Breaking News

මන්ත්‍රීවරු වරායේ සිදුකළ නිරීක්ෂණ චාරිකාව වීඩියෝ කළ අය අත්අඩංගුවට ගන්න – ප්‍රේමලාල් ජයසේකර

වරායේ පැවැත්වුණේ පාටියක් නොව මන්ත්‍රීවරුන්ගේ නිරීක්ෂණ චාරිකාවක් බව වරාය නාවික සහ ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පාර්ලිමේන්තුවේදී ඊයේ (11) පැවසීය. එසේම එම නිරීක්ෂණ චාරිකාව නීති විරෝධී ලෙස වීඩියෝ ගත කළ වරාය අධිකාරියේ වෘත්තීය සමිති සාමාජිකයින් සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත යුතු බව වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර පවසයි.

කොළඹ වරායේ නැගෙනහිර සහ බටහිර ජැටිය නැරඹීමට අවශ්‍ය බව අයවැය විවාදයේදී මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කළ ඉල්ලීමකට අනුව මන්ත්‍රීවරුන් 20 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් කොළඹ වරායේ නිරීක්ෂණ චාරිකාවක් සඳහා රැගෙන ගිය බව ඔහු පාර්ලිමේන්තුවේදී පැවසීය.

“ඔවුන්ගේ ඉල්ලීම්වලට ඇහුම්කන් දීම රාජ්‍ය අමාත්‍යවරයා ලෙස මගේ යුතුකමයි. සමහර මාධ්‍ය සහ දේශපාලඥයන් අපි සාදයක් තිබ්බා යැයි කියමින් මෙම සංචාරය ගැන කටකතා පතුරවනවා. ඔවුන්ට එරෙහිව පියවර ගත යුතුයි. ඇතැම් වෘත්තීය සමිති සාමාජිකයන් මෙම සංචාරය නීති විරෝධී ලෙස වීඩියෝ කර තිබුණා. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ යුතු අතර ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගත යුතුයි.”

මෙම සංචාරය සඳහා වරාය අධිකාරියේ සතයක්වත් වැය නොකළ බවත් ඒ සඳහා කළ වියදම් පිළිබඳ සියලු බිල්පත් තමන් සභාගත කරන බවත් අමාත්‍යවරයා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ රට බංකොලොත් වී ඇති අවස්ථාවක මහජන මුදල් වියදම් කර මන්ත්‍රීවරුන් පිරිසක් ඩ්‍රෙජර් දෙකක සාදයක් පැවැත්වූ බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කළ චෝදනාවට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහජන මුදල් වැය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් සඳහා වරාය පරිශ්‍රයේ සංචාරයක් සංවිධානය කර සාදයක් පැවැත්වූ බවට වරාය වෘත්තිය සමිති චෝදනා කරති.

ඔවුන් පවසන්නේ, වරාය පරිශ්‍රයේ අධිආරක්ෂිත කලාපයක අනීතික ලෙස මෙම සාදය පවත්වා ඇති අතර, මේ පිළිබඳ කඩිනම් විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

වරාය හා ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 50ක පමණ පිරිසක් සමඟ ශ්‍රී ලංකා වරාය අධිකාරිය තුළ පෙරේදා (09) නාවික සංචාරයක් සිදු කර තිබුණි.

ඒ සඳහා ආරාධනා පත්‍රයක් ද නිකුත් කර තිබූ අතර, එහි සඳහන් කර තිබුණේ නව වර්ෂය ආරම්භයේ කොළඹ වරාය පරිශ්‍රයේ කෙටි නාවික සංචාරයක් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වෙනුවෙන් රාජ්‍ය අමාත්‍යවරයා සංවිධාන කර ඇති බවයි.

ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ද එක් ව තිබේ.

 

leave a reply