙමව්පියන් විසින් අවශ්‍ය නීතිමය පියවර ගෙන වෙනත් පාසලකට දරුවා මාරු කර තිබේ. අදාළ ගුරුවරයා ඇප ලැබීමෙන් පසු එම විදුහලේම සේවය කර ඇත. කෙසේවෙතත් අම්ශිකා දැරිය සහභාගී වූ අමතර පන්තියක එම දැරිය අපයෝජනය වීමේ පුවත ප්‍රචාරය වීමෙන් පසු සිත් තැවුලට පත් දැරිය පසුගියදා සියදිවි නසාගෙන තිබුණි.

මෙම ගුරුවරයා පසුගිය සිකුරාදා දක්වා අදාළ පාසලේ සේවය කර ඇත. කෙසේවෙතත් මෙම උද්ඝෝෂණය අවස්ථාවෙන් පසු අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එම ගුරුවරයාට ස්ථාන මාරුවක් ලබාදුන් බවයි.

මෙම ගුරුවරයා සහ උපකාරක පන්ති අයිතිකරුවා නිසා දරුවෙකු සියදිවි නසාගනිද්දී අධ්‍යාපන අමාත්‍යාංශයට කිරීමට ඇත්තේ එය පමණද?

මාධ්‍ය, පාසල්, අධ්‍යාපන ආයතන, සමාජය වින්දිත්යන් නොතකා කටයුතු කරද්දී තව තවත් මෙවැනි සිදුවීම් සිදු නොවෙනු ඇති බව කාටනම් කිව හැකිද?

leave a reply