“මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත් කෙටුම්පත වංචනිකව සම්මත කිරීමේ උත්සාහයක් පවතින බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ වැඩිදුරටත් මෙසේ පැවසීය.
”මේ පනත් කෙටුම්පතේ නම තියෙන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිලිබඳ පනත කියලා. නමුත් මේකෙන් කරන්නේ මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව තහවුරු කරන එක නෙවෙයි, මාර්ගගත ක්‍රම හරහා ජනතාවට අදහස් ප්‍රකාශනයට තිබෙන ඉඩකඩ උදුරා ගන්න එක. මේක සමාජ මාධ්‍ය මර්දන පනතක් සහ සමාජ මාධ්‍ය භීතිකා පනතක්. ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සමග එකතු වෙලා ගෙනයන වැඩපිළිවෙල නිසා ජන ජීවිත විනාශ වෙමින් තියෙනවා. ජීවත් වීම පවා අසීරු වෙමින් විශාල මහජන කෝපයක් වර්ධනය වෙමින් තියෙනවා. ඉදිරියේදී දැවැන්ත ජන අරගලයක් ඇති වෙයි, ඒ අරගලය සංවිධානය වීමේදී සහ ඊට අදාළ මතවාදය සකස් වීමේදී සමාජ මාධ්‍ය ඇතුළු මාර්ගගත ප්‍රචාරණය වැදගත් කාර්ය කොටසක් කරයි කියලා මේ ගොල්ලෝ බයයි. ඒ වගේම ඉදිරියේදී ජනතා පීඩනය නිසා මැතිවරණයක් පවත්වන්න සිදු වුනොත් සමාජ මාධ්‍ය මේ තක්කඩි ආණ්ඩුව එලවන ක්‍රියාවලියේ ලොකු කාර්යභාරයක් කරයි කියලා ආණ්ඩුව බයයි. මේ වගේ මර්දන පනත් ගෙන එන්නේ බයට. තොරතුරු සමාජගත කිරීමට රටේ මුළු ජනතාවම මැදිහත් වෙනවා. ඒ නිසා මේ අයට ඕන ඕන සෙල්ලම් කරන්න ඉඩක් නෑ. නිදසුනක් ලෙස පසුගියදා නාරම්මලදී පොලිස් නිලධාරියෙක් සිවිල් ඇඳුමෙන් සැරසිලා ඇවිත් රියැදුරෙක් මරා දැමු සිදුවීම මුළු රටම දැන ගත්තේ ඒ අවට සිටි ජනතාව එය රූගත කර සමාජ මාධ්‍ය හරහා රටටම ලබාදුන් නිසා. නැතිනම් පොලීසිය කියයි පාතාල කණ්ඩායම් දෙකක් අතර ගැටුමක්, නාඳුනන තුවක්කුකරුවන් වගේ කතාවක්. මෙන්න මේ තොරතුරු සන්නිවේදනයට තමයි පාලකයෝ බය වෙලා ඉන්නේ. අලුත් නීති හදන්න යන්නේ ඒකට.
මේ පනත් කෙටුම්පතේ තියෙනවා කොමිසමක් ගැන. ඒ කොමිසමේ සාමාජිකයෝ පස් දෙනාම පත් කරන්නේ ජනාධිපති. ඒ අයව ඇස කරන බලයත් ජනාධිපතිට. කොමිසමේ සභාපති පත් කරන්නෙත් ජනාධිපති. මේ කොමිසම තමයි මොනවද සත්‍යය, මොනවද අසත්‍යය, මොනවද සමාජ මාධ්‍ය වලින් කිව යුත්තේ, මොකක්ද නොකිව යුත්තේ කියලා තීරණය කරන්නේ. මීට පෙර පැමිණි පනත් වල තියෙන්නේ ‘අසත්‍ය ප්‍රකාශ’, ‘නීති විරෝධී ප්‍රකාශ’ වගේ වචන. නමුත් මේ පනත් කෙටුම්පතේ තියෙන්නේ ‘තහනම් ප්‍රකාශ’ කියලා වචනයක්. තහනම් කරන අදහස් මොනවද කියලා තීරණය කරන්නේ අර කොමිසම. ඒ ගොල්ලන්ට දෙවියන් වහන්සේ වගේ බලයක් දීලා. මේ පනතේ තියෙනවා ජනතාව කැරලි ගැසීමට පොළඹවන ප්‍රකාශ සමාජ මාධ්‍ය වල කළොත් සිර දඬුවම් දෙනවා කියලා. ඕක අර නාරම්මල සිදුවීමටත් කියන්න පුළුවන්. ඒවා දැක්කාම ජනතාව කැරලි ගහන්න ඉඩ තියෙනවා, ඒ නිසා ඒවා හංගන්න කියලා කියාවි. මේකේ තියෙනවා ආගමික හැඟීම් වලට රිදවන ප්‍රකාශත් තහනම් කියලා. ඒ රිද්ර්ණ තැන කවුද තීරණය කරන්නේ? දෙවියන් අදහන කෙනෙකුට දෙවියන් නැහැ කිව්වත් රිදෙන්න ඉඩ තියෙනවා. මේ වගේ නීතියක් පුනරුද සමයේ යුරෝපයේ තිබුණානම් දෙවියන් නැහැ කිව්වා දාර්ශනිකයෝ, විද්‍යාඥයෝ, කලාකරුවෝ ඔක්කොම හිරේ දානවා. ඒ කාලෙත් එහෙම එකක් තිබුණා පල්ලියේ අධර්ම මර්ධනාධිකරණය කියලා. නමුත් ඒවා අහෝසි වුණා. 14,15 සියවස් වල ලංකාවේ අධර්ම මර්ධනාධිකරණයක් තිබුණේ නෑ. යුරෝපයේ තිබුනා. යුරෝපය ඒවා අහෝසි කළා. දැන් 21 වන සියවසේදී ලංකාවේ කලින් නොතිබුණු අධර්ම මර්ධනාධිකරණයක් වගේ මර්දන ව්‍යුහයක් හදන්න තමයි මේ නීති එන්නේ. සියවස් හත අටක් පස්සට සමාජය ගෙනයන මේවා පරාජය කළ යුතුයි.
අනෙක් එක මේ නීති ගෙනෙන ආකාරය මුළුමනින්ම වංචනිකයි. මේ පනත් කෙටුම්පත කලින් ගැසට් කළ වෙලාවේ ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 30ක් පමණ ගොනු කළා. මේ කෙටුම්පතේ වගන්ති ගණනාවක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට ඒවායෙන් අභියෝග කළා. ඒ නඩුවේදී නීතිපති මොකද කළේ? නීතිපති අධිකරණයට ඇවිත් කිව්වා මේවා ව්‍යවස්ථාවට පටහැනියි තමයි, පටහැනි ඒවාට සංශෝධන කරලා සම්මත කරන්න ඉඩ දෙන්න කියලා. නීතිපතිගේ කාර්යභාරය මොකක්ද? නීතිපති දෙපාර්තමේන්තුවට මහජන බදු මුදලින් වැටුප් ගෙවන්නේ ඇයි? යම් පනත් කෙටුම්පතක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද, අනනුකූලද කියලා ඔවුන් කැබිනට් මණ්ඩලයට උපදෙස් දෙන්න ඕන. ව්‍යවස්ථාවට අනුකූල නැතිනම් ඒවා සංශෝධනය කරන්න ඕන. ගැසට් කළ යුත්තේ ඊට පසුව. පනත් කෙටුම්පතක් ගැසට් කළ පසුව අධිකරණයට ඇවිත් මේවා ව්‍යවස්ථාවට අනනුකූලයි, සංශෝධන කරන්නම් කියන්න නීතිපති කෙනෙක් මොකටද? නීතිපති දෙපාර්තමේන්තුව විසිරුවා හැරියානම් හරි. ඊට පසුව නීතිපති සංශෝධන හතලිස් ගණනක් ඉදිරිපත් කළා. නඩු විභාගය තිබුණේ දවස් තුනයි. පළමු දවසේ සංශෝධන විශාල ප්‍රමාණයක් දුන්නාම ඒවා අධ්‍යනය කර ප්‍රතිචාර දක්වන්න පෙත්සම්කරුවන්ට කාලයක් නැහැ. පාර්ලිමේන්තුවේ විවාදයට කලින් පනත් කෙටුම්පතක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන්නේ ඇයි? ඒ සඳහා අභියෝග කරන්න පුරවැසියන්ට දින 14ක කාලයක් දෙන්නේ ඇයි? පනත් කෙටුම්පත අධ්‍යනය කර, විරෝධතා දක්වන්න කාලයක් අවශ්‍ය නිසා. එක පාරටම සංශෝධන 40ක් 50ක් දීලා දවසෙන් දෙකෙන් තීරණ ඉල්ලනවානම් මේවා කලින් ගැසට් කරන එකත් තේරුමක් නෑ. ආණ්ඩුවට කරන්න තියෙන්නේ තමන් කැමති නීති හදලා පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්න එක. ඒ නීති පිළිපදිනවාද නැද්ද කියන එක ජනතාව තීරනය කළ යුතුයි. අනෙක තමයි මේවා සම්මත කරන්න තියෙන හදිසිය. පාර්ලිමේන්තුවේ විවාද කරන්න දුන්නේ දවස් දෙකයි. විපක්ෂය දිගින් දිගටම කිව්වා මේක දැන් විවාදයට ගන්න එපා කියලා. නමුත් ආණ්ඩුව අද උදේ කළේ විවාදයට ගන්නවාද නැද්ද කියලා ඡන්දය විමසුවා. ඕන දෙකට අත උස්සන පොහොට්ටු වහල්ලු 83 දෙනෙක් ඒකටත් අත උස්සලා. මේකෙන් පෙනෙන්නේ මේ ජනතා ද්‍රෝහී පනත සම්මත කරන්නත් මේ ගොල්ලෝ අත උස්සයි කියලා. එහෙම අත උස්සන අයගේ දේශපාලන අනාගතය ගැන ජනතාව තීරණයක් ගන්න.
මේ මර්දන නීති පරාජය කරන්න අධිකරණ ක්‍රියාමාර්ග ප්‍රමාණවත් නෑ. ආණ්ඩුව නීතිපති හරහා අධිකරණයට කඩිමුඩියේ සංශෝධන දුසිම් ගණන් දානවා. නැතිනම් කාරක සභා අවස්ථාවේදී බරපතල සංශෝධන ගෙනෙනවා. මේ මර්දන පනත් පාර්ලිමේන්තුවේ පරාජය කරන්න බෑ කියලා මෙතෙක් ලැබුණු අත්දැකීම් ගණනාවක් අපට පෙන්වනවා. දැන් බෙලහීන ප්‍රතිපත්තියක ඉන්න විපක්ෂය කියන්නේ මොකක්ද? ආණ්ඩුව මේක සම්මත කර ගත්ත දෙන, අපට බලය දෙන්න, අපි ආවම මේ වගේ පනත් අවලංගු කරනවා කියලා. මේ ප්‍රශ්නය පාවිච්චි කරලත් ඡන්ද ගසා කන්න බලන්නේ. පනත පරදවන්න අපට ඡන්දය දෙන්න කියන තැනක විපක්ෂය ඉන්නේ. පස්සේ අවලංගු කරන එක පසුව බලාගමු, දැන් කරන්න ඕන මේ පනත් ගෙන ඒම නවත්වන එක. ඒකට ජනතාව පෙලගස්වන එක. ඒක නොකර මැතිවරණ ව්‍යාපෘති වලට මේ ප්‍රශ්න පාවිච්චි කරන්න ඉඩ දෙන්න එපා. මර්දන අණ පනත් ඇතුළු හැම ප්‍රශ්නයක්ම විසඳිය හැක්කේ පාර්ලිමේන්තුවෙන් එළියේ ජනතා බලයක්, ජනතා ව්‍යාපාරයක් නිර්මාණය කිරීමෙන් විතරයි කියලා පැහැදිලියි. ඒ සඳහා පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලනවා. ඒ වගේම මේ මර්දන පනත් සම්මත වුනත් ඒ නීති පිළිගන්න එපා, ඒවා කඩන්න කියලා අපි ඉල්ලා සිටිනවා. මේ නීති රජය සහ ජනතාව අතර සමාජ සම්මුතියට පටහැනියි. මේවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි. මේවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තෝරා පත් කිරීමට ඡන්දය දුන් ජනතාවගේ ජන වරමට පටහැනියි. ඒ නිසා මේ නීති ජනතාව පිළිපැදිය යුතු නෑ. මේ වගේ මර්දන අණ පනත් වගේම, ඒවා ගෙන එන ආණ්ඩුව වගේම, මේවා වෙන්න දීලා උඩ බලාගෙන තමන්ගේ බලයට පමණක් කෙල හලන විපක්ෂයත් එක මිටකට තබා පරාජය කර ජනතා බලය ගොඩ නගමු. “