Breaking News

ත්‍රස්ත විරෝධී පනත අද පාර්ලිමේන්තුවට

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත අද (10) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතට අධිකරණයේදී අභියෝගයට ලක් කිරීමට සති දෙකක කාලයක් පවතින බව ද අධිකරණ අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පැවසීය.

තවත් පනත් කෙටුම්පත් 6ක් ද දෙවැනි වර කියවීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වේ.

ශ්‍රී ලංකාව තුළ බලපවත්නා නීති අතුරින් ඉතාම මර්දනකාරී පනතක් ලෙස ‘ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත’ හැඳින්විය හැකි ය. පසුගිය සමයේ අරගලයේ ක්‍රියාකාරීන් මර්දනයට මෙම පනත යොදාගැනීම ගැන විවේචන එල්ල විය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (Prevention Terrorism Act – PTA) වෙනුවට ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතක් (Anti-Terrorism Act – ATA) රජය පළමු වරට ඉදිරිපත් කළේ මේ වසරේ මාර්තු මාසයේ දී වුවත් එයට එල්ල වූ විවේචන හමුවේ රජය එක් පියවරක් පසුපසට ගන්නා ලදි. නමුත් මේ වන විට එම පනත් කෙටුම්පතට සංශෝධන කිහිපයක් එක් කරමින් 2023 සැප්තැම්බර් 15 දිනැති ගැසට් පත්‍රයේ පනත් කෙටුම්පත පළ කර තිබිණ.

මෙම පනත මූලික වශයෙන් ම ගෙන එනු ලබන්නේ 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළක්වීමේ (තාවකාලික විධිවිධාන ) පනත වෙනුවටයි. ඒ අනුව මෙම පනත බලාත්මක වූ පසුව ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අහෝසි වනු ඇත.

පවතින ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට සාපේක්ෂව නව ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පතේ මූලික වෙනස්කම් කිහිපයක් දැකිය හැකිය.

PTA හි ත්‍රස්තවාදී ක්‍රියා ලෙස අර්ථ ගැන්වූ ක්‍රියා සන්නද්ධ ක්‍රියාවන්ට සම්බන්ධ වූ ඒවා නමුත් නව පනතේ අන්තර්ජාලය, ඉලෙක්ට්‍රොනික් මාධ්‍ය හෝ මුද්‍රිත මාධ්‍ය යොදාගෙන කරන ප්‍රකාශනයන් ද ත්‍රස්තවාදී වැරදි ගණයට ගත හැකියි.

PTA හි රාජ්‍ය විරෝධී ක්‍රියා මූලික වශයෙන් ම ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හඳුන්වා තිබුණ ද නව පනතේ එය ආණ්ඩුව ලෙස වෙනස් වී ඇත.

නව පනතින්, පොලිස් නිලධාරීන්ට, සන්නද්ධ හමුදා නිලධාරීන්ට හා වෙරළාරක්ෂක නිලධාරීන්ට අත්අඩංගුවට ගැනීම් කළ හැකි අතර සැකකරුවන්ව පැය 24ක් ඇතුළත ළඟම පොලිස් ස්ථානයට භාර දීම කළ යුතුය.

මිට අමතරව ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ කිරීමද ත්‍රස්තවාදී ක්‍රියා ලෙස හැඳින්වෙන ආකාරයේ ප්‍රතිපාදන තිබීම සහ මුළු රටක ජනතාවක් ත්‍රස්තවාදීන් ලෙස නම් කළ හැකිවීම යනාදිය බරපතල විවේචන එල්ල විය .

සැප්තැම්බර් මාසයේ දී ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පතෙන් විවේචන එල්ල වූ වගන්ති කිහිපයකට සුළු සංශෝධන ඉදිරිපත් කර තිබේ. ඇතැම් වගන්ති එලෙසම පවතියි.

  • මරණ දඬුවම වෙනුවට ජීවිතාන්තය දක්වා සිර දඬුවම ලබා දීමට යෝජනා කර ඇත.

  • සංවිධාන තහනම් කිරීමට සහ එම තහනම් පවත්වාගෙන යාමේ බලය ජනාධිපතිවරයාට හිමි ය.

  • රැඳවුම් නියෝග ලබා දීම ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා කරන අතර, පොලිස්පතිවරයා හෝ නියෝජ්‍ය පොලිස්පති නිලයට නොඅඩු නිලධාරියෙකු ඒ සඳහා අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කළ යුතු ය.

  • රැඳවුම් නියෝගය ලබා දෙන්නේ මාස දෙකට නොඅඩු කාලයකට ය. ඒ අනුව රැඳවුම් නියෝගය ලබා දීමේ කාලය මාසයකින් අඩු වී තිබේ.

  • මාධ්‍ය මගින් කරන ප්‍රකාශ සම්බන්ධ වගන්ති සහ යම් ප්‍රදේශ පොලිස් නිලධාරීන් යටතට ගැනීමේ වගන්ති නොවෙනස් ව පවතියි.

leave a reply