Breaking News

ජනතා අරගලයේ ධජය කුමක්ද ?

චන්දන සිරිමල්වත්ත

සිංහයා සහිත ධජය මේ දිනවල ජනතාවගේ විරෝධතා වලට භාවිතා කරනු ලබයි. පාලකයන් විසින් සම්මත කළ ‘ජාතික ධජය’ ඉතිහාසය පුරා දේශපාලන බලය හුවමාරු කරගැනීම වෙනුවෙන් සංකේතයක් ලෙස පාවිච්චි කළා මිස ඇත්ත වශයෙන්ම එහි ජාතික නියෝජනයක් නැත.

නමුත් එය ජනතා විරෝධය ප්‍රකාශනයක් ලෙස භාවිත කළ හැකි යැයි යැයි ඇතැම් අය සිතන බව පෙනේ. ප්‍රායෝගික වශයෙන් මේ ධජය විසින් නියෝජනය කර ඇත්තේ ජාතික අවශ්‍යතාවන් නොවේ. ජනතා අභිලාෂයන් ද නොවේ. විරෝධතාවල දී ලෙළ දෙන මෙම ධජය නියෝජනය කරන්නේ කාලයක් තිස්සේ ජාතිවාදී දේශපාලනය විසින් යොදාගත් මතවාදයක් පමණි. විරෝධතා වලදී යොදා ගැනීමෙන් කාලාන්තරයක් තිස්සේ මේ ධජය නියෝජනය කරන ඒ පැරණි දෘෂ්ටිවාදයේ කිසිදු වෙනසක් වේ යැයි සිතිය නොහැකි ය. ඇතැම් වවිට ‘තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව්’ ගීතය ද මේ විරෝධතාවට භාවිතා කරනු ලැබේ.
ඉදිරියේදී නො දැනුවත්වම ‘රණබිම මැරුණේ සිංහලයකු නම්’ වැනි ගීත ද විට එක් වනු ඇත.

ඒ නිසාම අවභාවිත කරන ලද මේ ධජය වෙනුවට විරෝධතාවල දී කළු කොඩි පාවිච්චි කිරීම වඩාත් සුදුසු වනු ඇත.
පාලකයන් විසින් ජනතාව වෙත මේ ධජය ලබාදී ඇත්තේ ඔවුන්ගේ සමගිය පිළිබඳ ව්‍යාජ අදහස් ද සමගිනි. නමුත් මේ ධජය නිතර ලෙළ දී ඇත්තේ සමගිය අහිමි කළ දේශපාලනයක් හරහා ය. අද විරෝධතාවලදී මේ ධජය භාවිතා වුවත්, දීර්ඝකාලීනව එය විසින් ඇති කර තිබෙන බෙදීම් ඉක්මනින් විසඳාගත නොහැකිය. මේ ධජය ඔසවාගෙන පාලකයන්න් කළ දරුණු අපරාධ, මිනිස් සංහාරයන් අපමණය. කෙටියෙන් කිවහොත් මේ ධජයේ ලේ තැවරී ඇත.
සිංහල දෙමළ මුස්ලි හෝ වෙනත් බෙදීමකින් තොරව, පාලකයන්ගේ ඝාතනවල ලේ තැවරුණු ධජයක් ඒ ඝාතනවලට ගොදුරු බවට පත් වූ ජනතාවගේ අත් වල ලෙලදීම දරුණුම උත්ප්‍රාසයකි.

මේ වරද කෙසේ හෝ නිවැරදි කළ යුතුය. වීදි බැස විරෝධය දක්වන ජනතා අරගලයේ අත් වෙත ඔවුන් සැබෑ ලෙස නියෝජනය කරන ධජය දිය යුතුය. සියවස් ගණනක ඉතිහාසය පුරා පීඩිත ජනතාවගේ අරගලයේ දී ඔවුන්ගේ ම ලේ වලින් සංකේතවත් කරන රතු ධජය මේ අරගලයට වඩාත් සුදුසු වන්නේ ඒ නිසාය.

විශේෂයෙන්ම දශක හතක් පුරා රැවටීමට මර්දනයට ලක් කළ ජනතාවකට නිදහස් අරගලයේ ධජය ලෙසත් දේශපාලන උගුල් අටවා එකිනෙකා මරාගන්නට උසි ගන්වන ලද ජනතාවට සමගියේ ධජය ලෙසත් රතු කොඩිය යොදාගත හැකිය .

නිසැකවම ජනතා ජයග්‍රහණ සඳහා උද්වේගයෙන් හා උද්යෝගයෙන් එසවිය හැකි එකම රජය සතු ධජයයි. 1935 සිට මේ රටේ සාමාන්‍ය ජනතාවගේ පීඩිත ජනතාවගේ අරගලය නියෝජනය කරන්නේ වාමාංශික ව්‍යාපාරය විසින් භාවිතා කරන ලද රතු ධජයයි. ඉතිහාසයේ යම් යම් අවධිවලදී අවපැහැ ගන්වන ලද නමුත් තවමත් මුළු මහත් ලෝකයේ ම සාමූහික මිනිස් ජයග්‍රහණ නියෝජනය කරන්නේ වාමාංශික ව්‍යාපාරයේ රතු ධජයයි.

මේ වන විට ජනතාවගේ විරෝධතා විවිධ දේශපාලන අහුමුලුවල විසිරී යද්දි සැබෑ ජනතා අවශ්‍යතා අරමුණු වෙනුවෙන් ඒකරාශී කළ හැක්කේ පොදු පීඩිත ජනතාවගේ අරගලය නියෝජනය කරන ඔවුන්ගේ අරමුණු නියෝජනය කරන වාමාංශික සටන්පාඨ සහිත රතු ධජයක් යටතේ පමණයි.
ඒ නිසා නැවත අවධාරණය කරමු.

74 වසරක් මුළුල්ලේ පාලක පන්තියේ බොරුවෙන් වංචාවෙන් දූෂිත භාවයෙන් හා කෲරත්වයෙන් පීඩිත ජනතාවට සිය සැබෑ මනුෂ්‍ය අරමුණු නියෝජනය කරන්නට පාලකයන් විසින් ම දෙන ලද ව්‍යාජ සංකේතයක්, ධජයක් අවශ්‍ය නැත. ජයග්‍රහණය සඳහා ඇත්තේ කෙටි පහසු මාර්ගයක් නොවේ. අද වීදි බැස සටන් කරන ජනතාව සැබෑ ජයග්‍රහණ සඳහා එක මිටකට සංවිධානාත්මකව ඒකරාශි කිරීමේ අවශ්‍යතාව පිළිබඳ කිසිවෙකුට විවාදයක් නැත. ඔවුන්ගේ අරගලය පියවරක් නොව, පියවර ගණනාවක් ඔසවා තැබීම සඳහා ඇති එකම මාර්ගය රතු ධජය සෙවණට ඔවුන් කැඳවීම පමණය .

අද ජනතාව කිසිදු භේදයකින් තොරව වීදි බැස ඉල්ලා සිටින දේශපාලන ජයග්‍රහණ සඳහා ඔවුන් රතු ධජය සෙවණට ගෙන ඒම මිස අන් විකල්ප මාර්ගයක් නැත.

leave a reply