Breaking News

ගොවියන්ට ඉඩම් බෙදන්න රනිල්ට ඇතිවුණු හදිසි අනුකම්පාව පිටුපස ඇති ඇත්ත කතාව

ෂැංග්‍රිලා හෝටලයට එම ඉඩම සින්නක්කරව පැවරීමට හැකියාව තිබුණේ නම් පරම්පරා ගණනක් රටේ ගොවිතැන් කළ ජනතාවට සින්නක්කර ඔප්පු ලබා දීමේ වරද කුමක්දැයි ජනාධිපතිවරයා නොච්චියාගම දී ප්‍රශ්න කර ඇතැයි මාධ්‍ය වාර්තා කර තිබේ. මෙපමණ කලක් රටේ ගොවි ජනතාව දෙස ඇහැක් ඇර නොබැලූ රනිල්ට හදිසියේ ගොවීන්ගේ ඉඩම් අයිතිය මතක් වී ඇත්තේ ඇයිදැයි කෙනෙකුට සිතෙනු ඇත.

රනිල්ගේ බළලා මල්ලෙන් එළියට එන්නේ ඊට පසුවයි. ෂැංග්‍රිලා සතු ඉඩමෙන් ශ්‍රී ලංකාවට ද විදේශ විනිමය ලැබෙනවා සේම නවීන කෘෂි කර්මාන්තයෙන් ද අපනයන ආර්ථිකය ශක්තිමත් කළ හැකි බව රනිල් පවසයි. සෑම ගමක්ම ව්‍යවසාය ගම්මානයක් ලෙස සංවර්ධනය කරමින් අපනයන ආර්ථිකය ශක්තිමත් කරන බව ද ඔහු පවසා ඇත.

රනිල් මේ හදන්නේ රටේ කෘෂිකර්මාන්තය නැංවීමට හෝ ගොවි ජනතාවගේ ප්‍රශ්න ටික විසඳීමට නොවේ. නවීන කෘෂිකර්මාන්තයක් වෙත යන බව කියමින් ආහාර භෝග වගාව අතහැර වාණිජ භෝග වගාවවට ගොවියාව දක්කවිමටයි. දැනටත් බොහෝ ප්‍රදේශවල කරන පරිදි සමාගම්වලින් ලබාදෙන බීජ, පොහොර, කෘෂි රසායන සහ ණය ලබාගෙන වගා කරන තැනට ගොවියා පත්කිරීමටයි. එවිට ගොවියාට පාඩු සිදුවී ණය ගෙවා ගැනීමට නොහැකිවෙන විට, බලාපොරොත්තු වෙන අස්වැන්න නොලැබෙන විට ඉඩමත් සමාගමටම විකිනීමට ගොවියාට සිදුවෙනු ඇත.

දැනටත් අනීතික ණය ක්‍රමවල ගොදුරු බවට පත්ව සිටින ගොවි ජනතාව තම ඉඩම් උගස් කරමින් කරකියා ගත නොහැකිව සිටියි. රනිල්ලා හදන්නේ මෙය තවත් වේගවත් කිරීමටයි. ගෝඨාභය පාලනයේ අවසන් වසර තුළ ගොවි ඉඩම් ජනතාවට ලබාදෙන බව පවසමින් ඉඩම් වෙළඳපොලට නිදහස් කිරීම වෙනුවෙන් නව පනත් සංශෝධනයක් ගෙන ඒමට උත්සාහ කරන ලදී. එහිදී එය සම්මත කර ගැනීමට නොහැකි වූවේ එම පාලනයට විරුද්ධව නැගී ආ විරෝධය හේතුවෙනි. දැන් රනිල් එය නැවතත් “උරුමය” නමින් බොරු ෂෝ දමමින් එය ආරම්භ කර තිබේ.

 

leave a reply